උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණිය” අපේ මුතුන් මිත්තන් එලෙස පැවසුවේ බුදු පහසින් පිදුම් ලද කැලණි විහාරස්ථානය ලෝවැසි බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් බඳු වූ නිසාය. එලෙස බෞද්ධයන් අතර භක්ත්‍යාදරයට පාත්‍ර වූ කැලණි විහාරය ගැන වර්තමානයේ අසන්නට දකින්නට ලැබෙන්නේ සිත් කලකිරවන ආකාරයේ දසුන් ය. 2019 වර්ෂයේ නාග ලෝකයෙන් නාගයෙක් වැඩියා යැයි පවසමින් නැටූ නාටකයත් සමග ඓතිහාසික කැලණි විහාරස්ථානය පිළිබඳ බෞද්ධයන්ගේ සිත් තුළ තිබූ විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් පළුදුවීමට පටන් ගත්තේය.

බෞද්ධයන්ගේ සිත් තුළින් නයි නාටකය ක්‍රම ක්‍රමයෙන් තුරන් වී ගියේය. යළිත් බෞද්ධයෝ බැති සිතින් ඓතිහාසික කැලණි විහාරස්ථානය වන්දනා මාන කිරීමට පටන් ගත්හ. වසර කිහිපයක් එලෙස ගත විය. බෞද්ධයන්ගේ සිත් කලකිරීමට පත් කරමින් යළිත් වරක් එම විහාරස්ථානයේ නාටකයක් පෙන්වූවේය. මෙවර එම නාටකයේ ප්‍රධාන නළුවා වූයේ අවලෝකිතේශ්වර නමින් හඳුන්වාගත් බෝධිසත්වයෙකි. සිද්ධිය සැකවින් මෙසේය.

ජනවාරි පළමුවැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊජිප්තුවේ සිට සුවිශේෂී පුද්ගලයකු පැමිණියේය. කොණ්ඩය දිගට වවා රැවුල මුඩු කර සිටි ඔහු සුදු ඇඳුමකින් සැරසී සිටියේය. ගුවන්තොටින් එළියට පැමිණි ඔහු පිළිගැනීමට නැටුම් කණ්ඩායමකින් සැදුම් ලත් පිරිසක් සැදී පැහැදී සිටියහ. ඒ අතර මෙහෙණින් වහන්සේ නමක් ද විය. ඊජිප්තුවේ සිට පැමිණි පුද්ගලයා ගුවන්තොටින් එළියට පැමිණියේය. ඒ සමගම පිළිගැනීමට සිටි පිරිස නැටුම් ගැයුම් මැද මහත් හරසරින් යුතුව ඔහුව පිළිගත්හ. එපමණක් නොව මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිසක් ඔහුට දණ්ඩ නමස්කාර කළහ. පසුව එම පිරිස පැවසුවේ ඊජිප්තුවේ සිට මෙරටට පැමිණියේ එසේ මෙසේ පුද්ගලයකු නොව අවලෝකිතේශ්වර බෝධිසත්වයකු බවයි.

ජනවාරි පළමුවැනිදා අවලෝකිතේශ්වර බෝධිසත්වයා මෙරටට පැමිණියත් ඔහු පිළිබඳව මෙරට බහුතරයක් ජනතාව කතා කිරීමට පටන් ගත්තේ කැලණි විහාරයට පැමිණීමත් සමගයි.

අවකෙළි නිම නොවන රටක ඊජිප්තුවේ මහින්ද නටපු නැටුම

මෙරටට පැමිණි බෝධිසත්වයා ලිමොසින් රථයකින් කැලණි විහාරය වැඳපුදා ගැනීමට පැමිණියේය. ඒ දැනට දින කිහිපයකට පෙරය. එලෙස විහාරස්ථානයට පැමිණි දින ඔහු පිළිගැනීමට සුළු පිරිසක් එක්රොක්වී සිටියහ. එපමණක් නොව කැලණි විහාරයට පා තබනවාත් සමග එම ස්ථානයේ සිටි පුද්ගලයෙක් ගෙල වටා චීවරයක් දමා ඉතා භක්තියකින් යුතුව ඔහුව පිළිගත්තේය. එලෙස පැමිණි බෝධිසත්වයා කැලණි බෝධිය අසල සිට සිය අනුගාමිකයන්ට තමා ගැන වර්ණනාවක් ද කරමින් යම් දහමක් දේශනා කළේය. එය පිළිගත් සමහර ස්ත්‍රීන් ඔහුගේ දෙපා අල්ලා දණ්ඩ නමස්කාර කළේ තමන් නිවන් ගියා යැයි පවසමින් ය.

පැය කිහිපයක් එලෙස ගතවිය. අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ගැන සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ තොරතුරු දැනගන්නට ලැබුණි. ඉන්පසු ජනතාව මොහු පිළිබඳව සොයා බලන්නට සහ කතා කිරීමට පටන් ගත්හ.

අවලෝකිතේශ්වර බෝධිසත්වයන් යනු 1978 වර්ෂයේ අම්බලන්තොට ප්‍රදේශයේ උපන් පුද්ගලයෙකි. නම මහින්ද කොඩිතුවක්කු ය. තම බිරිඳගේ පළමු කසාදයේ දියණිය ලිංගික අපහරණයට ලක්කරන මෙම පුද්ගලයා හොර රහසේම ඊජිප්තුවට පැන ගත්තේය.

ඊජිප්තුවට යන මෙම පුද්ගලයා පසුව එහි ජීවත්ව සිටින ඇමරිකානු ජාතිකයකුගේ නිවසේ සුනඛයන් බලාගැනීම තම රැකියාව වශයෙන් තෝරා ගත්තේය. වසර දහයක් ඔහු එහි සේවය කළේය. ඒ කාලය අතර මොහු හීනයක් දකිනවා. ඒ හීනෙන් දකින්නේ තුන්දෙනෙක් මතට පෙට්ටියක් කඩාගෙන වැටෙනවා. එලෙස පෙට්ටිය කඩා වැටීමෙන් දෙදෙනෙක් මියයනවා. ඉතිරි වන්නේ මොහු විතරයි. ඉන් පසු මොහු අවලෝකිතේශ්වර බෝධිසත්වයන් නමින් පෙනී සිටිනවා. ඒ සමගම මොහු 180 යූටියුබ් චැනල් එකක් හරහා බණ කියා දෙකලවර පේනවද කියන බණ දේශනා කරනවා. ‘දෙකලවර පේනව’ද යනු ටිබෙට් සහ සමහර බෞද්ධාමික සංකල්පවල තියෙන සිත එකඟකර ගැනීමේ ක්‍රමයක්. මෙය හරහා මොහු අනුගාමිකයන් පිරිසක් සාදා ගන්නවා. ඒ අය අතර වෛද්‍යවරුන්, පොලිස් නිලධාරියෙක් ඇතුළු පිරිසක් සිටිනවා. ඒ අනුගාමිකයන් හරහා මොහු මුදල් ගරාගෙන ජනවාරි පළමුවැනිදා මෙරටට පැමිණියේය.

එලෙස පැමිණීමට පෙර එම අනුගාමිකයන් හරහා මොහු මෙම ආගම මෙරට පැතිරවීම සඳහා සැලසුම් කළේය. ඒ සඳහා ඔහුත් භාවිතා කළේ සමාජ මාධ්‍ය ජාලා ය. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මෙම පුද්ගලයා තම අනුගාමිකයන් සමග කැලණි විහාරය වන්දනා මාන කිරීමට පැමිණියේ. ඔහුගේ අරමුණ වූයේ කැලණි විහාරය වන්දනාමාන කර තම දේශනයක් ද එහි පවත්වා ජනතා ආකර්ෂණය ලබාගැනීමයි. එහෙත් සිදුවූයේ ඔහුත් නොසිතූ දෙයකි. බුද්ධිමත් බෞද්ධ බැතිමතුන් මෙම පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව හොඳ හැටි අවබෝධ කර ගත්තේ ය. එම නිසා මෙම බෝධිසත්වයාට සහ ඔහුගේ අනුගාමිකයන්ට සිදුවූයේ ජනතාව ඉදිරියේ රෙදි ගලවා ගැනීමටයි. එයට අමතරව තවත් සමහරු මොහු මානසික රෝගියෙක් ලෙස ද හැඳින්වූහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment