නම වනසන වාස්තු දෝෂ

149

නාමේ නොදිරෙනා කුණු කය දිරෙනා අරුමෙකි ශෝභා සංසාරේ” කියන ගීතය ඔබ අසා ඇති. ජීවිත කාලය පුරාවට රැකගත් පුද්ගලයකුගේ කීර්ති නාමය, සමාජ පිළිගැන්ම මොහොතකින් විනාශ වී නින්දාවට, අවමානයට ලක්වන පුද්ගලයන් අප සමාජයේ ඕනෑ තරම් ඇත. සමහරු නින්දා අවමානයන් විඳදරා ගැනීමට නොහැකිව සියදිවි නසාගනී. නින්දාවට අවමානයට ලක්වන අය වරදක් කර හෝ වරදක් නොකර අවමානයට, නින්දාවට ලක්වන අවස්ථා ඕනෑ තරම් දැක ඇත, අසා ඇත. එසේ නිවැරදි නිර්දෝෂි පුද්ගලයන් පවා තමන් නොකළ වරදකට, නොකී දෙයකට නොදැකපු දේකට අවමන් විඳීම එකී පුද්ගලයාට මානසිකව ඇදවැටීමකි. ඔහුගේ හෝ ඇයගේ විනාශයට එය හේතුවක්ම විය හැකිය.

පසුගිය දිනක එවන් පුද්ගලයකුගේ නිවසක් පරීක්‍ෂා කිරීමට මට අවස්ථාව ලැබුණි. සිනමාවේ වේදිකාවේ, රූපවාහිනියේ නමක් දරා සිටින එම පුද්ගලයා ඉතාමත්ම ජනප්‍රිය චරිතයකි. ඒ වගේම නිරහංකාර පිරිසිදු වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙකි. ජ්‍යොතිෂ කේන්දර වාස්තු පිළිබඳව එතරම් පිළිගන්නා කෙනකු නොවුණ හෙතෙම ඔහුගේ බිරිඳගේ දැඩි බලකිරීම මතම ඒ ගැන අදහසක් පහළව එම බිරිඳ විසින් මා හට නැකැත පත්තරේ ඇති මගේ දුරකථන අංකයට ඇමතුමක් ලබාදී නිවස පරීක්‍ෂා කර ගැනීමට මා හට ඇරයුම් කරන ලද අතර නියමිත දිනයේ මම එම ස්ථානයට පියනැඟුවෙමි. ඔවුන් සමග කතාබහ කිරීමේදී මා හට දැනගන්නට ලැබුණේ මිල මුදල්, ලැබීම් හෝ සෞඛ්‍යමය ගැටලු ලොකුවට පැනනැඟී නොමැති බවත්, මෑතදී නිවසේ යම් යම් කොටස් වෙනස් කළ බවත්, ඉන්පසු මෙපමණ කාලයකට සිදු නොවුණ මානසික පීඩා සිතාගන්නටවත් නොහැකි ලෙස අභූත චෝදනාවලට ලක්වීම, නමට මඩ පහරවල් සමාජ මාධ්‍ය, විiුත් මාධ්‍යවල ප්‍රචාරය වීම නිසා කලකිරීමට පත්ව සියල්ල එපා වන තත්ත්වයට පත්ව ඇතැයි පැවසීය. මෙම නිවස පරීක්‍ෂා කිරීමේදී කොටස් එකතු කිරීම තුළින් නිවසේ වර්ගඵලය වෙනස්ව ගෘහ පිණ්ඩය ගණනය කිරීමේදී ශේෂය මත එය කාක ආය වශීයට අයත් නිවසක් වී තිබුණි. එවැනි නිවෙස්වල මානසික තුලනතාවය බිඳවැටේ. ව්‍යසනයන්ට ලක්වීමට හේතු දේ. නිවසේ බ්‍රහ්මපාදය එළියට විසිවී යන ආකාරයට නිවසේ වටපිලට පතිතව තිබුණි. ඉතා විශාල ගෙයක් වූ මෙම නිවස පැරණි ගෘහ නිර්මාණ ශිල්පයත්, නවීන තාක්‍ෂණික වෙනස්කම්වලටත් භාජනය කර පැවතුණි. කිසිම වාස්තු ශිල්පියකුගේ සහයක් නොමැතිව තම හිතුමතයටම සඟරාවක දුටු ලස්සන නිවසක් දැක ඒ ආකාරයට මෙය සැලසුම් කර කොටස් එකතු කිරීම් කරන ලද අතර හොඳට පැවැති නිවස ඉන්පසු වධයක් බවට අඹු සැමියන්ට පත්ව තිබුණි. ගෘහ පොරොන්දම් පරීක්‍ෂාවේ දී නිවස දෙදෙනාටම තමන්ගේ නැකැත් අනුව ‘වධ’ නැකැතට සීහුම්ව පැවතුණි. නිවැසියන් අවනම්බුවට, නින්දාවට ලක්ව පැවති කරුණු අතර

  1. බ්‍රහ්මපාදය පිටත නිවසේ වටපිලට පතිතවීම

නිවසක බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය එම නිවසේ ඇතුළත නොපිහිටා එය එළියට (වටපිලට, මිදුලට) පතිත වීමක් සිදුවන්නේ එම නිවසේ හැඩතලවල දෝෂතාවයක් නිසාය. ඒ ආකාරයට මෙම නිවසේ අත්තිවාරම බොහෝ පිටතට වැටීම දිශාවන් ශුන්‍ය වීම තුළින් බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය එළියේ වටපිලට වැටීම නිසා ගෘහ හිමියාට ද ඔහුගේ ජීවිතය එළියට විසිවීමත් දැඩි මානසික පීඩාවන්ට පත්වීමත්, ආදායම් මාර්ග අවහිර වීමත් පැවතුණි.

  1. දුබා දෝෂය

දුබා දෝෂය යනු දෙපැත්ත විශාලව පිහිටා මධ්‍ය කොටස සිහින් වීමයි. හරියට කියනවා නම් බර උසුලන ඩම්බලයක්, ඉංග්‍රීසි කැපිටල් ෂ අකුරක හැඩය ගැනීමක්ය. දෙපස කාමර ද මැද සාලය කොටස සිහින්ව ද පැවතුණි. වාස්තු විද්‍යාවේ මෙය හඳුන්වන්නේ දුබා දෝෂය ලෙසිනි. වාස්තු පුරුෂ සංකල්පයට අනුව වාස්තු පුරුෂයාව බඩ මැද්දෙන් මිරිකා සිටින අයුරකි. මෙවැනි නිවාසවල ගෘහ හිමියන්ට උදරය ආශ්‍රිතව නොයෙක් රෝගාබාධ පවතින අතර එය සනාථ කරමින් මෙයට පෙර මෙවැනිම ආකාරයක නිවසක ගෘහ හිමි කාන්තාව උදරයේ ගෙඩියක් හටගෙන මරණයට පත්ව තිබුණි. ඒ වගේම මෙවැනි නිවාසවල වෙසෙන අය නින්දාවට, අවමානයට ද ලක්වේ. එය මේ නිවසින් මනාව ඔප්පු විය.

  1. විකර්ණ රේඛා ඡේදනය වන ලෙසින් අපජල වළවල් පිහිටීම

නිවසක මුළුවලට, විකර්ණ රේඛාවට ඡේදනය වන බිත්ති කෝණවලට නිවසේ මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය ජල වළවල් පිහිටීම ද එම නිවැසියන් අවමානයට ලක්වන හේතුවකි. එයද සනාථ වෙමින් නිවසේ නාන කාමර 02ක අපජලය හා මුළුතැන්ගෙහි අපද්‍රව්‍ය ජල වළවල් 02ක් බිත්ති මුළු 02ක පැවතුනි. මෙම නිවස ඉදිකළ භූමිය හරි හතරැස්ව චතුරශ්‍රාකාරව පිහිටා තිබුණ නමුත් අල්ලපු ඉඩමේ එනම් මෙම ඉඩමේ වයඹ දිශාවේ ඉඩම් කොටස එහි අයිතිකරුවන් විසින් මෑතදී මාගේ සේවාදායකයාට අලෙවි කර විදේශගතව ඇත. නිවසේ අලුත්වැඩියා කටයුතු කරන අවස්ථාවේ එම කොටස ද සම්බන්ධ කර තාප්පය බැඳ ඇති අතර එහි හැඩය උඩ අතට ලියන ලද ඛ හැඩය ගත් අතර ඒ තුළින් නිරිත කොටස අහිමිව පවතී. පොරව හැඩයට සමානය. මෙහිදී වයඹ දිශාව දික්වීමද වාස්තු විද්‍යාත්මකව තමන්ගේ ආත්ම ගෞරවයට හානි ගෙනදෙන්නකි.

ඉහත ප්‍රධාන කරුණු 04 ක් ම මෙම නිවසේ පිහිටා තිබීමෙන් නිවසේ අයිතිකරුගේ නම, අභිමානය කෙලෙසීමට ලක්ව ඇති බව පෙන්වා මේ සියලු දෝෂයන් නිවැරදි කිරීමෙන් පසුව සියල්ල යහපත්ව මෙයට සති කීපයකට කලින් ගෞරව සම්මානයන්ට ද නොයෙක් ඇගයීම්වලට ද යළිත් පාත්‍ර විය. මෙය පළ කිරීම ඔහුගේ කැමැත්ත පරිදි සිදු කළ ද නම ප්‍රකාශ කිරීම නොකරන මෙන් මගෙන් ඉල්ලා සිටින ලදි.

නිවසක පදිංචි අයගේ නම, නම්බුව විනාශ වීමට අවමානයට ලක්වීමට තුඩු දෙන තවත් ප්‍රධාන හේතුවකි, ප්‍රධාන ද්වාරයට අහිමුඛව පිහිටි මඩ ගොහුරක්, පාළු වළක්, පතලක්, පුරන්ව ගිය කුඹුරක් හෝ නෙලුම්, මානෙල් දමා, විශාල පෝච්චි වශයෙන් හෝ ටැංකි වශයෙන් නිවස ඉදිරිපිට තබන මඩ දමා ජලජ ශාක, මල් සිටුවීම, මාළු ටැංකි.

මේවාවල ජලය, මඩ පල්වීමෙන් ඇතිකරන දුරගන්ධයන් නිවසට ඇදී ඒම නිසා ඒ සමගින් පැමිණෙන අශුභ ශක්තීන්, නිවසේ වාස්තු දෝෂ ඇති කරයි.

විශේෂයෙන් කර්දම වේධ දෝෂයකට හේතු වේ. ව්‍යාපාරයක, ව්‍යාපාරයේ කීර්ති නාමයට ගනුදෙනුකරුවන් අතර අවමානයට ලක්වන දෝෂයකි. ව්‍යාපාර ස්ථානයේ යකඩ (දිරාගිය) අබලන් වාහන කොටස් යන්ත්‍ර සූත්‍ර කොටස්, දකුණු දිශාවේ ගොඩගසා තැබීම. මෙලෙස සුළු අත්වැරදීම් හෝ නොදැන කිරීම තුළින් නොසිතන පැත්තක, නොසිතන ආකාරයක විශ්ව දඬුවම් මනුෂ්‍යයන් වන අප හට විඳීමට සිදුවේ.

නම වනසන වාස්තු දෝෂ

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment