“නේවි එකේ 500ක් විතර මෙතැන ඉන්නවා. එයාලා මොකද කරන්නේ? ගාමන්ට් එකක් තියාගෙන ඇඳුම් මහනවා. දූපතේ බෝට්ටු සේවාව වගේ පොඩි පොඩි ප්‍රවාහන වැඩ කරනවා. දූපතේ තියෙන වතුර ටික ඔක්කෝම එයාලා ගන්නවා. ඊට පස්සේ ඉන්දියන් ට්‍රෝලර් එනකොට එයාලාට ආරක්ෂාව දෙන්න වගේ බලාගෙන ඉන්නවා. අපි මේ ඉන්නෙ වෙනම ලෝකයක.

මේ දූපතේ මගේ ඉතිහාසෙ යුද්ධ කාලෙට යනවා. එතකොට මේකේ ආයුධ අරන් හිටියේ ඩග්ලස්ගේ කට්ටිය. ඊට පස්සේ, 2003 දී විතර එයාලාට කොටි එක්ක හැප්පෙන්න බැරිවෙද්දී නාවික හමුදාව ආවා. දැන් ඩග්ලස්ගෙන් ඒ බලය නේවි එකට මාරු වෙලා. පොලිසියත් ඉන්නවා. අපට ඔය දෙගොල්ලම එකයි. මේකේ ඡන්දයක් කළත් ඩග්ලස්ට හැර වෙන කාටවත් කිසි දෙයක් කරන්න අයිතියක් නෑ. ඉතින්, හැමදාම මෙහේ නායකයා එයා. අපට හිතෙන විදියට නාවික හමුදාව දූපතට ආවේ මිනිස්සුන්ව රකින්න නෙවෙයි, ඩග්ලස්ව රකින්න.

මං අහනවා ප්‍රශ්නයක්. ඔයාගෙයි, මගෙයි වයස එකයි. අපි එකම රටේද? අපේ ජීවිත එක නැහැ. මට ඉගෙනගන්න අවස්ථාව ලැබුණේ නෑ. මේ දූපතේ ඉන්නවා තරුණ වයසට එනකල් යාපනයෙ නගරයට නොගිය අය. අපට පාසල් විවාද තරගයකටවත් හරිහැටි යන්න අවස්ථාවක් නෑ. යාපනයෙනුත් අපව කපනවා.” මේ සැර කතාන්දරේ අපි එක්ක බෙදාගත්ත තරුණයාගෙ නම සඳහන් කරන්න බැහැ.

භූදංගල් දෝතින් ළිං කැපූ නෙදුන්දීවු
ගල් වැටක් සහ ධීවරයෙක්

මොකද, අපි ඉඳගෙන හිටියේ තල් රා උගුරක් බොන්නයි. නෙදුන්දීවු දූපතේ එහෙම නැත්නම් ඩෙල්ෆ්ට් දූපතේ මුහුද පේන මානයේ තියෙන නවාතැනේ. නිල වශයෙන් මාධ්‍යයක් එක්ක අදහස් බෙදාගන්න වෙලාවක දූපත්වාසියෙකුගේ කතාව මීට වඩා නිවුණු එකක් වෙන්නට ඉඩ තිබුණා. එහෙත්, අපට මේ දූපත ගැන තේරුම් ගන්නට නම්, දූපතේ ආරම්භය ගැන අපි එක්ක තල් රා උගුරකට ඉඳගෙන හිටපු මැදිවියේ මාමා කෙනෙක් කීව කතාව.

“නෙදුන්දීවුවල තියෙන ළිං හරි විසාලයි. මිනිස්සුන්ට හාරන්න බැහැ. ආදි කාලෙ ඉන්දියාවෙන්, භූදංගල් ගෙන්නලා දූපතේ ළිං හෑරෙව්වා. ඊට පස්සේ වතුර ගත්තා. මිනිස්සුන්ට දරන්න බැරි වැඩ ගොඩක් කෙරෙව්වා. පස්සේ ඒ භූදංගල් යන්න ගියා.” දෑස් ලොකු කරගෙන ඔහු දූපතේ පුරාවෘත්තයක් ඔය විදියට දිගහැරියා. ’දැං ඒ වතුර අපට නෑ.” ඔහුගේ දෑස් ඒ කොටස කියද්දී පුංචි වුණා.

භූදංගල් කියා කීවේ භූතයන්ට. නැත්නම් යක්කු කියා කියන්නත් පුළුවන්. දූපත්වාසීන් විශ්වාස කරන්නේ ජීවත් වෙන්නට අසීරු කඨෝර ඒ බිමේ ළිං හෑරුවේ අමනුෂ්‍යයන් බවයි.

අප ඒ සිටියේ විවෘත කාමර තියෙන නවාතැනක. වරුවකට කිහිප වතාවක් එහි විදුලිය විසන්ධි වුණේ, දූවේ විදුලිබල පද්ධතියේ ප්‍රශ්න හින්දායි. රාත්‍රියට ඇතුළ හරි රස්නෙයි. අපි ඇත්තටම සූදානම් වුණේ, මුහුදු වෙරළට ගොසින් එතැන වාඩි ලාගෙන තල් රා උගුරක් රස බලන්නයි. නැවුම් මාළු ටිකක්, එක්ක හපන්නට දේවල් පෙළගැසී බලා සිටියා. සාකච්ඡාව දෙමළ- සිංහල මිශ්‍ර වෙච්ච එකක්. ඔවුන් දෙමළෙන්, අපි සිංහලෙන්.

එහෙත්, මුහුදේ ගිහින්, අඳුරේ වාඩි ගන්නකොටම තතු දන්න අය කීවා වැලි පොළඟුන් ඉන්නට ඉඩ තිබෙන බව. නෙදුන්දීවුවල හරියට වැලි පොළොංගු. අපි දූපතට ගොඩවදිනකොටම නාවික හමුදාවෙ සේවය කරන මිතුරෙක් නම් කීවේ දූපතේ මිනිසුන් පොළොං විසට හුරුවෙලා කියලයි.

ඉතින්, මේ දූපත් කතාන්දරයේ දෙවැනි වටයට යද්දී ඒ තල් රා අත්දැකීමෙන්ම කතාව පටන් ගන්න හිතුණා.

භූදංගල් දෝතින් ළිං කැපූ නෙදුන්දීවු

අප වැනි ලියන්නන්, රහමෙර පානය හෝ එබඳු දේවල් සෞන්දර්යයෙන් ප්‍රවර්ධනය නොකළ යුතුයි. මධුවිත පානය කිරීම හෝ නොකිරීම පුද්ගලිකයි. එහි කෙතරම් රහක් තිබුණත්, එය සෞඛ්‍යයට අහිතකරයි. ඒ වුණාට, තල් රා චුට්ටක් කියන්නේ, ඒ සංස්කෘතියේ කොටසක්. ඒ වගේම, මෙය ප්‍රවර්ධනයක් වෙනුවට රහමෙරක් මුහු වුණාට පස්සේ විවෘතව කතා කරන්න ලැබුණ අවස්ථාවක් විදියට කියන්නත් පුළුවන්.

‘නැදුන්තිවු’ හෝ ‘ඩෙල්ෆ්ට්’ කීව ගමන් අපට මතක් වෙන්නේ අශ්වයන්ව. අපි අශ්වයන්ව බලන්නත් ගියා. එහෙත්, අපි ළංවෙද්දී රංචු පිටින් අශ්වයන් ඈතට දුවන හැටි දැක්කා. පාඩුවේ අශ්වයන් බලන්නට පැමිණි සංචාරක අංකල් කෙනෙකු, අපි අශ්වයන්ව බියපත් කර ඈතට එළවූ නිසා නෝක්කාඩුවෙන් බලන හැටි දැක්කා. ඒත්, මේ කතාවේ අශ්වයන්ට වඩා මිනිස්සු ගැන කතා කරන්නට ඕනෑ.

දීවු

භූදංගල් දෝතින් ළිං කැපූ නෙදුන්දීවු

අප මේ දූපත්වල නම් ලියද්දී, ‘නෙදුන්දීවු’- ‘නයිනදීවු’ ආදී ලෙස ලීවේ, සාමාන්‍ය ‘නැදුන්තිවු’ යන යෙදුමට වෙනස්ව ගොසිනුයි. එයට හේතුවක් තියෙනවා. ‘තීවු’ හෝ ‘දීවු’ යනුවෙන් ‘දූපත’ යන්න හඳුන්වනවා. දූපතටයි දීවු කියන්නේ. යාපනයේ දෙමළ උච්චාරණයෙන් ‘දීවු’ යන වචනය කියැවෙද්දී හරි ලස්සනයි. මුලතිවු කියනවාට වඩා, ‘මුල්ලයිදීවු’ කීවාම හරි සුන්දරයි. ‘මල් පිපෙන දූව’.

නෙදුන්දීවු යන්නෙහි තේරුම දුරින්ම ඇති දූපත යන්නයි. නෙදුන් යන වචනය දුරින්ම පිහිටි කියන එක.

නයිනදීවු කියන්නේ පුදබිම පිහිටි දූව යන්නයි. සිංහලයන්ට එය ‘නාගදීපය’. මේ ආදී වශයෙන් ඒ ඒ දූපත්වලට නම් වැටී තිබෙන්නේ ඒවායේ ගති ලක්ෂණ එක්කයි.

දීවු දිවිය

පත්තිනාදාස් දිලීපන් අපි එක්ක දූපතේ කතාන්දරය දිගහරින්න ගත්තේ, අපි ඔය කලින් කී රාත්‍රී තල් රා වඩියට කලිනුයි. උදේ වරුවේයි.

භූදංගල් දෝතින් ළිං කැපූ නෙදුන්දීවු
අන්තෝනිමුත්තු මුහුදු ඛාදනය පෙන්වමින්

“මෙහේ හැම භාණ්ඩයකම මිල ඉහළයි. යාපනයට යනවා නම් මුහුදෙන් විතරයි. අපට විදුලි සැපයුම, ජල සැපයුම, ආහාර සැපයුම සහ රැකියා අවස්ථාවල දරුණු ප්‍රශ්න තියෙනවා. සෞඛ්‍ය සේවය අපට හැරිහැටි ලැබෙන්නේ නෑ. පොඩි පොඩි වෙදකම්වලට විතරයි ඩොක්ටර්ස්ලා ඉන්නේ. අපේ දූපතේ කලා විෂයන් විතරයි උසස්පෙළට තියෙන්නේ. එහෙම ඉගෙනගෙන ඉහළට ගියත්, දූපතේ රැකියා අවස්ථා නෑ. යාපනයේ රස්සාවට යන එක ප්‍රායෝගිකව අමාරුයි. ගෑනු ළමයින්ට ඒක තවත් අමාරුයි. අපි අටට යන්න ඕනෑ කාර්යාලයට බෝට්ටුවෙන් යද්දී 9 වෙනවා නම්, පරක්කු වෙලා අත්සන් කළොත් කොහොමට තියේවිද?”

යාපනයට කිලෝමීටර් 42ක් දුරින් තිබුණාට, ඩෙල්ෆ්ට් හෙවත් නැදුන්දීවු කියන්නේ ලංකාවෙන්ම ගව් දසදහස් ගාණක් ඈතින් තියෙන තැනක් වාගෙයි. නැදුන්දීවු ඇතුළේ එහේ මෙහේ යද්දී නෙදුන්දීවු තමයි, යාපනය දිස්ත්‍රික්කයේ පළවැනි ග්‍රාමසේවා වසම තියෙන තැන. දිස්ත්‍රික්කයේ කෙළවර. ජේ. එක ග්‍රාමසේවා කොට්ඨාසය. පවුල් 1402ක් විතර දැන් ජීවත් වෙනවා. ජගහනය 4210ක් බව කීවා. නෙදුන්දීවු දූපත තනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්. දූපතේ පවුල් 786ක් ධීවරයන්. මේ විශාල දූපතේ, ජලය ගැන ප්‍රශ්න සියල්ල තිබියදී ගොවීනුත් ඉන්නවා.

පණ තියෙන තාප්ප

නැදුන්දීවුවල හැම ගෙදරකම තාප්පය හරි අමුතුයි. අන් කොහේවත් නොමැති විදියට දූපතේ තියෙන ගල්වලින් තමයි තාප්ප බැඳ තියෙන්නේ. තාප්පයට ගල් එක මත එක තැබුවාම, වැහි වතුරට එය මුහු වෙලා එකිනෙක තදින් ගැටගැහෙනවා. එය සාමාන්‍යයෙන් අපි ගස්වලින් වැට හදා, ගස වැවෙද්දී වැට ශක්තිමත් වෙනවා වාගේ වැඩක්. දූපත මැද තියෙන ගල් පවා මුහුදු පාෂාණ වගෙයි. මුහුදු පාෂාණ සජීවීයි. ඒ වැටත් සජීවීයි. ‘තාප්පෙට පණ තියෙනවා’ කියා අපට හිතුණා.

මුහුදු සීමාව

පෙරියසාමි අන්තෝනිමුත්තු මුහුදු වෙරළේ ඇවිදිනවා. මුහුදට බැස්ස ඔහු, අපට පෙන්වනවා, ඉස්සර දූපතේ වෙරළ සීමාව තිබුණ තැන. දැන් එතැන මුහුද. ඊටත් එහායින් තිබුණු, ඒ කාලෙ එයාලා අතින් ගොඩනැගූ, මුහුදු රළ බාධකය ඔහු පෙන්වනවා. දැන් එය වසාගෙන මුහුද තවත් ළඟට ඇවිත්. ඔහුට ලොකුම ප්‍රශ්නය මුහුදු ඛාදනය.

‘අපි හැමදාම ඉල්ලනවා, මුහුදු වෙරළේ ඛාදනය නවත්වන්නට බාධකයක්. ඒත්, කවුරුත් ඒක ගණනට ගන්නෙ නෑ. මගේ ගෙදර වැට මීට කලින් තිබුණේ, ඔය මුහුදු සීමාව ළගමයි. ඒත්, ඒක කාලයත් එක්ක මුහුදට අහු වුණා. දැන් ගේ අද්දරම වැට තියෙනවා. තව ටික කාලයක් යද්දි ගෙදරට මිදුලක් නැති වේවි. ඊටත් එහා කල් ගියාම, ගෙදරක්ම නැති වේවි. දිස්ත්‍රික් ලේකම් කතා කරලා මේකට විසඳුමක් දෙනවා කීවාට තවම විසඳුමක් නෑ. අපි ධීවරයන්, ඒත් අපට හරිහැටි බෝට්ටු නැංගුරම් දාන්න තොටුපළකුත් නෑ. අපේ බෝට්ටුවලට ආරක්ෂාවක් නෑ. දූපතට මුහුදු සැර, මුහුදු හුළං වැඩිපුර වදිනවා. ඒත්, ආරක්ෂාවක් නෑ. දැන් මුහුදු යන එක අතේ සල්ලි නැති වෙන වැඩක්. මෙහේ ඉන්ධන ගණං වැඩියි අනෙක් තැන්වලට වඩා. ඒ මදිවාට මුහුදට යන්න පුළුවන් සතියට දවස් දෙකයි. අනෙක් දවස් ඉන්දියන් ට්‍රෝලර්වලින් අල්ලාගෙන. ඒ නිසා ඉස්සර ධීවර රස්සාව කරපු අයත් කුලී වැඩ කරනවා.” ඔහු ඔය ආදී ලෙස සිය දිවි අත්දැකීම කියද්දී, ඔහුගේ මුහුණේ වේදනාවක් හෝ අන් කිසිම හැඟීමක් නෑ. මේ තමයි ජීවිතය. ඔවුන් ඒක සිය ඉරණම ලෙස බාර අරන්. ඇත්තටම, ලංකාවේ අනෙක් පළාත්වල පවා ධීවරයන්ට තියෙන පහසුකම් අඩුයි.

භූදංගල් දෝතින් ළිං කැපූ නෙදුන්දීවු

“එළියේ භූමිතෙල් ලීටරය 257ක් වෙද්දී, දූවේ මිල 280ක්. භූමිතෙල් විතරක් නෙවෙයි, ඔයිල් ටිකකුත් මිශ්‍ර කළාමයි බෝට්ටුවට ගැළපෙන්නේ. ඒකත් මිශ්‍ර වුණාම ලීටරයකට පිරිවැය 350ක්. අපි ලීටර් 50- 60 ගහලා දවසට දුවන්න ඕනෑ. කොළඹ ඉඳන් යාපනයට කිලෝමීටර් 400ක් තිබුණාට, කොළඹ සහ යාපනේ භූමිතෙල් එකම මිල. යාපනේ ඉඳන් මෙතැනට කිලෝමීටර් 42යි. ඒ ටික දුරට මිල වෙනස් වෙනවා. හැම භාණ්ඩයකම ත.්ත්වය එහෙමයි.‘ ජේ. සුදාකරන් කීවේ එහෙමයි.

අන්ඩෘ සෙල්ලයම් කොළඹත් කාලයක් ඉඳපු තරුණයෙක්. “මම ජාඇල, ඒකල ගාමන්ට් එකක වැඩ කළා. හයිඩ්‍රාමනී ගාමන්ට් එකක. කොරෝනා ආවාට පස්සේ ආපහු දූපතට ආවා. ආයෙත් ආවාම අපට කීවේ නැහැ එන්න කියලා. කොරෝනා කාලේ කොළඹ යන්න බෑ. බස් එකේ යනවා නම් පර්මිට් ගන්න බෑ. ඒ නිසයි රස්සාව නැවතුණේ. දැන් මම මුහුදු යනවා. මම දන්න කාලයේ ඉඳන්, දූපතේ ගොවිතැන් කළා. මුහුදු ගියා. අද ඒ දෙකම කරන්න බෑ. දූපතේ වතුර දැන් ගොවිතැනටත්, බොන්නටත් සුදුසු නැති තත්ත්වයට පත් වෙලා. දූපතේ වතුර ගන්නේ දැවැන්ත ළිංවලින්. ඒ ළිංවල වතුර ලීටර් ලොකු ප්‍රමාණයක් නාවික හමුදාව ගන්නවා එයාලාගේ වැඩවලට. අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර ගන්න නිසා, දැන් වතුර උල්පත් හරියට වැඩ කරන්නේ නෑ. ගොවිතැන් කරන්න අමාරු වෙලා.”

නේවි සහ මිනිස්සු

උතුර ගැන කියවද්දී, හොයද්දී ඔබට දෙවිදියකට ඒක බලන්න පුළුවන්. ‘වීරෝදාර’ හමුදාව උතුරේ වාඩි ලාගෙන ඉදීම ගැන ධනාත්මක කතා. නැත්නම් ‘අශිෂ්ට’ හමුදාවක් උතුරේ ජීවත්වීම ගැන දැඩි ඍණාත්මක කතා. එහෙත්, නාවික හමුදාව මේ දූපත්වල වාඩි ලාගෙන සිටින ආකාරය ඔය ඉරි දෙකෙන් එක පැත්තක තබන්නට බැරි තරම් සංකීර්ණයි. නාවික හමුදාවේ ඉන්නේත් අනුරාධපුරේ හෝ වෙනත් දුෂ්කර ගම්මානයකින් ආපු මිනිස්සු. ඔවුනුත් තමන්ගේ දිළිඳු පවුල් වෙනුවෙන් උතුරේ දූපතක තමන්ගේ කාලය ගෙවනවා. මනුෂ්‍යයන් ලෙස මනුෂ්‍යත්වය ඔවුන් තුළත් තිබෙනවා.

ඉතින්, ට්‍රෝලර් බෝට්ටුව ඇවිදින් මේ රටේ ධීවර සම්පත් කොල්ලකා, නැවත යන විට නිකරුණේ බලාගෙන ඉන්නට සිදු වීම ඔවුන්ට සුවපහසු හැඟීමක් නෙවෙයි. අප මෙහි නම සඳහන් කරන්නේ නැතත්, අප සමග මිත්‍රශීලීව කතා කළ නාවික හමුදා සෙබළෙකු ඒ ගැන විශේෂයෙන් කීවා. “අපිත් අසරණයි. අපට හැමදේටම කන්කසන්තුරයෙන් නියෝග එන්න ඕනෑ. අපට සමහර වෙලාවට නිකම් බලා ඉන්න සිද්ධ වෙනවා. අපි දන්නවා අපේ රාජකාරිය දේශසීමා ආරක්ෂා කිරීම. ඔවුන් කියනවා. දේශසීමාව රැකීමට ඔවුන්ට නියෝග නැහැ.

සතියට දවස් කිහිපයක් නොනිල වශයෙන් ඉන්දීය ට්‍රෝලර්වලට නිදහසේ පැමිණෙන්නට ඉඩ දී තිබෙනවා. ඒ දින මඟහැර අපේ ධීවරයන් මුහුදු යනවා. එහෙත්, ඇතැම් විටෙක ඉන්දීය ධීවරයන් නොආ යුතු දවස්වලත් ට්‍රෝලර් යාත්‍රා එනවා. ට්‍රෝලරයට අපේ ධීවරයන්ගේ දැල් සහ ආම්පන්න විනාශ වෙනවා. 17 වැනිදා ආපු ට්‍රෝලර් හින්දා, කෝටියක විතර ආම්පන්න විනාශ වුණා. ජේ. සුදාකරන් අපට කීවේ එහෙමයි.

විදේශිකයන් දේශසීමා උල්ලංඝනය කරලා නැවත රැගෙන යනතුරු බලා ඉන්නට නෙදුන්දීවු දූපතේ 500කට වැඩි හමුදා සෙබළුන් පිරිසක් රඳවා තැබුවේ පාලකයනුයි. ඉන්දියානු ධීවරයන් පැමිණෙද්දී අදාළ පියවර ගන්නට ඒ සෙබළුන්ට අණක් නොදී ඉන්නට තරම් ස්වෛරීත්වය අහිමි කරගෙන සිටින්නේ ශ්‍රී ලංකා රාජ්‍යයයි. එහෙම පසුබිමක නාවික හමුදා සෙබළා බෝට්ටු පදින, ඇඳුම් මහන පිරිසක් බවට පත් වෙලා. සිංහල ජාතිකයන් බහුතරයක් වූ හමුදා සෙබළුන් සහ දෙමළ ජාතිකයන් වූ දූපත්වාසීන් එකිනෙකා හා තරහකින් වාසය කරනවා නෙවෙයි. මනුෂ්‍යත්වය පිළිබඳ ගැටලුවක් නොවෙයි මෙය. ආයතනමය, ප්‍රතිපත්තිමය තීන්දු පිළිබඳ ප්‍රශ්නයක්.

හමුදා කඳවුරක් බැවින් ඔවුන්ගේ ජල පාවිච්චිය අධිකයි. දූපතේ ජනගහනයට, වගා කටයුතුවලට සහ ජීවිතයට දරාගන්න බැරි තරම් අධිකයි. දූපත්වාසීන් කියන විදියට දිනකට ලීටර් 60,000ක් පමණ ජලය නාවික හමුදාව ළිංවලින් ගන්නවා. හමුදාව කියන විදියට තමන් ගන්න ප්‍රමාණය දූපත්වාසීන් කියන ලීටර් ප්‍රමාණයකින් අඩක් විතර. ඒ කෙසේ වෙතත්, දූපත්වාසීන්ට ඇති ජල සැපයුම ප්‍රමාණවත් නැති බව දූපත්වාසීන් විතරක් නෙවෙයි, එතැන මහපොළොවේ ඉන්න නාවික හමුදා සෙබළුනුත් කියනවා. ඔවුනුත්, විනෝදයට ඉන්නවා නොව, එතැන සිට රැකියාවක් කරනවා. සැබෑ ප්‍රශ්නය, දූපතේ මෙතරම් විශාල හමුදා කඳවුරක් සිටිය යුතුද? එසේ ඉන්නේ නම් එයට අවශ්‍ය ජල සැපයුම ලබා දිය යුතුයි නේද? යන්නයි.

“ඉස්සර විදුලිය නොතිබුණු, දුරකථන නොතිබුණු කිසිදෙයක් නොතිබුණු නොදියුණු කාලයක් තිබුණා. ඒ කාලෙ අපට අඩු තරමේ ගොවිතැන් කරලා, මුහුදු රස්සාව කරලා කාලා බීලා, වතුර පාවිච්චි කරලා ජීවත් වෙන්න පුළුවන් වුණා. දැන් ඒ ටිකවත් නැහැ.” අප මුලින්ම සඳහන් කරපු තල් රා වාඩියේදී ඇසුණු අදහසක් එය.

අප මේ ලිපිය තුළ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන්නට තැත් කරන්නේ නැහැ. එහෙත්, අඩු තරමේ නෙදුන්තීවුවල නාවික හමුදා කඳවුරේ සිටින සෙබළුන් නෙදුන්තීවු වැසියන් නොවන්නේ ඇයි? දේශසීමාව රකින්නේත් නැති නම්, සිවිල් කටයුතු සිවිල් ආයතනවලට කරගන්නට දී කඳවුරේ සෙබළුන් සංඛ්‍යාව අඩු නොකරන්නේ නැත්තේ ඇයි?

ධීවරයන්

ඩෙල්ෆ්ට් ඇතුළු ධීවරයන්ගේ ජීවිතවලට නායකත්වය දෙන ධීවර නායකයා ඒ. අන්නරාසා පහුගිය සතියේ කොළඹ ආවේ දූපත්වල ධීවරයන් සියයක පමණ පිරිසක් එක්ක. ඒ, ස්වාධීන වෘත්තීය සමිති ඒකාබද්ධව පැවැත්වූ ‘එක්වෙමු’ නම් වෘත්තිය සමිති හා බහුජන සංවිධානවලින් සෑදුනු සංවිධාන එකතුවේ මැයි රැලියට සහභාගී වෙමිනුයි. එතැනදී ඔහු උද්වේගකර කතාවක් කරමින්, උතුරේ ධීවරයන් සහ දකුණේ ජනතාව එකතු වෙලා වැඩ කරන්න ඕනෑ අනාගතයක් ගැන කතා කළා.

“උතුරු පළාත් ධීවර ෆෙඩරේෂනය විදියට අපි ධීවර අයිතීන් වෙනුවෙන් පහුගිය දශක ගාණක් තිස්සේ සටන් කරනවා. අපි බොහොම සතුටුයි, කොළඹ වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්ක ජාතික ඉල්ලීමක් විදියට අපේ ඉල්ලීම් ඉල්ලන්න පුළුවන් වීම ගැන. අපට ඕනෑ සඳහන් කරන්නට, පහුගිය වසර ගණනක් තිස්සේ උතුරු පළාත් ධීවරයන් තදින් පීඩාවට පත් වෙලා ඉන්නේ ඉන්දීය ධීවරයන්ගෙනුයි. අවාසනාවකට අපේ ආණ්ඩුව අනෙක් පැත්ත බලාගෙන ඉන්නවා, නිසි විසඳුමක් එයට ලබා දෙන්නට. මේ මැයි දිනයේදී අපි කොළඹ ආවේ, අපගේ ඉල්ලීම් නැවත සිහිපත් කරන්න. අපේ ලංකාවේ මුහුදේ වැඩකරන ජනතාවට අපගේ මුහුද, සම්පත් සහ ස්වෛරීත්වය රැකගන්නට. රට ණයවලින් මිරිකී සිටින වෙලාවක, ආණ්ඩුව අපේ මුහුදු සම්පත් බහුජාතික සමාගම්වලට විකුණමින් ඉන්නවා. ආණ්ඩුව, අපේ රට ආර්ථික අර්බුදයෙන් බේරාගන්නා මුවාවෙන් අපේ ධීවරයන් තමන්ගේ සම්පත්වලින් ඈත් කරනවා. ආණ්ඩුව ඒ වෙනුවෙන් අලුත් ධීවර පනතක් ගේනවා. ඒ පනත ගේන්න තිබුණේ, ධීවරයන් සමග සාකච්ඡා කළාට පස්සේයි. එහෙත්, ආණ්ඩුව අපි එක්ක කිසිම සාකච්ඡාවක් නොකර ධීවර පනත ගෙනාවා.

යුද්ධයට කලින් උතුරේ ධීවරයන් අත්‍යවශ්‍ය ධීවර සම්පත් අපේ රටට ගෙනාවා. මෙය සාක්ෂ්‍යයක් අපේ රටේ ඉතිහාසය තුළ. ඒ සාධක තිබියදී, ආණ්ඩුව ලෑස්තිවෙමින් ඉන්නේ මුහුදු සම්පත් බහුජාතික සම්පත්වලට විකුණා විදේශ විනිමය ගේන බව කියන්නයි. මේ මැයි දිනයේදී අපි වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන සමග එක් වී ධනවතුන්ට ඕනෑ ආර්ථිකයක් ගොඩනගනවාට එරෙහිව, ජනතාවගේ ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් පෙනී සිටින්නට දහස් ගණන් ධීවරයන්ට අපි ආරාධනා කරනවා.” අන්නරාසා එහෙම කීවා.

දූපතේ මිනිස්සු පොළොං විසට හුරුවෙලාද නැද්ද කියා අප දන්නේ නෑ. එහෙත්, ඔවුන් අනිවාර්යයෙන්ම වේදනාවට නම් ඔරොත්තු දෙනවා. හරිහැටි වතුර නැතිව, හරි හැටි අවස්ථා නැතිව, හරිහැටි ස්වෛරීත්වයක් නැතිව, තමන්ගේම රටට හරි සම්බන්ධයක් නැතිව ගෙවන ජීවිතයට නම් ඔවුන් ඔරොත්තු දෙනවා. එහෙත්, ඒ විදියේ වේදනාබර ජීවිතයක් ඔවුන්ට උරුම විය යුතු නැහැ.

නෙදුන්දීවු ගොඩනැගුවේ භූතයන්ගේ අත්වලින් කියා කතාන්දරවල තිබුණාට, අපි දන්නවා එය මේ මිනිසුන්ගේ දෝතින් ගොඩනැගූවක් බව. එහෙත්, ඔවුන්ට ඕනෑ ශක්තිමත් ජීවන තත්ත්වයක්. ඔවුන්ගේ ජීවන රැකියාවන් එක්ක ගැටගැසුණු ආර්ථික රටාවක්. රාජ්‍ය සුභසාධනය ඇයිද කියා ඇහුවොත්, ඩෙල්ෆ්ට් කියන්නේ එවැන්නක් අවැසි වන්නට ප්‍රධාන හේතු පෙන්වන තැනක්.

මුහුදු හුළඟ ගී ගයද්දී පාන්දර ජාමෙට දිලිහෙන ජෙලි මාළුවන් නෙදුන්දීවු වෙරළට එනවා. දවල්ට දරන්නට බැරි උණුහුම වුණාට රෑට සීතලක් මෝදු වෙනවා. එහෙත්, තල් රා වඩිය අපේ සිරුරු රත් කර හමාරයි. මහ රාත්‍රියේ නින්දක් නැතිව අපි හිස් අහස දිහා බලා ඉන්නවා. “හෙට කොළඹ ගියාම හොඳට වතුරෙන් නාන්න ඕනෑ” කියා දවස් ගණනක් දූපත්වලම ඉඳලා ලවණ වතුර නිසා කොණ්ඩා, රැවුල් සහ මුළු සිරුරම අපහසුතාවන්ට මුහුණදෙන නිසා ඉබේම කියැවෙනවා.

“ඔයාලා නම් මෙහේ දවස් කිහිපයයි. අපේ කතාව අහගෙන යනවා. හොඳ වතුරෙන් නානවා. අපි හැමදාම මෙහේ තමයි. මේක අපට එළිමහන් හිරගෙයක් වාගෙයි. පැනලා යන්නත් බැහැ. ඉන්නත් බැහැ.” උත්තරයක් ලැබෙනවා.

භූදංගල් දෝතින් ළිං කැපූ නෙදුන්දීවු
රෙජිනෝල්ඩ් තමන්ගේ පාරම්පරික බෝට්ටුව සමග

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment