පොඩි මිනිසාගේ යෝධයා ගජමෑන් – එදා ‘දිවයින’ට කියූ කතාව

423

මෙරට කාටුන් චිත්‍ර කලාව තුළ සුවිශේෂී “ලකුණක්” බවට පත් ප්‍රවීණ කාටුන් චිත්‍ර ශිල්පී කැමිලස් පෙරේරා ඉකුත් සතියේදී තම දිවි සැරිය නිමාවට පත් කළේය. පහත පළවන්නේ ඔහුගේ නිර්මාණ ජීවිතයට වසර 50ක් සම්පූර්ණවීම නිමිත්තෙන් අදින් වසර කිහිපයකට පෙර දිවයින පුවත්පත් සමග සිදුකළ සංවාදයක් ඇසුරින් සකසන ලද ලිපියක්ය.

පොඩි මිනිසාගේ යෝධයා ගජමෑන් - එදා 'දිවයින'ට කියූ කතාව

“මම ඉපදුනේ මීගමුවවේ. නගර මධ්‍යයේ තිබුණා ශාන්ත මරියා කියා ලොකු පල්ලියක්. තව පැත්තකින් මුහුදු වෙරළ, ඊළඟට ක්‍රීඩා පිට්ටනිය. මගේ ළමා වියේ තිබුණ සුන්දරම මතක අතර ඔය කියන ස්ථාන සුවිශේෂී තැනක් ගන්නවා. මම මුල් අධ්‍යාපනය ලබන්නේ ශාන්ත සෙබස්තියන් මිශ්‍ර පාසලින්. ඊළඟට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙ. නැවත 4 ශ්‍රේණියේදී මීගමුවේ ශාන්ත මරියා විදුහලට ඇතුළත් වෙනවා. එතැන ඉඳලා උසස් පෙළ දක්වා ඉගෙන ගන්තේ ශාන්ත මරියා විද්‍යාලයෙන්.”

තමන්ගේ දිවිමග පළමු කඩඉම වන අධ්‍යාපනයට අත්පොත් තැබූ විදුහල් තුනත්, එහිදී මුහුණ දීමට සිදුවූ රසවත් මතක සටහන් කීපයකුත් මෙනෙහි කරමින් ප්‍රවීණ කාටූන් චිත්‍ර ශිල්පි කැමිලස් පෙරේරා, තමන්ගේ පනස් වසරක නිර්මාණ චාරිකාව පිළිබඳ මතකය මෙනෙහි කරන්නට විය. කොළඹ 07 බෞද්ධාලෝක මාවතෙහි පිහිටි ඔහුට අයත් නිවසෙහි අපගේ පිළිසඳර සිදුවිය.

“පාසල් කාලෙත් මම චිත්‍රවලට තරමක සමත්කමක් දැක්වුවා. ඒ කාලෙ ඉංග්‍රීසි මාධ්‍ය තමයි ගොඩක් පාසල්වල තිබුණේ. මමත් අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. හැබැයි මම සිංහල සාහිත්‍යය හැදෑරුවා. එළුඅත්තනගලුවංශය, ගුත්තිලය මනුතාපය වගේ සිංහල පත පොත, ඊට අමතරව ඉංග්‍රීසි සාහිත්‍යය. ඔය අංශ දෙකෙන්ම මම ගොඩක් පොත්පත් බැලුවා.

ඒ වෙද්දීත් විෂයයක් විදිහට නැතත් මම ඉස්කෝලෙදි දකින ගුරුවරුන්ව ළමයින්ව චිත්‍රයට නැඟුවා. එක දවසක්… අපේ විද්‍යාලයේ විදුහල්පතිතුමාව මම චිත්‍රයට නැඟුවා. ඒ දවස්වල ඉස්කෝලෙ ප්‍රචාරයක් ගිහින් තිබුණා, අපේ විදුහල්පතිතුමා පාසල් වේලාවෙන් පස්සෙ පොඩි අඩියක් ගහනවා කියලා. ඒක හඟවන්නත් එක්ක අරක්කු බෝතලයක් මේසෙ උඩ තියෙන, කකුල් දෙක මේසෙ උඩ තියන් ඉන්න විදියට තමයි මම විදුහල්පතිතුමා චිත්‍රයට නැඟුවේ. කොහොමහරි ගුරුවරුන් මාර්ගයෙන් මේ චිත්‍රය විදුහල්පතිතුමා අතට යනවා. ඊට පස්සේ මට කාර්යාලයට එන්න කියනවා. මම එතුමාව මුණගැහෙන්න ගියහම මට කියනවා… මේක හොඳට ඇදල තියෙනවා. මීට පස්සෙ මාව චිත්‍රයට නැඟුවොත්, කාටවත් පෙන්වන්න එපා ඒක මට ගෙනත් පෙන්වන්න කියලා.

“දවසක්… අපට උගන්වන තව ගුරුවරයෙක්ව මම චිත්‍රයට නඟනව. ඒකත් කොහොමහරි ඔහු අතට යනවා. එදත් මට එන්න කියල පණිවුඩයක් එවනවා. මම යනවා. ඒ පාර ඉස්කෝලෙ ළඟ තියෙන කඩයකට මාව එක්ක ගිහින් බනිස් ගෙඩියකුයි තේ එකකුයි අරන් දීල, එතුමත් කියනවා මේ චිත්‍රය හොඳයි හැබැයි මීට පස්සෙ මේ වගේ චිත්‍රයක් ඇන්දොත් කාටවත් පෙන්වන්න එපා මට විතරක් ගෙනත් පෙන්වන්න කියලා.

මගේ චිත්‍ර කලාවට ගුරුවරු කවුරුත් නෑ. ඒක මා විසින්ම හදාරල, එදිනෙදා දකින හමුවන අයව රූපයට නඟල ප්‍රගුණ කරගත්ත කලාවක්. හැබැයි මෙහෙම දෙයක් වුණා. ඒ දවස්වල බි්‍රතාන්‍ය රජයෙන් කළ චිත්‍ර තරගයකට ඉදිරිපත් වෙන්න මම කොළඹ ආනන්ද විදුහලට ආවා. ඒ ආවෙ තාත්තත් එක්ක. එතැනදී මට ප්‍රථම ස්ථානය ලැබෙනවා. ඒක මගේ ගමනට ලොකු ශක්තියක් වෙනවා.”

කොහොම හරි කාලයක් යද්දි මට හිතෙනවා මටත් කාටූන් චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඇත්නම් කියලා. එහෙම හිතෙන්න තවත් එක හේතුවක් තමයි මම කතෝලිකයෙක් හින්ද පල්ලි යනවනේ. ඒ ගියහම මම දකිනව විශේෂයෙන් ඉරිදා දවසට ඔබ්සවර්, සිළුමිණ වගේ පත්තරවල තියෙන කාටූන් මිනිස්සු බොහොම කැමැත්තෙන් බලනවා. ඒව දකිද්දී මටත් හිතෙනව ඇයි මටත් බැරි මේ වගේ දක්‍ෂ කාටූන් ශිල්පියෙක් වෙන්න කියලා.

මේ කාලය වෙද්දී මම උසස් පෙළ ලියල ඉවරයි. ඔය වෙද්දී මම මීගමුවෙ අම්බලම්මුල්ලෙ මැටි කර්මාන්ශාලාවක මැටියෙන් පොඩි පොඩි නිර්මාණ කරන්න පුරුදු වෙනවා. ඔය අතරෙ රජයේ ගැසට් පත්‍රයේ තිබුණ රැකියා ඇබෑර්තුවක් දැකල ඒකට ඉල්ලුම් කරනවා. අන්තිමට දිස්ත්‍රික්කයේ ප්‍රථමයා විදිහට මාව ඒ රස්සාවට තෝරා ගන්නවා. පළමුවෙනි පත්වීම ලැබෙන්නේ පුත්තලම කච්චේරියේ සැලසුම් ශිල්පියෙක් විදිහට.

රස්සාවක් ලැබුණ කියල මගේ කාටූන් සිහිනය ඒකට යටවෙන්න දුන්නෙ නෑ. ටික දවසකින් මාරුවක් අරන් කොළඹට එනවා. එතකොට නවසිය හැටේ දශකය. ඒ ඇවිත් මම ඇඳපු “පොකට් කාටූන්” ටිකක් අරන් ලේක්හවුස් ආයතනයට යනවා. ඒ ගිහින් පිළිගැනීමේ කවුන්ටරය ළඟ පැය ගාණක් ඉන්නවා. එතැනින් එහාට මට යන්න අවසරයක් නැහැ. මට කවුරුත් කතා කරන්නෙත් නෑ. හැබැයි මම දිනපතාම යනවා. එතැන ඉන්න කවුරුවත් මගේ දිහා බලන්නෙවත් නෑ. ඒ වෙද්දී මට කාටූන් අඳින්න පුළුවන් වුණාට ඒවා අර්ථයෙන්, නිර්මාණශීලී බවින්, අඩු නිර්මාණ. ඒ හින්ද වෙන්නත් ඇති මට කාගෙවත් අවධානයක් යොමු නොවෙන්න ඇත්තෙ.

කොහොම හරි වෙද්දි මට ඕනවෙලා තිබුණේ මගේ කාටූන් එකක් පත්තරේක දාගන්න. එතැනදී මගේ මිත්‍රයකුගේ මාර්ගයෙන් ලේක්හවුස් එකේ වැඩ කරන සුමනා සපරමාදු මහත්මිය හඳුනා ගන්නවා. ඇය මාර්ගයෙන් මම සරසවිය පත්තරේට කාටූන් කීපයක් අඳිනවා. එතකොට සරසවිය පත්තරේ කර්තෘ වෙලා හිටියෙ විමලසිරි පෙරේරා මහත්තය. මම මුලින්ම ඇන්දෙ අන්දරේගෙ “රා මදින්නා” කියන කවියෙ පද හතරට ගැළපෙන කාටූන් චිත්‍ර හතරක් ඒක සිද්ධ වෙන්නෙ 1964 අවුරුද්දෙ.

ඔහොම ඉන්න අතරෙ මගේ තව මිත්‍රයෙක් දවසක් කිව්ව “දවස” පත්තරේ එයාගේ යාළුවෙක් ඉන්නව එයාව මුණගැහෙන්න යමු කියල. එම්. ඩී. ගුණසේන සමාගමට අනුබද්ධව තමයි ඒ දවස්වල දිනපතා දවස පත්තරය කරන්නේ. කොහොම හරි මම මුලින්ම “දවස”ට යන්නේ පොකැට් කාටූන් ටිකක් ඇඳගෙන. එතැනදී මට කියනවා තීරු කාටූන් ටිකක් අඳින්න කියලා. එතකොට තීරු කාටූන් කියන්නෙ මොනවද කියලවත් මම දන්නෙ නෑ. පුස්තකාලවලට ගිහින් ඒ පිළිබඳ අවබෝධයක් අරන් මම ඒ අභියෝගය ජය ගන්නවා. 1965 අවුරුද්දෙ ජනවාරි මාසෙ “තෙපානිස්” කියල මම දවස පත්තරේට කාටූන් එකක් අදිනවා. ඒක තමයි මම දවස පත්තරේට ඇන්ද මුල්ම කාටූන් එක…”

ඒ කාලෙ ලේක්හවුස් ආයතනය තමයි පත්තර අතර දැවැන්තයා වෙලා හිටියෙ. මගේ උත්සාහය වෙලා තිබුණෙත් කොහොම හරි ලේක්හවුස් පත්තරේක කාටුන් අඳින එක. ඔහොම ඉන්න අතරෙ ගම්පහ පැත්තෙ මගෙ හිතවතෙක් කිව්ව සිළුමිණ පත්තරේ වැඩ කරන ගණේමුල්ල පැත්තෙ එයාගේ හිතවතෙක් ඉන්නව, යමු එයාව මුණගැහෙන්න කියලා. ඔහොම දවසක් අපි එතුමාව මුණගැහෙන්න ගෙදරට ගියා. ඔහු තමයි සිළුමිණ පත්තරේ ආරම්භක කර්තෘ කෙනකු වෙච්ච පියසේන නිශ්ශංක මහත්තයා. ඒ ගෙදරට ගියහම ඕන කෙනෙක් කෑම කාලම තමයි එන්න ඕනෑ.

එතුමාව මුණගැහුණම මට කිව්ව අහවල් දවසෙ ලේක්හවුස් එකට ඇවිත් එතුමාව මුණගැහෙන්න කියලා. ඒ කාලය වෙද්දී ඩී.එෆ්. කාරියකරවන මහත්තය වැඩ කළේ “ජනතා” කියලා ලේක්හවුස් පත්තරයක. එතුමා තමයි ඒ වෙද්දී ජනතා පත්තරේ කර්තෘ වෙලා හිටියෙ. ඒමන් කාරියකරවන ඒ පත්තරේම ප්‍රවෘත්ති කර්තෘ විදිහට වැඩ කළා. පස්සෙ ඩී. එෆ්. කාරියකරවන, සිළුමිණේ ප්‍රධාන කර්තෘ ධුරයට පත්වෙනවා. ඊට පස්සෙ පියසේන නිශ්ශංක මහත්තය මට කිව්ව තීරු කාටූනයක් අඳින්න කියලා. ඒ පාර තමයි මම “දොං සේතං” අඳින්න ගන්නේ.

ටික දවසක් යද්දි ‘දොං සේතං’ පාඨකයන් අතර ජනප්‍රිය වෙන්න ගන්නව. ඊට පස්සෙ මම ඒකට තව චරිත කීපයක් එකතු කරනවා. සිමෝනා ලෙස දොං සේතංගේ බිරිඳ. මෙරායා කියලා දුව. ඔය වගේ චරිත එකතු කරනවා. මම පස්සෙ කාලෙක දැනගත්ත ඩී. එෆ්. කාරියකරවන මහත්තය එතුමාගේ ගෙදර අයටත් මේ නම්වලින් කතාකරල තියෙනව කියලා. ඒ තරමට ‘දොං සේතං’ ජනප්‍රිය වුණා. පස්සෙ 1961 වර්ෂයේදී මොකක් හරි ප්‍රශ්නයක් හින්ද මේක නතර කරනවා. මගේ කාටූන්වල එක විශේෂත්වයක් තමයි මොකක් හරි ප්‍රශ්නයක්, විහිළුවක් ආකාරයෙන් මතුකරල, ඒ සඳහා පාඨක අවධානය යොමු කරවීම. ඒ ‘දොං සේතං’ නතර කළා කියල මගේ ගමන නතර වෙන්නේ නෑ. ඊට පස්සෙ “දැක්කොත් පත්මාවතී”. ඊට පස්සෙ 1968 වර්ෂයේදී “සිරිබිරිස්” කියල සිළුමිණට ඇන්ද කාටූන් එක බොහොම ජනප්‍රිය වෙනවා.

මේ ළඟදී දවසක් හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහත්තය මුණගැහුණ වෙලාවක, ඒ දවස්වල මම සිරිබිරිස් හරහා මතුකරල තිබුණ රසවත් සිදුවීමක් මතක් කළා. ඔය වගේ මම ඇන්ද කාටූන් වලින් මොකක් හරි එකක් ලංකාවෙ ඕනෑම කෙනකුගේ මතකයේ තියෙනවා. අපේ සිංහල පාඨකයන්ට මා ගැන තියෙන්නෙ පුදුම මතකයක්.

● රු ජය
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment