යතුරුපැදිකරු විශ්‍රාමික හමුදා සෙබළෙක්

වෙඩික්කරු සක්‍රීය සෙබළෙක්

කොන්ත්‍රාත්තුව ලක්‍ෂ 3යි

වෙඩි තියලා රන් මාලෙත් කොල්ල කාලා

පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මෙහෙයුම් සහ බුද්ධි ඒකකයේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර පොලිස් පරීක්‍ෂක පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායම සූරියවැව ආඩිගම ප්‍රදේශය වෙත ළඟාවන විට 27 වැනිදා මධ්‍යම රාත්‍රිය ගෙවී යමින් තිබුණේය.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පිරිස ආඩිගම ප්‍රදේශයේ ලඳු කැලෑවක් හරහා වැටී ඇති අඩිපාරක් ඔස්සේ යමින් සිය මෙහෙයුම ආරම්භ කළහ.

එස්.ටී.එෆ්. මෙහෙයුමේ අරමුණ වී තිබුණේ ඉකුත් 21 වැනිදා රාගම මහබාගේ ප්‍රදේශයේදී ඌරුමස් ව්‍යාපාරිකයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමය. 28 වැනිදා අළුයම මෙහෙයුම ක්‍රියාත්මක කළ ද දින කීපයක් තිස්සේ මෙහි සිටින අපරාධකරු පිළිබඳ තොරතුරු සොයාගැනීමට විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන් කටයුතු කර තිබුණේය.

පැය භාගයක පමණ කාලයක් තිස්සේ දුෂ්කර මාර්ග ඔස්සේ පා ගමනින් ගිය විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු ඈතින් පෙනෙන කුඩා වාඩියක් ආසන්නයේ නතර වූහ. ඒවන විට ඝණ අන්ධකාරය මුළු ප්‍රදේශය පුරාම පැතිර ගොසින් තිබුණේය. ඉඳහිට ඇසෙන නිශාචර සත්වයන්ගේ හඬ ඇසෙන්නට ප්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි. නිහැඬියාව බිඳ දමමින් සාගර කුලසේකර මහතා සිය හඬ අවදි කළේය. අපි ගන්න යන මෑන් ආමි එකේ හිටිය කෙනෙක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මිනිහ ළඟ වෙපන් තියෙන්න පුළුවන් ඒ නිසා හැමෝම කල්පනාවෙන් ඉන්න ඕනෙ.” අනික බඳින තුවක්කු සෙට් කරලා තියන්නත් පුළුවන්.

සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් සැවොම පිළිගත්හ. “මේ වාඩියේ තමයි මිනිහා ඉන්නෙ. කෝකටත් අපි මුලින්ම මිනිහව සරෙන්ඩර් කරගන්න බලමු.

එසේ කියූ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතා උස් හඬින් කෑගැසුවේය.

“අපි එස්.ටී.එෆ් එකෙන් ඇවිත් ඉන්නෙ. උඹට ගැලවීමක් නැහැ. වාඩිය වට කරලා තියෙන්නෙ. යටත් වෙයන්…..

සහකාර පොලිස් අධිකාරිවරයා කිහිප වතාවක් කෑගැසුවද කිසිදු හැලහොල්මනක් නැත. එහෙත් හිටි හැටියේම මුළු ප්‍රදේශයම දෙදරුම් කවමින් වෙඩි ප්‍රහාර කීපයක් වාඩිය දෙසින් එල්ල වුණේය.

එක්වරම කලබලයට පත්වූ එස්.ටී.එෆ් නිලධාරීන් ආරක්‍ෂිත ස්ථාන වෙත ඇදුණේය. ඝණ අන්ධකාරයේ ආරක්‍ෂාවීමට පැනගත් විශේෂ කාර්ය බළකා නිලධාරියෙක් ගලක් මත ඇද වැටීමෙන් තුවාල ලැබුවේය.

ඒ සැණින් එස්.ටී.එෆ් නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ. විනාඩි ගණනක ප්‍රහාරයකින් පසු සියල්ල නිහඬ විය. පසුව එස්. ටී. එෆ් නිලධාරීන් වාඩිය පරීක්‍ෂා කළෝය.

එහිදී වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලබා බිම වැටී සිටි අපරාධකරු සොයාගැනීමට හැකිවිය.

ඒ අසලම රිවෝල්වරයක්ද වැටී තිබුණේය. වහාම ක්‍රියාත්මකවූ එස්.ටී.එෆ් නිලධාරීන් තුවාලකරු රැගෙන සූරියවැව රෝහල වෙත ඉගිල ගියහ.

එහෙත් අපරාධකරුගේ ජීවිතය බේරාගැනීමට ඉඩ ලැබුණේ නැත. ලබ්බලගේ නුවන් ලක්‍ෂිත විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අතින් මැරුම් කෑ සිද්ධිය පැය කීපයක් යන්නට පෙර ලැව් ගින්නක් මෙන් රට පුරා පැතිර ගියේය.

ඉකුත් 21 වැනිදා රාගම මහබාගේ හන්දියේ පිහිටි ඌරුමස් වෙළෙඳසලේ හිමිකරු වූ උක්කුවා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළේ නුවන් ලක්‍ෂිතය. යුද හමුදා ගැමුණු හේවා බළකායට 1999 වර්ෂයේදී එක්වූ ලක්‍ෂිත වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු පසුගිය ජනවාරි 21 වැනිදා මොහු විශ්‍රාම ගොස් සිටියේය.

යුද හමුදා සක්‍රීය සේවයේ සිටියදී මෙන්ම විශ්‍රාම යෑමෙන් පසුවද ලක්‍ෂිත විවිධ පාතාල කොන්ත්‍රාත් අපරාධ සඳහා සම්බන්ධ විය. අමතර ආදායමක් ලබාගැනීම සඳහා මේ ආකාරයේ තුට්ටු දෙකේ රැකියාවකට සම්බන්ධවූ ලක්‍ෂිත ජීවිතයේ හරි අඩක් ගෙවී යද්දී අවසන් ගමන් යන්නේ දෛවයේ සරදමක් නිසාය.

පසුගිය මාස කීපය පුරාම රටේ විවිධ ප්‍රදේශවල පාතාල අපරාධවල ශීඝ්‍ර වැඩිවීමක් වාර්තාවෙමින් තිබුණේය. විශේෂයෙන්ම දකුණ සහ බස්නාහිර පළාත් කේන්ද්‍රකරගත් ස්ථාන රැසක ආන්දෝලනාත්මක පාතාල මිනිමීරුම් ඇතුළු ප්‍රහාර මාලාවක් සිදුවුණේය.

ඩුබායි නිපුනගේ වෙඩික්කරුට මරු කැඳවු එස්.ටී.එෆ් මෙහෙයුම

පාතාල කල්ලි මර්දනයට විශේෂ ඒකක තිබුණද අපරාධ විමර්ශනයට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකක මෙන්ම තවත් විශේෂ ඒකක රැසක් පොලිසිය සතුවුවද අද මේ වනවිට ඊට සක්‍රීයව සෘජු දායකත්වයක් ලබාදෙමින් පාතාලය සමඟ ද්වන්ධ සටනට එක්ව සිටින්නේ පොලිස් විශේෂ කාර්ය බළකාය පමණක් යැයි කීවොත් එය නිවැරදිය. පසුගිය කාලය පුරාම රටේ සිදුවූ ආන්දෝලනාත්මක පාතාල අපරාධවලින් 90% කම අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නේ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි ඒකකය මෙන්ම එහි විශේෂ වැටලීම් ඒකක මගින්ය. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ඒකක මේවන විට සිදුකර ඇති මෙහෙය අති විශාලය. එය සැබැවින්ම ඉතා ප්‍රශංසනීය අගනා සේවයකි. රාගම මහබාගේ මංසන්ධියේ ඌරුමස් වෙළෙඳසලේ හිමිකරු මහදවල් වෙඩිතබා ඝාතනය කිරීමේ විමර්ශන කටයුතු පොලිසිය සහ පෑලියගොඩ අපරාධ කොට්ඨාසය ආරම්භ කළද එහි ප්‍රධාන අපරාධකාරයන් සියලු දෙනා කොටුකර ගන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින්ය.

‘උක්කුවා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඌරුමස් වෙළෙඳසල් හිමියා ඝාතනය ඩුබායිහි සැඟවී සිටින වැල්ලෙ සාරංග සහ ඩුබායි නිපුන යන පාතාල මැරයන් දෙදෙනා අතර කාලාන්තරයක් තිස්සේ පවතින බද්ධ වෛරයේ ප්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බව මේවනවිට හෙළිවී හමාරය.

ඝාතනයට ලක්වූ උක්කුවා වැල්ලේ සාරංගගේ මස්සිනාය. සාරංගගේ නැගණියගේ සැමියා වන උක්කුවා පාතාල අපරාධ කිසිවකටත් සම්බන්ධයක් නැති පුද්ගලයෙකි.

එහෙත් පාතාල වෛරයට ඒ කිසිවක් සම්බන්ධ නැත. තම ප්‍රතිවාදියා රිද්දවීමට හැකි කවුරුන් වුවද මරා දැමීමට ඔවුන් පසුබට වන්නේ නැත. ඩුබායි නිපුනත් වැල්ලේ සාරංගත් අතර එකිනෙකා මරා ගැනීමේ සටන් ඇතිවෙන්නේ මීට වසර කීපයකට පෙර සිටය. වැල්ලේ සාරංග මෝදර රොක්හවුස් ප්‍රදේශයේ පදිංචිව සිටින අතර මත්ද්‍රව්‍ය ජාවාරම ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ගය විය. ඩුබායි නිපුන සිය පාතාල ආධිපත්‍ය පතුරුවාගෙන සිටියේ තොටළඟ සහ ඒ අවට ප්‍රදේශයේය. මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ සීමා මායිම් වෙන්කර ගැනීම සහ කප්පම් ලබාගැනීම මත මේ පාතාල මැරයන් දෙදෙනා අතර ඇතිවූ ගැටුම් වලින් මේවනවිට පුද්ගලයන් සෑහෙන පිරිසකට ජීවිත අහිමිවී හමාරය. විශේෂත්වය වන්නේ වැල්ලේ සාරංග මෙන්ම ඩුබායි නිපුන යන පාතාල මැරයන් දෙදෙනා මේ සියලු අපරාධ මෙහෙයවන්නේ ඩුබායි රාජ්‍යයේ සිටය.

මීට මාස කීපයකට උඩදී වැල්ලේ සාරංගගේ සමීපතමයකු නිපුනගේ ගෝලබාලයන් විසින් කපා කොටා ඝාතනය කර තිබිණි. ඒ ඝාතනයට එකට එක කිරීමක් ලෙස සාරංග සිය සහචරයන් යොදවා මාළු කුමාර මරා දැම්මේය. මාළු කුමාර යනු ඩුබායි නිපුනගේ නැන්දනියගේ සැමියා විය. තම සමීප ඥාතියකු මරා දැමීම පිළිබඳව දැඩි ලෙස කෝපාවිෂ්ටව සිටි ඩුබායි නිපුන සාරංගගේ පවුලේ සමීපතමයන් ඝාතනය කිරීමට සැලසුම් කළේය.

සිය මාමා මරා දැමීම තමන්ට කළ මහා නිග්‍රහයක් ලෙස නිපුන සිතුවේය. නිපුන දිනක් වැල්ලේ සාරංගට දුරකථනයෙන් කථා කොට තර්ජනය කළේය.

“උඹ මගේ මාමව මැරුවෙ මට රිද්දන්නනෙ. මං උඹේ මස්සිනා අර උක්කුවා කියන එකා පරලොව අරිනවා පුළුවන්නම් බේරගනින්. ඩුබායි නිපුන සාරංගට තර්ජනය කළේය. හරි උඹ එහෙම කළොත් මං එකට පහක් බාවනවා. උඹ දන්නෙ නැහැ වැල්ලේ සාරංගගේ හැටි.

නිපුනගේ තර්ජන හමුවේ නොසැලී සිටි සාරංග පෙරළා ඔහුට තර්ජනය කළේය. කටමැත දෙඩවීම පාතාල මැරයන්ගේ ලක්‍ෂණයකි. ප්‍රතිවාදියා කරන ක්‍රියාවට එහා ගිය ක්‍රියාවක් කිරීමට ඔවුන් හැමවිටම උත්සාහ කරති. “නිපුනයා නයා වගේ මිනිහා ඌ මගෙන් පළිගන්න උඹට මොනවා හරි කරයි. ඒ නිසා නිතරම කඩේට යන්න එපා. මග ඇරලා හිටපං..”

වැල්ලේ සාරංග සිය මස්සිනා වූ උක්කුවාට ඩුබායි සිට දුරකථනයෙන් කථා කර අනතුරු ඇඟෙව්වේය. එහෙත් උක්කුවා ඒ කිසිවක් ගණන් ගත්තේ නැත. තම ව්‍යාපාර කටයුතු ඔහු දෛනිකව කරගෙන ගියේය.

ඩුබායි නිපුන ඒවනවිට සාරංග කෙරෙහි පසුවුණේ දැඩි වෛරයෙන්ය. නිපුනගේ බොහෝ අපරාධ මෙහෙයුවේ ඩුබායි රවී නමැති සමීපතමයකු විසින්ය. මත්ද්‍රව්‍ය ජාවාරමට මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයටද තදින් ඇබ්බැහි වී සිටින ඩුබායි රවී නිපුන ලබාදෙන ඕනෑම අපරාධ කොන්ත්‍රාත්තුවක් නියමාකාරයෙන් ඉෂ්ට කළේය. “වැල්ලේ සාරංගයට රිදෙන්න මොනවා හරි කරන්න ඕනෙ. ඌ නටනවා වැඩියි අපි සද්ද නැතිව හිටියොත් ඌ අපේ කරේ නගිනවා…”

නිපුන සිය සමීපතම සගයාවූ රවීට කීවේය. “හරි ලොක්කා කිසිදේකට බය වෙන්න එපා පොඩි ගාණක් විසිකරමු අපි වැඩේ කරලා දෙන්නම්.”

ඩුබායි රවී සිය සමීපතමයකු වන ජී. ඩබ්ලිව්. සිල්වාට ඩුබායි සිට දුරකථනයෙන් කථා කළේය.

මල්ලි අපේ වැඩක් තියෙනවා උඹට හොඳ ගාණක් හොයාගන්නත් පුළුවන්. මේක නිපුනයගෙ වැඩක්. උඹ උඹේ සෙට් එකත් එක්ක එකතුවෙලා මේ වැඩේ කරල දීපං….”

රවී සිය මිතුරා වන සිල්වාට කීවේය. රවි ලබාදෙන ඕනෑම පාතාල කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කිරීමට සිල්වා දෙවරක් සිතා බැලුවේ නැත. ඒ රවි ගනුදෙනු නියාමාකාරයෙන් බේරන නිසාය.

ඩුබායි නිපුනගේ වෙඩික්කරුට මරු කැඳවු එස්.ටී.එෆ් මෙහෙයුම

ජී. ඩබ්ලිව්. සිල්වා යනු යුද හමුදා ගැමුණු හේවා බළකායේ කෝප්‍රල්වරයෙකි. උන්නච්චිය හමුදා කඳවුරේ රාජකාරි කරන සිල්වා පාතාල කුලී ඝාතකයකු ලෙස කටයුතු කළේය. ඒ අමතර ආදායම් මාර්ගයක් ලබාගැනීම සඳහාය. පාතාල මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවල නිරත මේ නරුමයා මුදල් ඉපයුවේය. සිල්වාගේ සමීපතම මිතුරා වූයේ නුවන් ලක්‍ෂිතය. මේ දෙන්නම කාලයක් තිස්සේ උන්නච්චිය හමුදා කඳවුරේ එකට රාජකාරි කළෝය. පාතාල අපරාධ කීපයක් සඳහාම ඔවුන් දෙදෙනා එකට සම්බන්ධ වූවෝය.

“ලක්‍ෂිතයා ඩුබායිවලින් අපට කන්ට්‍රැක් එකක් ආවා. මහබාගෙ එකෙකුට වැඩක් දෙන්න. අපි සෙට්වෙලා කරමු. අතට ගාණක් එන වැඩක්.”

සිල්වා සිය කල්‍යාණ මිතුරා බඳුවූ ලක්‍ෂිතට කීවේය. ලක්‍ෂිත යුද හමුදා ගැමුණු බළකායට සම්බන්ධව වන්නේ 1999 වර්ෂයේදීය. වසර 25 ක් සේවය කළ මොහු ඉකුත් ජනවාරි මාසයේ විශ්‍රාම ගියේය. ඒ උන්නච්චිය හමුදා කඳවුරෙන්ය.

සක්‍රීය සේවයේ යෙදී සිටියදී පවා ලක්‍ෂිත මිනිස් ඝාතන සහ පාතාල අපරාධ රැසකට සම්බන්ධ වෙමින් මුදල් උපයා ගත්තේය. ජී. ඩබ්ලිව්. සිල්වා ගාල්ල, රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. “වපර සුමුදු” නමැති පාතාල කොන්ත්‍රාත් මිනිස් ඝාතකයාගේ එක කුස උපන් සොහොයුරා වන සිල්වා පාතාලයට අත්පොත් තබන්නේ මීට වසර කීපයකට උඩදීය. ආමි රුවන් නමැති පාතාල මැරයා සිල්වාගේ සමීප මිතුරකු විය. ආමි රුවන්ගේ මාර්ගයෙන් කොස්ගොඩ සුජී දැන හඳුනා ගන්නා සිල්වා ඒ හරහා පාතාල ලෝකයේ විවිධ පුද්ගලයන් දැන හඳුනා ගත්තේය.

මීට වසර කීපයකට පෙර ආමි රුවන් පොල්ගහවෙලදී කෝච්චියට බෙල්ල තබා සිය දිවි හානිකරගෙන තිබුණේය. ඒ පවුල් ප්‍රශ්න නිසාය. ආමි රුවන් මියගිය පසුව සිල්වා කොස්ගොඩ සුජී සමඟ තිබූ සබඳතා තව තවත් වර්ධනය කර ගත්තේය.

කොස්ගොඩ සුජී සිය පාතාල කොන්ත්‍රාත් කීපයක්ම සිල්වාට භාර දුන්නේය. යුද හමුදා සේවයේ යෙදී සිටියදීම සිල්වා ඒ අපරාධ සිදුකර නිරුපද්‍රිතව නැවත හමුදා කඳවුර වෙත ගොස් රාජකාරි කළේය. ඩුබායි රවි සිල්වාට දුරකථනයෙන් කථා කර අවශ්‍ය උපදෙස් සියල්ල ලබාදුන්නේ නිපුනගේ නියෝග මතය. වැල්ලෙ සාරංගගේ මස්සිනා ඉන්නවා මහබාගේ හන්දියේ මිනිහා ඌරුමස් කඩයක් කරනවා. මං මිනිහගේ ෆොටෝ එකක් එවනවා. ඒ එක්කම වැඩේට ලක්‍ෂ 3 ක් දෙනවා. මේ වැඩේ හරියටම වෙන්න ඕනෙ දන්නවනෙ නිපුනගෙ හැටි. උඹලා වැඩේ හරියට කළොත් හොඳට සලකයි. ඩුබායි රවී සිල්වාට කීවේය.

උක්කුවාගේ ඡායාරූපයක් මෙන්ම රුපියල් ලක්‍ෂ 3 ක මුදලක් ද සිල්වා වෙත ලැබිණි. ප්‍රහාරය සඳහා යෑමට යතුරුපැදියක් මෙන්ම වෙඩි තැබීමට අවශ්‍ය පිස්තෝලයද සිල්වා වෙත ලැබී තිබිණි. සිල්වා සිය කල්‍යාණ මිතුරා වූ ලක්‍ෂිත හමුවුණේය. ඩුබායි රවී ලබාදුන් කොන්ත්‍රාත් මුදලින් රුපියල් ලක්‍ෂයක්ද ඔහුට ලබාදුන්නේය. අපි මේ වැඩේට තව කෙනෙක් හවුල් කරගන්න ඕනෙ. මොකද මහබාගෙට යන්න අපට වාහනයක් ඕනෙ. ඒ වගේම ඔත්තු බලන්නත් කෙනෙක් ඕනෙ. මේ වැඩ දෙකතුනටම සදේෂ්ව සම්බන්ධකර ගමු.” සිල්වා කීවේය. ලක්‍ෂිත ද ඊට කැමති වුණේය. සදේෂ් යනු යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකි. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින මොහු ඕනෑම දහදුරා වැඩකට සම්බන්ධ වන්නේ අතට ලැබෙන මුදලට දක්වන ගිජුකම නිසාමය.

තමන් පරලොව යැවීම සඳහා කුලී ඝාතකයන් කණ්ඩායමක් යොදා සිටින බව නොදත් උක්කුවා සිය දෛනික කටයුතු කරගෙන ගියේය. ඒ වනවිට සදේෂ් අවස්ථා කීපයකදීම ත්‍රිරෝද රථයකින් ගොස් උක්කුවාගේ ඌරුමස් කඩේ අවට සැරිසරමින් ඔහුගේ ගමන් බිමන් පිළිබඳව ඔත්තු බැලුවේය.

ලබාගත් තොරතුරු සියල්ල සිල්වාට සහ ලක්‍ෂිතට ලබාදෙන්නට කටයුතු කළේය. ඒ වනවිට සිල්වා සිටියේ උන්නච්චිය කඳවුරේය. උක්කුවා මරා දැමීමට දිනයක් යොදාගත් සිල්වා කඳවුරෙන් දින 2 ක නිවාඩුවක් ලබාගෙන කොළඹ ආවේය.

අපි 21 වැනිදා වැඩේ කරනවා. සේරම ලෑස්තිකරලා තියෙන්නෙ. වැඩේට ඕන කරන බයික් එක වෙපන් එක සේරම ලෑස්තියි. ත්‍රීවිල් එකක් තියනවා ඒක අරගෙන එන ගුණේ තමයි වෙපන් එක ගේන්නෙ. අපිට තියෙන්නෙ වැඩේ හරියට කරලා මාරුවෙන එක.

සිල්වා සිය සගයන්ට අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය. උක්කුවා මරා දැමීමට අවශ්‍ය සියලු කටයුතු ඒ වනවිට සූදානම් කර තිබුණේය.

පෙබරවාරි 21 වැනිදා උදාවුණේය. උක්කුවා සුපුරුදු පරිදි මහබාගේ පිහිටි සිය ඌරුමස් වෙළෙඳසල වෙත ආවේය. තමන්ට ජීවිත තර්ජනයක් තිබෙන බව වැල්ලේ සාරංග දිගින් දිගටම කියා සිටියද උක්කුවා ඒ කිසිවක් ගණනකට ගෙන තිබුණේ නැත.

ඒ වනවිට උදෑසන 7.00 පසුවී තිබිණි. මහබාගේ ප්‍රදේශය බෙහෙවින් ජනාකීර්ණය. උක්කුවාගේ ඌරුමස් කඩය ආසන්නයේ ත්‍රිරෝද රථයක් නතර කළේය. සිල්වා, ලක්‍ෂිත සහ සදේශ් එහි සිටියෝය. ත්‍රිරෝද රථය පදවාගෙන ආවේ ගුණේ විසින්ය.

“අර තට්ටෙ තියන මෑන් තමයි උක්කුවා. සදේෂ් සිල්වාට උක්කුවා පෙන්නුවේය. සිල්වාගේ දෑස් එකවරම ගියේ උක්කුවාගේ මුහුණ දෙසට නොව ඔහු පැළඳ සිටි පවුම් ගණනක රන් මාලය දෙසටය.

ඩුබායි නිපුනගේ වෙඩික්කරුට මරු කැඳවු එස්.ටී.එෆ් මෙහෙයුම

මේ මාලෙ වටිනවා ඇති සෑහෙන්න. මාත් ආසයි මාලයක් දාන්න. සිල්වා තනිවම කල්පනා කළේය. ත්‍රිරෝද රථය මස්කඩය අසලින් ඉවත්ව ප්‍රධාන මාර්ගය ඔස්සේ ධාවනය වුණේය. අතරමග යතුරුපැදිය නතර කර තිබුණේය.

“සදේෂ් උඹ දැන් තනියම පලයන් ත්‍රීවිලර් එකේ. කඩේ ඉස්සරහට ගිහින් හොඳට වටපිට බලලා ප්‍රශ්නයක් නැත්නම් අපට කෝල් කරපන්….” සිල්වා සදේෂ් ත්‍රිරෝද රථයෙන් පිටත් කර හැරියේය. විනාඩි ගණනක් ගතවන්නට පෙර ඇමතුමක් ආවේය.

සිල්වා අයියා දැන් මොකුත් ප්‍රශ්නයක් නැහැ. උක්කුවයි ගෝලයයි විතරයි කඩේ ඉන්නෙ. ටක් ගාලා එන්න.

සදේෂ්ගේ දැනුම් දීම මත ක්‍රියාත්මක වූ සිල්වා සහ ලක්‍ෂිත යතුරුපැදිය වෙත ගොඩවූහ. උක්කුවාගේ මාරයා මීගමුව කොළඹ මාර්ගය ඔස්සේ මහබාගේ දෙසට සේන්දු වුණේය.

මස් වෙළෙඳසල ඉදිරිපිට යතුරුපැදිය නතර කෙරිණි. සිල්වා එකවරම යතුරුපැදියෙන් බැස මස් කඩය වෙත ගොස් උක්කුවාගේ හිසට සහ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කළේය.

හැඩිදැඩි සිරුරක් හිමි උක්කුවා කපාහෙළුෑ කෙසෙල් කඳක් මෙන් බිම ඇද වැටුණේය. අහලපහල සිටිය උන් හිස් ලූලූ අත දිව යන්න වූහ. ප්‍රහාරය සාර්ථකය. සිල්වා ආපසු යන්නට හැරෙද්දී උක්කුවාගේ කර බැඳි රන් මාලය දුටුවේය.

දෙවරක් නොසිතාම වෙළෙඳසල තුළට ගිය සිල්වා පන අදිමින් සිටි උක්කුවාගේ කර බැඳි රන්මාලය කඩාගෙන යතුරුපැදිය වෙත දිව ගියේය. ඒ වනවිට ලක්‍ෂිත යතුරුපැදිය පණගන්වාගෙන සිටියේය. සිය ප්‍රහාරය සාර්ථකව නිම කළ ලක්‍ෂිත සහ සිල්වා ජනාකීර්ණ මාර්ගය ඔස්සේ නොපෙනී ගියහ. අතරමගදී සිල්වා ඩුබායි සිටින රවීට දුරකථන ඇමතුමක් ලබාගත්තේය. “රවි අයියා ඔන්න වැඩේ හරියටම කළා. නිපුනට කියන්න අපට හොඳට සලකන්න කියලා. සිල්වා කීවේය. ප්‍රහාරය සාර්ථකව ක්‍රියාත්මක කිරීම ගැන රවී මෙන්ම නිපුන ද සිල්වාට ස්තූති කළේය. ප්‍රහාරය සඳහා යොදාගත් යතුරුපැදිය සහ ගිනි අවිය ගුණේට භාරදුන් සිල්වා ලක්‍ෂිත සහ සදේෂ් වෙන් වුණේය. “මං කෑම්ප් එකට යනවා උඹලා දෙන්නත් කොහෙට හරි ගිහින් මාරුවෙලා හිටපල්ලා. හදිස්සියක් වුණොත් කෝල් කරපල්ලා තේරුණාද සිල්වා සිය සගයන් දෙදෙනාගෙන් සමුගෙන උන්නච්චිය කඳවුර බලා යන්නට පිටත් වුණේය.

සදේෂ් සහ ලක්‍ෂිත වලස්මුල්ලේ පදිංචිකරුවන් නිසා ඔවුන් ගම්රටවල් බලා යන්නට පිටත් වූහ. බස් රථයෙන් යන අතරතුර සිල්වා තම කලිසම් සාක්කුවේ තිබූ රන් මාලය පිටතට ගෙන පරීක්‍ෂා කළේය. ඒ වනවිටත් එහි රුධිරය තැවරී තිබුණේය. අත තිබූ ලේන්සුවෙන් රන් මාලයේ තැවරී තිබූ රුධිරය පිස දැමූ සිල්වා මොහොතක් කල්පනා කළේය.

මේක කොහොමහරි දීලා පාස්ස ගන්න ඕනෙ. අනික මේකට පෙන්ඩන් එකකුත් දාගන්න ඕනෙ. එසේ සිතූ සිල්වා කදුරුවෙල ප්‍රදේශයේදී බසයෙන් බැස රන් ආභරණ අලෙවි සලක් වෙත ගියේය.

“මට මේ චේන් එකට පොඩි පෙන්ඩන්ට් එකක් ගන්න ඕනෙ. මේක මගදී මගේ අතින් කැඩුණා. ඒකත් පාස්ස ගන්න ඕනෙ.”

සිල්වා රන් ආභරණ අලෙවිසලේ හිමිකරුට කීවේය. උක්කුවා ඝාතනය කර ලබාගත් රුපියල් ලක්‍ෂයක මුදල ඒ වනවිට සිල්වා සතු විය. ඔහු ඒ මුදල් වියදම් කළ රන් පෙන්ඩනයක් මිලදී ගෙන කැඩුණු මාලයද සකසා ගත්තේය. තමන් වෙඩි තබා ඝාතනය කර කඩා ගත් රුධිරය තැවරුණු චේන් පොට කරේ දමාගත් සිල්වා කිසිම හිරිකිතයකින් තොරව උන්නච්චිය කඳවුර වෙත ගියේ කිසිවක් සිදුනොවූ පරිද්දෙන්ය.

දෙනෝදාහක් දෙනා බලා සිටියදී මහබාගේ මංසන්ධියේදී උක්කුවා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු මහබාගේ පොලිසිය සහ පෑලියගොඩ අපරාධ කොට්ඨාශය ආරම්භ කළහ. ඒ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් සහ පාතාල මර්දන ඒකකය වෙනම විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබුණේය.

සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතා වෙත පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබුණේය. ඒ උක්කුවා ඝාතනයට සම්බන්ධ සදේෂ් පිළිබඳවය. දින කීපයක මෙහෙයුමකින් පසු සදේෂ් කොටුකර ගැනීමට එස්.ටී.එෆ් නිලධාරීන් කටයුතු කළෝය. සදේෂ්ගෙන් ප්‍රශ්න කිරීම් ඇරැඹෙන්නේ ඉන් පසුවය.

“ඩුබායි රවී අයියා තමයි මට මේ වැඩේ දුන්නෙ”

සිල්වා ගැන හෝ ලක්‍ෂිත ගැන කිසිවක් නොකියා සදේෂ් සත්‍ය වසන් කළේය. එහෙත් සදේෂ්ට තවදුරටත් සත්‍ය සඟවා තබා ගැනීමට හැකි වුණේ නැත. සදේෂ් සතුව තිබූ ජංගම දුරකථනය සිය භාරයට ගත් සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර ඇතුළු නිලධාරීහු එය පරීක්‍ෂා කළේය.

එම ජංගම දුරකථනයේ හමුදා සෙබළකුගේ ඡායාරූපයක් විය. එමෙන්ම මහබාගේ වෙඩි තැබීමට අදාළ යූටියුබ් වීඩියෝ පට ගණනාවක්ම උන්නච්චිය ප්‍රදේශයේ කඳවුරක හමුදා සාමාජිකයකුගේ ජංගම දුරකථනයක් වෙත යවා ඇති බව එස්.ටී.එෆ් නිලධාරීන් සොයා ගත්තේය.

උන්නච්චිය කඳවුරේ සිටි සිල්වා පිළිබඳ සියලු තොරතුරු සොයාගත් එස්.ටී.එෆ් නිලධාරීන් පසුදිනම එම කඳවුර වෙත ගියේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහාය.

එහෙත් ඒ වනවිට සිල්වා කඳවුරෙන් පලාගොස් තිබුණේය. සදේෂ් අත්අඩංගුවට පත්වූ පුවත සැලවීමත් සමඟම සිල්වා කඳවුර හැර ගියේ කෙසේ හෝ බේරී යෑමටය.

යුද හමුදා පොලිසිය අම්පාරේදී සිල්වා අත්අඩංගුවට ගෙන පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත භාරදෙන්නේ හමුදාවේ සිටිමින් එහි කීර්තිනාමය විනාශ කරන උන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින්ය.

අත්අඩංගුවට ගත් සිල්වාගෙන් ප්‍රශ්න කිරීමේදී උක්කුවා ඝාතනයේ තොරතුරු සියල්ල හෙළි වුණේය. උක්කුවා මරාදමා කොල්ල කෑ රන් මාලය සිල්වා සිය බෙල්ලේ එල්ලාගෙන සිටියදී පොලිස් නිලධාරීන් අතට පත්විය.

සිල්වාගෙන් ප්‍රශ්න කිරීමේදී ප්‍රහාරය සඳහා යතුරුපැදිය පැදවූ ලක්‍ෂිත පිළිබඳ තොරතුරු අනාවරණය විය. ඒ අනුව සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර ඇතුළු නිලධාරීන් සූරියවැව ප්‍රදේශය වැටලුවෝය.

වසර ගණනක් තිස්සේ තමන් සිදුකළ අපරාධවලට නිසි දඬුවම් වශයෙන් ලක්‍ෂිත විශේෂ කාර්ය බළකා නිලධාරීන් අතින් මැරුම් කෑවේ අවි ගත්තවුන්ට අත්වන ඉරණම සැබෑවක් කරමින්ය. උක්කුවා ඝාතන සිද්ධියට අමතරව ලක්‍ෂිත තවත් මිනීමැරුම් සහ අපරාධ ගණනාවකට සම්බන්ධවූ අපරාධකරුවෙකි. ඉකුත් 2023 වර්ෂයේ අගෝස්තු 28 වැනිදා වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේදී යතුරුපැදිය පැදවූයේ ලක්‍ෂිතය. මේ ඝාතනයද පාතාල කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවකි. එමෙන්ම ගාල්ල පොලිස් වසමේ සීනිගමදී පාතාල නායක විදුරගේ මස්සිනා වන දුලාජ් නමැත්තාව වෙඩි තබා බරපතළ තුවාල කිරීමට කුලී වෙඩික්කරු සමඟ ආවේ ලක්‍ෂිතය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ කැපවීම දක්‍ෂතාව නිසාම මහබාගේ උක්කුවා ඝාතනයේ සියලු සැකකරුවන් නීතියේ රැහැනට නතුකර ගැනීමට හැකිවිය.

එහෙත් මේ ඝාතනදාමයන්ගේ මහමොළකාරයන් සියලු දෙනා සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. ඩුබායිහි සුර සැප විඳිමින් මේ කාලකන්නින් සිදුකරන්නේ මේ රටේ අහිංසක පුරවැසියන් තම වෛරය පිරිමසා ගැනීමට මරා දැමීමය. ඩුබායිහි සිටින මේ නරුමයන්ව මෙරටට ගෙන්වා උන්ට පාඩමක් උගන්වන තාක්කල් මේ අපරාධවලට නැවතීමේ තිත තබන්නට හැකිවන්නේ නැත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment