ඔබත් පුද පූජා සිදුකරන්නේ අවබෝධයෙන් ද?

395

බුදු දහමට අනුව පුද්ගලයාගේ ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ මෙම සසර ගමන නවතාලීම සඳහා ක්‍රියා කිරීමයි. එය නිර්මාණය වශයෙන් පෙන්වා දී ඇත. බෞද්ධයන් ලෙස බොහෝ දෙනෙක් මෙලොව දිවිය තුළ ඇති වන විවිධ කරදර, අපල උපද්‍රවවලින් මිදී සුවපත් දිවියක් උදෙසා නොයෙක් පුද පූජා ක්‍රම උපයෝගි කර ගනිති. බුද්ධ පූජා, බෝධි පූජා ආදී බොහෝ පුද පූජා සිදු කළ ද පුද්ගලයා තුළ අවබෝධය එතරම් දියුණු වී නොමැති බව දැකිය හැකි දසුනකි. ඇතැම් විට කරන පිනට වඩා අවසානයෙහි පාපය බලවත්ව සිදුකර ඇති බව විවිධ ක්‍රියාවන් දෙස බැලීමෙන් මනාව සනාථ වේ. මේ නිසා බොහෝ පුද පූජා සිදු කිරීමේදී යෝනිසෝමනසිකාරාය මූලික කොටගෙන වත් පිළිවත් සඳහා මුල් තැන ලබාදී දෙලොව දියුණුව ඇතිකර ගැනීමට ඉවහල් වන පරිදි ක්‍රියා කිරීම සැනසීමට මෙන්ම මනා අවබෝධය සඳහා හේතු වනු ඇත.

‘සද්ධහතී තථාගනස්ස බෝධිං’ යන බුද්ධ දේශනාවට අනුව ශ්‍රද්ධාව යනු, අවබෝධය හා විශ්වාසය ලෙස දක්වා ඇත. ඒ අනුව බෞද්ධයා යනුවෙන් ද අර්ථ ගන්වා ඇත්තේ මෙකී අරුතමයි. විශේෂයෙන් බුදු දහමට අනුව විමසා බැලීමේදී පුද්ගලයා බොහෝ පුද පූජා සිදු කළ ද ඒවායේ තමා බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබා ගැනීමට හැකි ද? යන්න ගැඹුරින් විමසා බැලිය යුත්තකි. නිවන කරා යන ගමනේදී සිදු කළ යුතු පූජා ක්‍රම දෙකක් බෞද්ධ දර්ශනයෙහි උගන්වයි. එනම්,

  1. ආමිෂ පූජා
  2. ප්‍රතිපත්ති පූජා

මෙම ක්‍රම දෙක තුළින් බහුතරයක් පිරිස අනුගමනය කරනු ලබනුයේ ආමිස පූජාවන්ය.

ඒවා විවිධ ස්වරූපයෙන් සිදු කිරීමට පෙලඹෙන බොහෝ දෙනා ලෞකික බලාපොරොත්තු මත පදනම් වෙමින් ක්‍රියා කරනු ලබති. බුද්ධ පූජා, බෝධි පූජා, අටවිසි පූජා, චෛත්‍ය පූජා ආදී බොහෝ පූජා විධි නූතනය තුළ බෙහෙවින් ව්‍යාප්ත වී ඇත. ඇතැම් විට ඒවායෙහි මූලික පරමාර්ථය වී ඇත්තේ ආර්ථික ලාභ මිස දෙලොව යහපත නොවේ. මෙකී ඕනෑම පුද පූජාවක් සිදු කිරීමේදී මූලිකම කරුණ විය යුත්තේ වත් පිළිවෙත් සඳහා මුල් තැන ලබාදීමය.

‘වත්තං න පරිපූරෙන්ති
න සීලං පරිපූරති’

වත් පිළිවෙත් සම්පූර්ණ නොකිරීම තුළ සීලය ද නොවැඩෙන බව විනය පිටකය තුළ උගන්වා ඇත. එය ගිහ පැවිදි දෙපක්ෂයටම පොදු වූවකි. වත් පිළිවෙත් පිළිබඳ දැක්වීමේදී එය ගැඹුරින් විග්‍රය කළ යුතු වූවත් සරලව විමසා බැලීමේදී ආමිස පූජාවන්ට මුල් තැන දී ඇති බහුතරයක් වූ පිරිසට වතාවත යන්න අමතක වීම කනගාටුවට කරුණකි. බොහෝ විහාරස්ථානවලට පැමිණෙන බහුතරයක් වූ පිරිස විවිධ පුද පූජා සිදු කරනු ලැබුව ද මූලිකව සිදු කළ යුතු වතාවත හා අවසානයෙහි සිදු කළ යුතු වතාවත අමත කර දමා කරන පිනට වඩා පව් පුරවා ගන්නා අයුරු සුලබව දැකිය හැකි දසුනකි. නිදසුනක් ලෙස, බෝධි පූජා කරන බහුතරයක් වූ පිරිසගෙන් ඉතා සුළු පිරිසක් බෝධීන් වහන්සේ අවට පිරිසිදු කරති. ගෞරව දක්වති. එය සැබෑ බෝධි පූජාවයි. මල්, ගිලන්පස, ආහාර, බෙහෙත් ආදී බොහෝ පූජාවන් සිදු කරන අපේ බෞද්ධයන් තම කාර්ය සිදුකොට අවසානයෙහි ඒ සියල්ල දමා යන අයුරුත් ඒ නිසාම කොතරම් ප්‍රාණ ඝාතය සිදුවන්නේ ද හා බුදුන් වහන්සේට කොතරම් ගෞරව කරන්නේ ද යන්න බෙහෙවින් දැකිය හැකිය. මෙවැනි ක්‍රියා නිසා පුද්ගලයා බලාපොරොත්තු වන යහපත උදාවේ ද? යන්න සැබැවින්ම ප්‍රශ්නාර්ථයකි. ආමිසයෙන් ප්‍රතිපත්තිය කරා ගමන් කළයුතු වුවත් බොහෝ දෙනා තුළින් එවැන්නක් දැකිය නොහැකිය.

නිවන කරා යන ගමනේදී මෙකී අවබෝධය අතශයින් වැදගත් වනු ඇත.

‘පුප්ඵං මිලායාති යථා ඉදම්මේ
කායෝ තථායාති විනසභාවං”

යන ගාථාවෙන් උගන්වනු ලබන්නේ, ජීවිතයේ යථාර්ථයයි. එහෙත් කෙතරම් මල් පූජා කළ ද බහුතරයක් දෙනාට එවැනි අවබෝධයක් නොමැත. ඇතැම් පිරිසක් තමන්ට වැරදුණු පසු අපල උපද්‍රව පැමිණීමෙන් පසු විවිධ පුද පූජා සිදු කිරීමට පෙලෙඹෙති. වතාවත් කිසිසේත්ම නොදන්නා ඔවුන් සිදු කරන විවිධ ක්‍රියාවන් දෙස විමසා බැලීමේදී අන්ධයන් මෙන් හැසිරෙන අයුරු ද දැකිය හැකිය. කොතරම් බුදු ගුණ ගාථා, කවි කිව්ව ද කිසි අවබෝධයකින් තොරවීම සැබෑ ලෙසම බොහෝ දෙනා සිදු කරන මිථ්‍යාවකි. ඒ තුළ අපල තවදුරටත් වර්ධනය වන අතර කිසි විටෙකත් යහපතක් බලාපොරොත්තු විය නොහැකිය. නූතනයෙහි විවිධ ආර්ථික ලාභ ප්‍රයෝජන නිසා පුද පූජා ඇතැම් අය සිදු කරනු ලැබුව ද මූලික වශයෙන්ම බෞද්ධයන් දියුණු විය යුත්තේ විශ්වාසය මත ක්‍රියාකොට ප්‍රතිපත්තිමය වශයෙන් ඒවා ඉදිරියට පවත්වා ගෙන යමින් සසර දුකින් මිදීමේ මාර්ගයයි.

දර්ශනපති කනංකේ විජිත නන්ද හිමි

සංස්කරණය – සුසිල් ජයකොඩි

ඔබත් පුද පූජා සිදුකරන්නේ අවබෝධයෙන් ද?


0722081522

advertistmentadvertistment
advertistmentadvertistment