මන්නාරමට බුදු සිසිලස බෙදන මාතොර විහාරයට කෙනහිළි!

380

මන්නාරම විහාරස්ථාන හයටම තවම ඔප්පු නෑ…

පුරාවිද්‍යා අධි රක්‍ෂිතයේ පිහිටි තිරුකේෂ්වරන් ගමේ මිනිස්සු පොළොව හාරගෙන මොනව කළත් කිසිම ගැටලූවක් නෑ.

පන්සල් වත්තේ යකඩ ඉන්නක් ගැහුවොත් දෙමළ, සිංහල නිලධාරීන් හැමෝම ප‍්‍රශ්න දානවා…

දෙමළ මිනිස්සු අපි සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන යනවට දෙමළ දේශපාලනඥයො කැමති නෑ…

බුදු පිළිමයක බඳ කොටසක්, බෝධිසත්ව ප‍්‍රතිමාවක උඩුකයක්, ටැම් ලිපියක කොටසක්, ඇඹරුම් ගල් කිහිපයක්, මැටි බඳුන්, කාසි වර්ග විශාල සංඛ්‍යාවක් සොයාගෙන තියෙනවා…

හිරු ගිනිගෙන දැවෙයි… පොළොව ගිනියම්ව පා දවාලන්නට වෙහෙසෙයි. දූලි වලාවන් නගමින් අකාරුණික ලෙස හමා එන සුළෙඟ් ද ඇත්තේ ගින්දර ය. බැලූ බැලූ අත වියළී කෙඩෑරි වී ගිය ගහකොළ ඒ සුළඟින් ගිනි ගන්නට මෙන් වැනෙයි. සුන්දර මන්නාරම මහ මඟ ඇවිද යන විට වියරු හිරු අනුකම්පා විරහිතව අපව ද දවාලූ බව සැබෑය. එහෙත් දැන් අප සිටින බෝධි මළුව තුළදී ගත සිත නිවිණි. මන්නාරම ප‍්‍රදේශයට බුදු සිසිලස බෙදාහරින ඓතිහාසික මාතොට රජමහ විහාර භූමිය පුරාම විසිරී ඇත්තේ සිසිලසකි.

බෝධීන් වහන්සේ වටා ඉදිවී ඇති රන් වැටේ දීප්තිය විහාර භූමියට පමණක් නොව ප‍්‍රදේශයටම ආලෝකය විහිදුවාලන සේය. විහාරයට යන ප‍්‍රධාන මාර්ගය, බෝධි මළුවට සහ විසල් ඝණ්ඨාර කුලූන සමීපයට දිවෙන පාට ගඩොල් ඇල්ලූ පුළුල් මාර්ගවල විසිතුරු බව විහාර භූමියේ සුන්දරත්වය තව තවත් ඔපවත් කරන්නේය.

ගිනියම් කතරක, ගහකොළවලින් පිරුණු විහාර භූමිය උද්‍යානයක් මෙන් නඩත්තු කරගෙන සිටීම ද පුදුමසහගතය. මාතොට විහාර භූමිය එතරම් ම සුන්දරය.

මන්නාරමට බුදු සිසිලස බෙදන මාතොර විහාරයට කෙනහිළි!

එමෙන්ම මන්නාරම මන්තේ ප‍්‍රදේශයේ පිහිටි ඓතිහාසික මාතොට රජමහ විහාරය මෙරට බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයකි. ඉන්දියාවේ සිට මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කොට ඇත්තේ මේ ස්ථානයෙන් බව ජනප‍්‍රවාදයේ කියැවේ. ඒ ගැන සඳහන් වූ ලිඛිත සාක්‍ෂියක් තවම නැති මුත්, ජනප‍්‍රවාදයේ පවතින ඒ කතාව දැඩිව විශ්වාස කරන බව මාතොට රජමහ විහාරාධිපති අඹගහවැව සංඝරක්ඛිත හාමුදුරුවෝ අප සමඟ පැවසූහ.

”අපේ ගම හරිම වාසනාවන්තයි. මිහිඳු මහරහරතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මෙරට පාලකයා සිටින ඉසව්ව දිවසින් බලලා තියෙන්නේ මේ ප‍්‍රදේශයේ ඉඳලා…’ ප‍්‍රදේශයේ පැරැණි මිනිසුන් කියන ඒ කතාව මාතොට විහාරයට සමීපයේ පිහිටි හින්දු කෝවිලේ ප‍්‍රධාන පූජකවරයා ද නිතර කියන බව සංඝරක්ඛිත හාමුදුරුවෝ අප සමඟ පැවසූහ.

පුරාණයේ මේ ප‍්‍රදේශය හඳුන්වා ඇත්තේ ‘මාං තොට’ නමිනි. මාං තොට යනු මය දානව යං සිටිය තොට ය. මය දානව යනු මහා රාවණ රජතුමාගේ මාමණ්ඩියයි. මන්දෝදරි බිසවගේ පියා ය. පසුකාලීනව මාං තොට ‘මාං තෝට්ට’ ලෙස නම වෙනස් වී තිබිණි. මාං තෝට්ට යනු දෙමළ නමකි. මාං යනු දමිළ බසින් මුවා ව හඳුන්වන නාමයයි. තෝට්ට යනු වත්තට කියන නමය. බෞද්ධ විහාරයකට ඒ නම නොගැළපෙන බැවින් මල්වතු විහාරයේ නායක හාමුදුරුවෝ සමඟ සාකච්ඡා කර මේ ස්ථානයේ නැවත නිර්මාණය කර ඇති විහාරයට ‘ඓතිහාසික මාතොට රජමහ විහාරය’ ලෙස නම් පටබැඳි බව එහි නිර්මාතෘ අනුරාධපුර අටමස්ථානයේ හිමිනමක් වූ අඹගහවැව සංඝරක්ඛිත හාමුදුරුවෝ පැවසූහ.

‘‘මාතොට වරාය හා සම්බන්ධ ඓතිහාසික කතා තවත් බොහෝමයක් තියෙනවා. විජය කුමාරයාට බිරිඳ වෙන්න මදුරා පුරයෙන් පැමිණි විජායි කුමරිය ඇතුළු කණ්ඩායම ගොඩ බැහැලා නවාතැන් ගෙන තියෙන්නෙත් මේ ස්ථානයේ බව ජනප‍්‍රවාදයක් තියෙනවා. වළගම්බා රජතුමාගේ කාලේ පනේ මාර, පිනෙ මාර, දාඨිය, පීඨිය කණ්ඩායම මේ ස්ථානයෙන් පැමිණි බවට ජනප‍්‍රවාදයක් තියෙනවා. කාලිංග දේශයෙන් පැමිණි කාලිංග මාඝ පැමිණ තියෙන්නෙත් මාතොට වරායෙන්. දුටුගැමුණු යුගයේ භල්ලූක යෝධයා පැමිණ තියෙන්නෙත් මාතොටින්. රාවණා රජතුමාගේ කාලේ වානේ සහ වීදුරු කර්මාන්තයක් මේ ප‍්‍රදේශයේ තිබුණු බවට කතාවක් තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඇවිත් පුරාණ මාතොට පූජා භූමියේ කැණීම් කරලා ඒ ගැන තොරතුරු සෙව්වා…’’

මන්නාරමට බුදු සිසිලස බෙදන මාතොර විහාරයට කෙනහිළි!

‘‘මිහිඳු මහරහතන් වහන්සේ මේ ස්ථානයට පැමිණි නිසා තමයි දෙවන පෑතිස්ස රජතුමා මාතොට විහාරය ආරම්භ කර තියෙන්නේ. ඒ වගේම සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුළු දූත පිිරිස දඹදිව සිට ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වඩම්මවාගෙන පැමිණ, යාපනේ කීරමලේ ප‍්‍රදේශයෙන් ගොඩ බැහැලා මහා පෙරහැරකින් අනුරාධපුරයට වඩම්වාගෙන යන අතර පළමු රාත‍්‍රිය නවාතැන් ගෙන තියෙන්නේ මාතොට මේ ස්ථානයේ. ඒ ගැන සිහිපත් වෙන්න තමයි මේ ස්ථානයේ අෂ්ටඵල බෝධි අංකුරයක් රෝපණය කරලා තියෙන්නේ. පුරාණ සිංහල බෝධිවංශයෙත් ඒ ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේ ස්ථානයේ විශාල දාගැබක් තිබිලා තියෙනවා. අෂ්ටඵල බෝධීන් වහන්සේ වැඩසිටින බෝධි මළුවක් තිබිලා තියෙනවා. අදටත් නිරුපද්‍රිතව තියෙන්නේ බෝධි මළුව විතරයි. මේ ස්ථානයේ පිහිටි දාගැබ කඩා බිඳ දාලා පල්ලියක් හදලා තියෙනවා. පුරාණ මාතොට විහාරයේ විහාර ගේ තිබුණු ස්ථානයේ තමයි අද තිරුකේෂ්වරන් හින්දු කෝවිල නිර්මාණය කරලා තියෙන්නේ. දැන් ඒවට විරුද්ධ වෙලා පලක් නෑ. රුදුරු ආක‍්‍රමණ, පැවති කොටි ත‍්‍රස්තවාදී යුද්ධය උතුර, නැගෙනහිර භූමියේ තව බොහෝ වෙහෙර විහාර විනාශ කර බෞද්ධ ඉතිහාසය මකා දමා තියෙන බව සාක්‍ෂි සහිතව සනාථ වෙලා තියෙනවා…’’ උන්වහන්සේගේ කතාවට මම බාධා කළෙමි.

එදා ඓතිහාසික මිහින්තලා කඳු මුදුනින් විසිරී පැතිරී ගිය බෞද්ධ ශිෂ්ටාචාරයේ මතක සටහන් වසර දෙදහස් පන්සිය ගණනක කාලයක් මුළුල්ලේ විරාජමාන වෙමින් පැවතුණු තෝතැන්න උතුර, නැගෙනහිර භූමියයි. කොටි ත‍්‍රස්තවාදී යුද්ධය ආරම්භයට පෙර මේ ප‍්‍රදේශය පුරා බෞද්ධ වෙහෙර විහාර, පුරාවිද්‍යා ස්ථාන තුන්සීයකට අධික ප‍්‍රමාණයක් තිබුණු බව ඉතිහාස පත පොතෙහි පැහැදිලිව සඳහන්ව තිබේ. එහෙත් වසර තිහක් තිස්සේ පැවැති කොටි ත‍්‍රස්තවාදය තුළ එම බෞද්ධ සිද්ධස්ථානවලින් බොහෝමයක් යළි කිසිදු දිනක දැකබලා ගැනීමට නොහැකි ලෙස විනාශ කර දමා ඇති බව කනගාටුවෙන් යුක්තව සිහිපත් කළ යුතුය. එමෙන්ම උතුර, නැගෙනහිර භූමියේ දැනට ඉතිරි වී තිබෙන බෞද්ධ සිද්ධස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කරගැනීමට ද දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති බව සැබෑය.

‘‘මම වැඩ සිටියේ අනුරාධපුර රුවන්මැලි සෑ විහාරයේ. 2009 අවුරුද්දේ යුද්ධය පැවැති කාලේ පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් රුවන්මැලි සෑයේ දොළොස්මහේ පිරිත් පින්කමක් පැවැත්වූවා. ඒ පින්කමේදී මාස හයක් එක දිගට මම පිරිත් දේශනා කළා. පින්කම අවසානයේදී යම් බලවේගයකින් මේ ස්ථානය ගැන මට දැනුම් දුන්නා. ඒ දැනුම්දීම මත 2009 වර්ෂයේම මන්නාරම ප‍්‍රදේශයට වැඩම කළා. එතකොට මේ ප‍්‍රදේශය මහා කැලෑව. බෝධීන් වහන්සේ විතරයි වැඩ සිටියේ. මේ බෝධීන් වහන්සේ සමීපයට යනකොට මට දැනුනේ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයේදී සිතට දැනෙන සැහැල්ලූවමයි. මට මේ පින්බිමෙන් යන්න හිතුණේ නෑ. හමුදාවේ දරුවො එකතු වෙලා මට වැඩ ඉන්න බෝධි මළුව තුළ කුටියක් හදා දුන්නා. ඒ කුටියේ ඉඳගෙන, විහාරය ඉදිකිරීමේ වැඩ පටන් ගත්තා. සුද්ධ පවිත‍්‍ර කටයුතු, ඉදිකිරීම් කටයුතු සියල්ල කළේ හමුදාවේ දරුවො. මුලින්ම අපි පුරාණ මාතොට රජමහ විහාර භූමියේ තිබුණු කටු පඳුරු, වන ලැහැබ විනාශ කර කුඹුක්, මී, කරද, කළු මැදිරිය, කොහොඹ, දෙලූම්, මාදං, පොල්, තැඹිලි පැළ හිටෙව්වා. මේ පින්බිමේ තියෙන ආශ්චර්යට වැඩි කාලයක් යන්න මත්තෙන් ඒ සියලූ පැළ විශාල ගස් බවට පත් වුණා. ඒ තුළින් මුළු වත්තටම අමුතු කලඑළියක් සහ සිසිලසක් ලැබුණා. ඒත් එකදු සිංහල පවුලක්වත් ජීවත් නොවෙන ප‍්‍රදේශයක පන්සලක් ඉදිකිරීමට යෑමේදී කෙළවරක් නැතිව ප‍්‍රශ්න ආවා. ඒත් ප‍්‍රශ්නවලදී අපි පස්සට ගියේ නෑ. යුද, නාවික හමුදා විරුවන්ගේ ශ‍්‍රම දායකත්වයෙන්, පින්වත් මිනිසුන්ගේ ආධාරවලින් ටිකෙන් ටික විහාරයේ ඉදිකිරීම් කටයුතු පටන් ගත්තා. පුළුවන් ප‍්‍රමාණයෙන් පුංචි ධර්ම ශාලාවක්, පිට පළාත්වලින් එන බැතිමතුන්ට වැසිකිළි, කැසිකිළි පහසුකම් සහිත විශ‍්‍රාම ශාලාවක් ඉදිකරලා තියෙනවා. බෝධීන් වහන්සේ වටා රන් වැටක් ඉදි කළා. මෑතක ඝණ්ඨාර කුලූනක් ඉදි කළා. බෝධි මළුවේ ධාතු මන්දිරයක් ස්ථාපනය කළා. ඒත් විහාරයේ වැඩ තවම අවසාන නෑ. බාහිරින් එන ප‍්‍රශ්නවල ඉවරයකුත් නෑ. දැන් අපිට තියෙන ප‍්‍රධානම ගැටලූව විහාරයට ඉතිරි වෙලා තියෙන අක්කර හතේ භූමිය ආරක්‍ෂා කරගැනීමයි…’’

මන්නාරමට බුදු සිසිලස බෙදන මාතොර විහාරයට කෙනහිළි!

‘‘පුරාණ මාතොට විහාරයට ඉඩම් අක්කර එකසීය දහනවයක් (119) තිබිලා තියෙනවා. අන්‍ය ආගමික සිද්ධාස්ථාන ඉදිකිරීමට, ගෙවල් දොරවල් හදන්න ඒ භූමිය අල්ලගෙන අවසානයේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහත්තයා ඉන්න කාලේ මැනුම් කටයුතු කරලා අක්කර විසිපහක් පුරාවිද්‍යා අධි සංරක්‍ෂිතයක් විදිහට මායිම් කණු දාලා වෙන් කරගත්තා. ඒ භූමියත් කොල්ලකාගෙන දැන් ඉතිරි වෙලා තියන්නේ අක්කර හතයි. දැනට ඉතිරි වෙලා තියෙන භූමි ප‍්‍රමාණය හරි ඔප්පු තිරප්පුවකින් මාතොට විහාරයේ නමට පවරා දෙන්න කියලා කාලයක ඉඳලා අදාළ බලධාරීන්ට කියනවා. තාම කෙරුණේ නෑ. ටික කාලයක ඉඳලා දමිළ කෝවිලේ අය විහාරයට ඉතිරි වෙලා තියෙන භූමි භාගයත් ටික, ටික කොල්ල කන්න හදනවා. ඒකට මම විරුද්ධයි. ඒත් සිවුරු දරාගෙන කෑකෝ ගහන්න යන්න මම කැමති නෑ. මන්නාරම දිස්ත‍්‍රික්ක ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති විදිහට මම කියන්නේ ඔප්පු තිරිප්පු නැත්තේ අපේ විහාරස්ථානයට විතරක් නෙමෙයි, මන්නාරම විහාරස්ථාන හයටම භූමියේ අයිතිය තවම ලැබිලා නෑ. ඒ නිසා විහාරස්ථාන සංවර්ධනය කිරීමේදී නොයෙකුත් ගැටලූවලට මුහුණපාන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් සමග ගනුදෙනු කිරීමේදී බරපතල ගැටලූවලට මුහුණපාන්න වෙලා තියෙනවා. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් මණ්ඩාවල මහත්තයා මට විරුද්ධව ලොකු ෆයිල් එකක් හදලා මාව අත්අඩංගුවට ගන්නත් හැදුවා. රුවන්මැලි සෑයේ නායක හාමුදුරුවො හිටපු අගමැතිවරයාට කතා කරලා තමයි ඒ ප‍්‍රශ්නය නිරාකරණය කරගත්තේ. දෙමළ, සිංහල නිලධාරීන් හැමෝම ප‍්‍රශ්න දාන්නේ විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතුවලට විතරයි. තිරුකේෂ්වරන් ගම්මානය පිහිටා තියෙන්නේ පුරාවිද්‍යා අධි රක්‍ෂිතයක් තුළ. ඒ ගමේ පදිංචිකරුවෝ බිම හාරගෙන මොනවා කළත් කිසිම ගැටලූවක් නෑ…’’

‘‘මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලේ උතුුරු වසන්තය සංවර්ධන ක‍්‍රියාදාමය තුළ කෝවිලට යන්න විහාර භූමිය මැදින් පාරක් කැපුවා. ඩෝසර්වල වැඩ කළේ දෙමළ තරුණයො. පොළොව හරලා පස් ගොඩගහපු තැන්වල කළු ගල් තියෙනව දැකලා අපි විහාරයට ගෙනත් හඳුන් කිරි පැණිවලින් පිරිසිදු කර, වැඳුම් පිදුම් කරලා බලනකොට බුදු පිළිමයක ලොකු බඳ කොටසක්, බෝධිසත්ව ප‍්‍රතිමාවක උඩුකයක්, ඇඹරුම් ගල් කිහිපයක්, මැටි බඳුන්, කාසි වර්ග විශාල සංඛ්‍යාවක්, ටැම් ලිපියක කොටසක් සොයාගත්තා. බුදුපිළිම වහන්සේලා පන්සීයක් තැන්පත් කොට සිදු කළ පූජාවක් සහ යම් ජයග‍්‍රහණයක් ගැන එම ටැම් ලිපියේ සඳහන් කරලා තියෙනවා. ඒ ටැම් ලිපිය සකස් කර තියෙන්නේ පොලොන්නරු යුගයේ. ඒ වගේම එංගලන්තයෙන් පැමිණි පුරාවිද්‍යා විශේෂඥවරියක් වන මාතා පිගට් මාතොට පුරාණ රජමහ විහාර භූමියේ කැණීම් කර තවත් විශාල ටැම් ලිපියක් සොයාගෙන තිබුණා. ඒ ටැම් ලිපිය තැන්පත් කරලා තිබුණේ මන්නාරම කච්චේරියේ. ඒ නිසා එම ටැම් ලිපිය ප‍්‍රසිද්ධ වුණේ කච්චේරි ටැම් ලිපිය කියලා. දැන් ඒ ටැම් ලිපිය වව්නියා කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. අපි සොයාගත්ත සියලූම නටබුන් විහාරස්ථානයේ තැන්පත් කරලා තියෙනවා. මේ ප‍්‍රදේශයේ දෙමළ මිනිස්සුත් පන්සලට ඇවිත් ඒ ස්මාරක දැකබලාගෙන සතුටු වෙලා යනවා…’’

‘‘ඒ වගේම මේ ප‍්‍රදේශවල ජීවත්වන සාමාන්‍ය දමිළ මිනිස්සු බොහොම ගුණයහපත්. සිංහල මිනිසුන්ව ඇසුරු කරන්න ඒ අය බොහොම කැමතියි. සිංහල පවුල් ඇවිත් දෙමළ ගම්මානවල පදිංචි වෙනවට ඒ අය කැමතියි. මට හිතවත්ම පවුල්වල උදවිය ගෙවල්වලට ආරාධනා කරලා දානය පූජා කරනවා. මමත් කොළඹ දායකයොත් එක්ක එකතු වෙලා අවුරුද්දකට සැරයක් රුපියල් ලක්‍ෂ දෙකහමාරක විතර පොත්පත්, පාසල් උපකරණ දෙමළ ළමයින්ට බෙදා දෙනවා. ඒ තුළින් මගේ බලාපොරොත්තුව සිංහල මිනිස්සු සාමකාමී උණුවන හදවත් තියෙන ජාතියක් බව දෙමළ ළමයින්ට අවබෝධ කරදීමයි. සාමාන්‍ය දෙමළ මිනිසුන්ට ඒ ගැන දැනටමත් අවබෝධ වෙලා තියෙනවා. ඒ මිනිසුන්ගේ මොලගෙඩි විකෘති කරන්නේ සිංහල, දෙමළ දේශපාලනඥයින් සහ කොටි ඩයස්පෝරාව…’’

‘සිංහල දේශපාලනඥයන් අපිව විශ්වාස කරන්නේ නෑ. අපිට ඒ අයගේ විශ්වාසය ඇතත් එකයි. නැතත් එකයි. අපේ දරුවන්ට සිංහල ටිකක් ඉගෙනගන්න විදිහක් හදලා දෙන්න හාමුදුරුවනේ… බුදු හාමුදුරුවන්ට වඳින විදිහ උගන්වන්න හාමුදුරුවනේ…’ කියලා මේ අවට ජීවත්වන දෙමළ මිනිස්සු පන්සලට ඇවිත් කියපු වාර අනන්තයි. බුදුන් වඳින විදිහ නම් මම කියලා දෙනවා. ලොකුවට දමිළ භාෂාව හසුරුවන්න බැරි නිසා සිංහල උගන්වන්න මම උනන්දු වුණේ නෑ. සාමාන්‍ය දෙමළ මිනිස්සු පන්සලට ඇවිත් නිතර අපි සමඟ කතාබහ කරනවට, සමීප ඇසුරක් පවත්වාගෙන යනවට දෙමළ දේශපාලනඥයො කැමති නෑ. ඒත් දෙමළ දේශපාලනඥයො ඇවිත් අපි එක්ක හොඳට කතාබහ කරනවා. ඔවුන්ම මැතිවරණ වේදිකාවල ‘දෙමළ උරුමය කොල්ල කන්න හදනවා’ කියලා අපිට අවලාද නගමින් අසරණ දෙමළ මිනිසුන්ව උසිගන්වනවා. එංගලන්ත පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරියක් දෙමළ උරුමය බලහත්කාරයෙන් කොල්ලකනවා කියලා අපිට විරුද්ධව පොතක් ලියලා එළිදක්වලා තිබුණා. ඩයස්පෝරාවට සම්බන්ධ කිලිනොච්චියේ කාන්තාවක් අපි ගැන තොරතුරු රැස් කරලා වාර්තා කරලා තිබුණා. හමුදාව, පොලිසිය අපිත් එක්ක ඉන්න නිසා තවම ගැටලූවක් නෑ. මේ ස්ථානයට වැඩිය දවසෙ ඉඳලා අදටත් දානය ටික අපිට ලබාදෙන්නේ හමුදාවෙන්. අපේ විහාරස්ථානයට විතරක් නෙමෙයි, මන්නාරම තියෙන විහාරස්ථාන හයේම වැඩසිටින ස්වාමීන්වහන්සේලා හයනමට ම දානය පූජා කරන්නේ හමුදාවෙන්, පොලිසියෙන්…’’

ඒ වගේම විහාරයේ ඉදිකිරීම් කටයුතුවලට ශ‍්‍රම දායකත්වය ලබාදෙන්නේ යුද, නාවික හමුදාවේ සහ පොලිසියේ දරුවෝ. විහාරයේ සියලූ සංවර්ධන කටයුතුවලට මුදලින් උදව් උපකාර කරන්නේ කොළඹ සහ පිටරටවල ඉන්න දායක මහත්ම, මහත්මින්. තව විහාරාංග කිහිපයක්ම නිර්මාණය කරගන්න තියෙනවා. ප‍්‍රථමයෙන් විහාරයක් නිර්මාණය කරගන්න ඕනෑ. ඒ විහාරය තුළ බුදුපිළිම වහන්සේ නිර්මාණය කරන්න ඕනෑ. ඒ වගේම අඩි එකසීය පනහක් උස සෑයක් නිර්මාණය කරන්න සැලසුම් කරගෙන තියෙනවා. වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට නවාතැන් පහසුකම් ලබාදෙන්න තට්ටු තුනක විශ‍්‍රාම ශාලාවක් ඉදිකරන්නත් සැලසුම් කරලා තියෙනවා. අපේ මේ සැලසුම වන්දනාකරුවන්ට ඉන්න තැනක් දීලා සල්ලි ගැනීම නෙමෙයි. උතුර, නැගෙනහිර බෞද්ධ උරුමය මේ රටේ උරුමක්කරුවන්ට දැකබලාගැනීමට සැලැස්වීම සහ මෙරට බෞද්ධ සංස්කෘතිය ලෝකයට ප‍්‍රදර්ශනය කිරීම. ඒ වගේම හෙළ වෙදකම ප‍්‍රවර්ධනය කිරීමට ඖෂධ නිෂ්පාදන කරන්න සිලාවතුර ප‍්‍රදේශයෙන් අක්කර තිහක භූමියක් රජයෙන් ඉල්ලලා තියෙනවා. මේ රජය ඒ භූමිය ලබාදෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා…’’

පෙළගැසෙන කතාවට අඩු වැඩි එකතු කිරීමට ඇවැසි නැත. අපේ හාමුදුරුවො මාතොට ඉතිහාසයත්, වර්තමානයත් අපූරුවට පැහැදිලි කළහ. මන්නාරම ප‍්‍රදේශයට දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ඇති කිරීමට සහ පාසල් ළමයින්ගේ දැනුම පිණිස ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ඖෂධ උයනට අවශ්‍ය භූමිය උන්වහන්සේ බලාපොරොත්තු වූ ආකාරයෙන්ම පවතින රජය විසින් ලබාදෙයි කියා අපි විශ්වාස කරමු. එමෙන්ම මන්නාරම බෞද්ධ උරුමය ආරක්‍ෂා කිරීමට කැමැති මෙරට මෙන්ම ලෝකය පුරා විසිරී සිටින බෞද්ධයන්ට ඓතිහාසික මාතොට රජමහා විහාරයේ දායකත්වය ලබාගත හැකි බවද සිහිපත් කරමින් සුන්දර උද්‍යානයක් බඳු පින්බිමෙන් අපි සමු ගත්තෙමු.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment