දුඹුරු සීනිවලට ‘ඩයි’ මිශ්‍රකරන බව පසුගිය කාලයේ ඔහුගෙන් හෙළිදරව්වක්

විෂ සහිත ආහාර නඩුවලට පෙනීසිටි කෙනෙක්

ව්‍යාපාරිකයන් විසින් ලබාදුන් මරණ කොන්ත්‍රාත්තුවක්දැයි සැක

පසුගිය පෙබරවාරි 26 දින ඇල්පිටිය කරන්දෙණිය දිවිතුරුගමට උදාවූයේ ඉතාමත් අවාසනාවන්ත දිනකි. නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් මහජන සෞඛ්‍යවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වන ඇල්පිටිය කරන්දෙනණිය දිවිතුරුගම විසූ ඩබ්ලිව්. ඩී. රොෂාන් කුමාර විතානාච්චි ඝාතනයට ලක්වන්නේ එදිනය. මහජන සෞඛ්‍ය පරීක්‍ෂක රොෂාන් කුමාර එදින ජීවිතයෙන් සමුගන්නේ කරන්දෙණිය ප්‍රදේශයේ ජනතාව සෝ සුසුම් සයුරේ ගිල්වමින්ය. නීතිය අකුරටම ඉටුකළ රාජ්‍ය සේවකයකු වන ඔහු සමාජ සේවකයෙකු මෙන්ම ගමේ කා අතරත් හොඳනම දිනාගත් උදාර මිනිසෙකි.

ඉකුත් 26 වැනි දින ඔහුගේ නිවසෙහි කිරිබතක් පිසුණේ දෙවැනි පුතු පළමු වසරට ඇතුළත් කිරීම එදිනට යෙදී තිබූ හෙයිනි. ආදරණීය පියකු සතු සෙනෙහසද ඔහු තුළ නොඅඩුවද තිබිණි. ඔහු තම පුතු පාසල වෙත යැවීමට පාසල් නිල ඇඳුම් අන්දවමින් සිටියේය. වේලාව පෙ.ව. 7.30 ට පමණ විය. යතුරු පැදියකින් පැමිණි මුහුණු ආවරණය කරගත් නාඳුනන ඝාතකයන් දෙදෙනාගෙන් එක් අයකු රොෂාන්ගේ නිවසට ඇතුළුවන්නේ කිසිදු අවසරයක් නොමැතිවයි. රොෂාන්ගේ පුතු පොලිසියට සාක්‍ෂි ලබාදෙන අන්දමට මෙසේ පැමිණි ඝාතකයා රොෂාන්ව තල්ලු කරගෙන යන්නේ නිවසෙහි ඉදිරි පැත්තටය. එලෙස ඔහුව ඉදිරියට තල්ලු කළ දාමරිකයා මුළු පළාතම දෙදරවමින් තම ගිනි අවිය පත්තු කළේ තම සුරතල් පුතු ඉදිරිපිටදීමය. කිසිවක් කරකියා ගත නොහැකි වූ රොෂාන්ගේ පුතු සිදුවන සිදුවීම් සියැසින්ම දෙනෙත් අදහාගත නොහැකිව බලා සිටියේය. තම පුතු ඉදිරියේ පියා ඝාතනය කිරීමට තරම් මේ තිරිසන් ඝාතකයා එහිදී පසුබට නොවීය. මෙම නාඳුනන ඝාතකයා එල්ල කළ පළමු වෙඩිපහරින් රොෂාන් සිය පණ බේරාගැනීමට සැණින් එළියට දිවඑද්දී ඔහු විසින් තම ගිනි අවියෙන් තවත් උණ්ඩ කිහිපයක් රොෂාන්ගේ සිරුර හරහා එල්ල කළේය. එහිදී කපාහෙලූ කෙසෙල් කඳක් මෙන් ඔහු සිය නිවසේ ඉදිරිපසම බිම පතිත වන්නට විය. සැබැවින්ම මේ කුරුරු ඝාතනයේ සිදුවීම 26දා මෙසේ සිදුවන්නට විය. මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ රොෂාන්ගේ මව හා තම 6 හැවිරිදි පුතු පමණක් මෙම අවස්ථාවේ නිවසේ සිටියේය. මේ අවස්ථාව වනවිට ඔහුගේ බිරිඳ රැකියාව සඳහා නිවසින් බැහැරව ගොස් සිටියාය. මියයන විට රොෂාන් මහතා 51 වියේ පසුවිය. දරුවන් තිදෙනකුගෙන් යුත් පියෙකු වන රොෂාන් මහතා සිය රාජකාරි සිදුකළේ ඇල්පිටිය, අම්බලන්ගොඩ කරන්දෙණිය යන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලවලට අනුයුක්තවය. අදාළ සෞඛ්‍ය නිලධාරි කාර්යාලවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ලෙසද රොෂාන් මහතා සිය රාජකාරි කටයුතු කරගෙන ගියේය.

තත්ත්වයෙන් උසස් සෞඛ්‍යාරක්‍ෂිත ලෙස ආහාර මෙරට ජනතාවට ලබාදීමේ අදිටනින් කූට වෙළෙඳුන්ට හා විවිධ ව්‍යාපාරවලට එරෙහිව නඩුමගට බැස වැරැදිකරුවන්ට නීතියෙන් දඬුවම් ලබාදී රටට වඩාත් වැඩදායී මිනිසෙකු වන්නට රොෂාන් උපන් සමතෙකුද වූවේය. වරක් දෙවරක් නොව රටේ විවිධ පළාත්වලද සෞඛ්‍යාරක්‍ෂිත බවින් තොර ආහාර අලෙවි කළ හා ප්‍රදර්ශනය කළ අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කර මෙරට ජනතාවට ඔහු අපමණ සේවයක් සිදුකළ බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සංගමය කියා සිටිති. ඔහු විසින් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් හෝටල් ඇතුළු ආයතන රැසකටත් කරන්දෙණිය ප්‍රදේශයේ කර්මාන්තශාලා හා ආහාර නිෂ්පාදනය කරන ස්ථාන හා මහාපරිමාණ හෝටල් සම්බන්ධවද ඊට අදාළ නඩු පැවරීමේ කටයුතු පසුගිය කාලය තුළ සිදුකර ඇත. තවද ඔහු විසින් පසුගිය කාලය තුළ මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිකුත් කළේය. ඒ මෙරට දුඹුරු සීනි හෙවත් රතු සීනි වෙළෙඳපොළේ ඇත්තේ වර්ණ යෙදූ ඒවා බව ප්‍රකාශ කිරීමය. තවද ඇතැම් සෝස් වර්ගද විවිධ රසායනික ද්‍රව්‍ය හා ගම්වර්ග යොදා නිෂ්පාදනය කළ ඒවා බවද ඔහු පෙන්වා දුන්නේය. දැනට වෙළෙඳපොළෙහි පවතින මෙවැනි නිෂ්පාදන බහුලව පවතින බවද ඔහුගේ මතය විය. එමෙන්ම ඔහු එහිදී පෙන්වා දෙන්නේ ඇතැම් ක්‍ෂණික ආහාර වර්ග මෙරට කුඩා දරුවන්ගේ ආහාර වලින් ඈත් කරන ලෙසය. තවත් කාරණාවක් වන්නේ මෙරට වැඩිදෙනා භාවිතයට ගන්නා පොල් තෙල්ද මනුෂ්‍ය ශරීරයට විස බවද මෙම පොල්තෙල්වලට කිසියම් ඩයි වර්ගයක් නිෂ්පාදකයන් විසින් කලවම් කරන බවද සෞඛ්‍ය පරීක්‍ෂකවරයා එහිදී පැහැදිලි කර ඇත. දිවයින පුරා අධිකරණවලට යමින් ආහාර සම්බන්ධ සමාගම් රැසකටම එරෙහිව නඩු මෙහෙයවූ හා වැටලීම් සිදුකළ ඔහු දක්‍ෂ නිලධාරියෙකි. ආහාර සෞඛ්‍ය පිළිබඳ වෘත්තීය දේශකයකු ලෙසද සේවය කළ ඔහු කිසිදිනක මුදලට යට නොවී රාජකාරිය මහ ඉහළින්ම සිදුකරන්නට වගබලා ගත්තේය.

රොෂාන් මහතා ප්‍රදේශයේ කිසිදු පාතාල සාමාජිකයකු සමඟ සම්බන්ධතාවක්ද නොමැති බව තතුදත්තෝ පවසති. ඔහු තම ප්‍රදේශවාසීන් සමඟද තම කාර්යමණ්ඩලය හා ඉතා සුහදව වැඩ කළ අයෙකි. රොෂාන් විසින් දුප්පත් දරුවන්ටද උදව් කළ අවස්ථා ඇති බව එම ප්‍රදේශවාසීහු පවසති. ඇතැම් අවස්ථාවල තම පෞද්ගලික මුදලින් ආහාර පාන පවා ලබාදී උදව් උපකාර කළ අවස්ථාද ඒ අතර තිබිණි.

මෙම ඝාතනයට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා සමඟ අමනාපව ඇති කිසියම් පාර්ශ්වයක් වෙතින් ඝාතනය සිදුකිරීම සඳහා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් දැයි පොලිසිය සැක පහළ කරයි. මේ වන විට මහජන පරීක්‍ෂක වරයාගේ දුරකථනයද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම වෙඩි තැබීමට මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් යොදා ගෙන ඇති බවද මේ වනවිට පොලිසිය මගින් තහවුරුකර ගෙන තිබේ. මෙම අපරාධයේ වගකිවයුත්තන් ඉදිරි දින කිහිපය තුළ නීතියේ රැහැනට හසුකර ගන්නා බවද මේ අපරාධය සම්බන්ධව පරීක්‍ෂණ කණ්ඩායම් 4 ක් මේ වනවිටත් යොදවා ඇති බවද පොලිසිය කියා සිටී.

පාතාලය හා මත්ද්‍රව්‍ය මැඬලීම සඳහා මේ දිනවල සිදුකරගෙන යන ‘යුක්තිය’ මෙහෙයුම සිදුකළද මෙරට අපරාධකරුවන් විසින් අද වන විට රජයේ අවංක නිලධාරීන් තම ගොදුරු බවට පත්කරගෙන සිටින බව මෙවැනි සිද්ධීන් තුළින් පෙනීයයි. මෙම ඝාතනය සිදුවීමෙන් පසු ඇල්පිටිය පොලිසිය මගින් සිදුකරන ලද පරීක්‍ෂණයන්ට අනුව මෙම ඝාතනය සඳහා පැමිණි ඝාතකයන් දෙදෙනා ඇල්පිටිය දෙසට යතුරු පැදිය ධාවනය කළ බවද මේ වනවිට ලැබෙන සීසීටීවී දර්ශන වලින් සනාථ වී ඇත. මෙම ඝාතනය සඳහා මුල්වූ හේතුව මෙතෙක් සනාථ වී නොමැති අතර දකුණේ පාතාලය තවමත් සක්‍රීයව පවතින බවද මෙවැනි සිද්ධීන් තුළින් අනාවරණය වේ. පසුගිය කාලය පුරාම යතුරු පැදි වලින් පැමිණ මහ දවාලේ සිදුවන වෙඩිතැබීම් වැනි සිද්ධීන් අසන්නට දකින්නට ලැබිණි. මෙවැනි ඝාතන හේතුවෙන් මෙරට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ ජීවිතවලට තර්ජනයක් වී ඇති බවද මහජන සෞඛ්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. මියගිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක රොෂාන් කුමාරගේ අවසන් කටයුතු පසුගිය 28 වැනිදා සිදුකෙරිණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටිගේ මහතාගේ මෙහෙයවීම මත ඇල්පිටිය පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකායද නිවස අවට සීසීටීවී දර්ශනද නිරීක්‍ෂණය කොට පරීක්‍ෂණයක් මේ වන විට අරඹා ඇති අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කොට ඇත. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට මෙම ඝාතනය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකුද අත්අඩංගුවටද ගෙන නොතිබිණි.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment