ලෝකයත් සම්බුද්ධ ශාසනයත් සියලු සත්ත්වයාත් ආරක්ෂා කරන විෂ්ණු දෙවියෝ

677

ඉතා බලවත් මහේශාක්‍ය මධ්‍ය දෙවි කෙනකු වූ විෂ්ණු දෙවිඳුන් ඉන්දු දෙවිඳුන්ට පමණක් දෙවැනි වන නිසාවෙන් උපේන්ද්‍ර නමින් ද හඳුන්වනු ලබයි. විෂ්ණු දෙවියන් ලංකාවේ අදටත් අදහන මෙන්ම මහත්වූ පුද පූජා සත්කාර ලබන පැරණිම දෙවියන් ලෙස පෙන්වා දිය හැක. විෂ්ණු දෙවිඳුන් උපුල්වන් දෙවිඳුන්, උත්පලවර්ණ දෙවිදුන් ආදී කොට ඇති පර්යාය නාම ගණනාවකින් හඳුන්වනු ලබයි. හින්දු භක්තිකයන්ට අනුව බ්‍රහ්ම, විෂ්ණු හා ඊශ්වර යන ත්‍රිමූර්තියෙන් එක් මූර්තියක් වූ විෂ්ණු දෙවිඳු සමස්ත ලෝකයේත් සියලු සත්ත්වයාගේත් පැවැත්ම සුරකිනු ලබයි.

විෂ්ණු දෙවියන් වනාහි මනු ලොව කලින් කල විවිධ ස්වරූපයෙන් පැනනඟිනා අධර්මය නැතිකර ධර්මය ලොව ස්ථාපිත කිරීමට මහත්වූ පරිශ්‍රමයක් දරන දෙවි කෙනෙකි. අතීතයේ මෙන්ම අදටත් උන්වහන්සේ සකල ලෝක සත්ත්වයා කෙරෙහි පතළ මහත්වූ කරුණාවෙන් අධර්මය පරාජය කිරීමට වෙහෙසෙති. අධර්මය නසනු වස් පුරාණ පොත පතට අනුව විෂ්ණු දෙවිඳුන් අවතාර 20 ක් දැරූ බව සඳහන්ය. ඒ එසේ මුත් වත්මන් බහුල භාවිතයේ ප්‍රකටව ඇත්තේ නාමිකව අවතාර දහයක් දැරූ ලෙසය. එය විෂ්ණු දෙවිඳුන්ගේ දස අවතාරය ලෙස හඳුන්වයි. එම දස අවතාර නාමිකව මෙසේය.

  1. මත්ස්‍ය 2. කුර්ම
  2. වරාහා 4. නාරසිංහ
  3. වාමන 6. පරුශුරාම
  4. රාම 8. කෘෂ්ණ
  5. බුද්ධ 10. කල්ක්‍ය

නිල්වන් වූ ශරීර වර්ණයෙන් බබළන ගුරුලා පිට විරාජමාන රූපශ්‍රීයෙන් අග්‍ර වූ ශ්‍රියාකාන්තාව භාර්යාව වන විෂ්ණු දෙවිඳුන් තුන්වරක් දෙව් ලොවින් මනු ලොවට වැඩම කළ බව කියැවේ. විශේෂයෙන් විෂ්ණු දෙවිඳුන් තුන් ලෝකයක් සනසා වදාළ අප ගෞතම බුදුන් වහන්සේට මහත්වූ භක්තියෙන් වැඳුම් පිදුම් කළ බවත් උතුම් වූ බුද්ධත්වයට පත්වන විට එම බුද්ධ රාජ්‍යයට පත්වීමට බාධා කිරීමට පැමිණි දසබිම්බරක් වූ මාර සෙනඟ පළවා හැරි බවත් ත්‍රිපිටිකයෙන් සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ ග්‍රන්ථවල සඳහන්ය.

ලෝකයත් සම්බුද්ධ ශාසනයත් සියලු සත්ත්වයාත් ආරක්ෂා කරන විෂ්ණු දෙවියෝ

මහා කරුණාවෙන් අගතැන් පත් දෙවි කෙනකු වූ විෂ්ණු දෙවිඳුන් සියලු සත්ත්වයන්ට පිහිට උපකාර වන උත්තමයෙකි. ඉහත දී සඳහන් කිරීමට යෙදුන දස අවතාරය දරා ගත්තේ ද උන්වහන්සේ හුදෙක් අන්‍ය හිතසුව පිණිසමය. උක්ත දස අවතාරය පුරාණ පත පොතට අනුව සංක්‍ෂිප්තව මෙසේය.

  1. මත්ස්‍ය අවතාරය

මත්ස්‍ය අවතාර යනු මාළුවකුගේ වේෂයක් මවා ගත් අවතාරයකි. මෙකී අවතාරය විෂ්ණු දෙවිඳුන්ගේ පළමු වර දරාගත් අවතාරය වේ. මෙම මත්ස්‍ය අවතාරය දරා ගත්තේ මහ මුහුද ගොඩගලා සප්ත මහා සෘෂි උතුමන් ද සමස්ත වේදය ද සුමුදු ජලයේ ගිලිණු අවස්ථාවේ එම සෘෂි උතුමනුත් වේදයත් බේරා සුරක්ෂිත කිරීමටය. මේ සඳහා විෂ්ණු දිව්‍ය රාජයන් අති විශාල මත්ස්‍ය රුවක් මවාගත් බව කියැවේ.

  1. කුර්ම අවතාරය

කුර්ම අවතාරය යනු ඉඳිඹුවකුගේ වේෂයක් මවාගත් අවතාරයකි. විෂ්ණු දෙවිඳුන් මෙම කුර්ම අවතාරය දරා ගන්නේ පෘථිවිය ජලයේ ගිලී ගිය අවස්ථාවේ එය බේරා ගැනීමටය. මේ සඳහා විශාල ඉඳිඹුවකුගේ රුවක් උන්වහන්සේ දරාගත් බව සඳහන්ය. එපමණක් නොව ජල ගැලීමෙන් පෘථිවිය ගිලී යෑම නිසා නැතිවූ අමෘතය සොයනු වස් ද මහ මුහුද යටට කිමිදී විශ්ව ශක්තිය පෙන්වීම උදෙසා ද මෙකී අවතාරය මහෝපකාරී වුණි.

  1. වරාහා අවතාරය

වරාහා අවතාරය යනු ඌරකුගේ වේෂයක් මවාගත් අවතාරයකි. විෂ්ණු දෙවිඳුන් මෙම වාරාහා අවතාරය දරා ගන්නේ මහ පොළොව සමුද්‍රය තුළට ගිලිහී ගිය අවස්ථාවේය. එහිදී දරාගත් වරාහා අවතාරයේ ඇති දලයෙන් ඇන පෘථිවිය සාගර ජලයෙන් ඔසවා තැබූ බව සඳහන්ය.

  1. නාරසිංහ අවතාරය

නාරසිංහ අවතරය යනු මනුෂ්‍ය හා සිංහ රුව කලවම් වූ දෙබිඩි රුවකි. විෂ්ණු දෙවිඳුන් මෙකී අවතාරය දරා ගත්තේ ‘හිරන්‍ය ක්‍ෂි්‍යූ’ නම් අසුරයා පරාජය කිරීමටය. එහිදී විෂ්ණු දෙවිඳුන් මෙම අවතාරය ආධාරයෙන් එකී අසුරයා බියගන්වා පළවා හැරි බව සඳහන්ය.

  1. වාමන අවතාරය

විෂ්ණු දෙවිඳුන් මෙම අවතාරය දරා ගත්තේ බලී නම් අසුරයාගෙන් ස්වර්ග රාජ්‍යය බේරා ගැනීමටය. මෙහිදී උන්වහන්සේ තම ශරීරය අසාමාන්‍ය ලෙස අති විශාල කර ගනිමින් මුළු මහත් විශ්වය වසා පැතිර සිටියහ. එම අවස්ථාවේ එකී දර්ශනය දුටු බලී නම් අසුරයා මහත්වූ බියට පත්වී පාතාලය බලා පසුබැසි බව සඳහන්ය. මේ අයුරින් මවාගත් අසාමාන්‍ය විශාල රුව වාමන අවතාරය නම් වේ.

  1. පරුශුරාම අවතාරය

විෂ්ණු දෙවිඳුන් තම හස්තයේ පොරවක් දරාගත් අවතාරයක් දරා ගත්තේ මිහිතලයෙන් ක්‍ෂත්‍රියන් විනාශ කිරීම සඳහා මෙන්ම ‘ජමදගනී’ නම් බමුණාගේ වස්තුව කොල්ලකෑ ‘කාර්තිවීර්‍ය’ නම් වූ රජු මරා දැමීමටය.

  1. රාම අවතාරය

රාම රාවණා කථා පුවතට අනුව රාවණා රජු විනාශ කිරීමට විෂ්ණු දෙවිඳුන් රාම නම් වූ අවතාරය දරා ගන්නා ලදී.

  1. කෘෂ්ණ අවතාරය

සමස්ත පෘථිවි තලයෙන් අධර්මය දුරු කර ධාර්මික සමාජයක් බිහිකිරීමට සේම රාධා ක්‍රිෂ්ණා පෙම් යුවළ හා එක්ව කංසා රජු පරාජය කර ‘ද්වාරක’ නම් වූ රාජ්‍ය ගොඩනැඟීමට ද විෂ්ණු දෙවිඳුන් කෘෂ්ණ අවතාරය දරා ගත්හ.

  1. බුද්ධ අවතාරය

විශේෂයෙන් සත්ත්ව හිංසනය පරපණ නැසීම හා අනේකවිධ අපරාධ පිටුදැක මැඬලීම උදෙසා විෂ්ණු දෙවිඳුන් බුද්ධ නම් වූ අවතාරය දරාගත් බව සඳහන්ය. මෙකී අවතාරයට හිමි බුද්ධ රූප උදෙසා හින්දු භක්තිකයන් අදටත් පුද පූජා පවත්වනු දැකිය හැක. ඒ හින්දු භක්තිකයන් බුදුන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේම අවතාරයක්ම යැයි විශ්වාස කරන බැවිනි.

  1. කලස්‍ය අවතාරය

මෙකී අවතාරය මතු අනාගතයේ විෂ්ණු දෙවිඳුන් විසින් දරාගනු ලබන අවතාරයකි. එක් මහා යුගයකට පවතිනා උප යුග සතර අතුරින් නරකම උප යුගය වූ කලියුගය අවසානයේ ලෝ වැසි ජනී ජනයා අසාමාන්‍ය ලෙස අධර්මිෂ්ට වී ධර්මය වැනසී යන නිසාවෙන් එම ජනී ජනයාගේ අකුසල මැඬපවත්වා යළිත් ධර්මය ලොවෙහි ස්ථාපිත කරුණු වස් ද අතළොස්සක්ව ඉතිරිව සිටි ධාර්මික සත්පුරුෂ ජනයා රක්ෂා කරනු වස් ද ශ්‍රී විෂ්ණු දෙවිඳුන් කලස්‍ය නම් වූ අවතාරය දරාගනු ලබයි.

විෂ්ණු දෙවියන්ට හින්දු භක්තිකයන් මහත් පූජනීය තත්ත්වයෙන් පුද පූජා පවත්වනවා සේම ශ්‍රී ලංකාවේ බෞද්ධයන් ද විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වා බාර හාර වනු දැකිය හැක. එහිදී විෂ්ණු දෙවිඳුන් වෙනුවෙන් විශේෂ දේව පූජා සකස් කරනු දැකිය හැකිය. එහිදී නිල් තිර රෙදි, නිල් මල්මාලා, නිල් කටරොඩු, නිල් මානෙල් වැනි ද්‍රව්‍ය විශේෂයෙන්ම යොදාගනු දැකිය හැක. එසේම විෂ්ණු දෙවිඳුන් උදෙසා පුදනු ලබන පූජා වට්ටියේ, පලතුරු වර්ග 7 ක් ගෙඩි පූජාවක් සේ තැබිය යුතුය. ඒ ගෙඩි පූජාව කැබලි පූජාවට වඩා ප්‍රතිඵලදායක මෙන්ම අර්ථවත් බැවිනි. මෙහිදී මෙම පූජා වට්ටිය සඳහා ඇස්ස කපා සිදුරු කළ තැඹිලි ගෙඩියක්, මුඩ්ඩ සහිත පෙරැන්ගෑ පොල් ගෙඩියක් තැබිය යුතු අතර ඊට අතිරේකව එලඟිතෙල් පහනක්, කපුරු පෙති, හඳුන්කූරු හා බුලත් ආදිය තැබිය යුතුය. මේ සියල්ලට අතිරේකව එම පූජා වට්ටියටම පිරිසිදුව පිසගත් කිරිබත් කෝප්පයක් ද තැබීම ඉතා යෝග්‍ය ය.

විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වා බාර හාර වීම තුළ මනුෂ්‍යයන්ට බොහෝ ඵල ප්‍රයෝජන ලැබිය හැක. ඒ අතර ධන සම්පත්, යසඉසුරු ලැබීම, රැකියා ව්‍යාපාර ආදියේ දියුණුව, අධ්‍යාපන කටයුතු වැඩිදියුණුවීම ලෙඩ රෝග ආදියෙන් ආරක්ෂාව මෙන්ම සතුරු කරදර පීඩා ආදියෙන් ආරක්ෂාව ආදී මෙකී නොකී බොහෝ දේ හුවා දක්වාලිය හැකිය.

විශේෂයෙන් දෛනිකව විෂ්ණු දෙවිඳුන් උදෙසා පහන් දල්වා පුද පූජා පවත්වන්නන් හට විෂ්ණු දෙවිඳුන්ගේ පිහිට, සරණ, ආරක්ෂාව නිරන්තරවම හිමිය. විශේෂයෙන්ම තම ඉෂ්ට දේවතාවා මෙන්ම පාලන දේවතාවා විෂ්ණු දෙවියන් වන මිථුන, කන්‍යා, මකර, කුම්භ, මීන යන ලග්න හිමි ජන්මීන්ට මෙසේ වත් පිළිවෙත් සිදුකිරීම ඉතාම ප්‍රතිඵලදායකය. සාමාන්‍යයෙන් සියලු දෙවියන් උදෙසා රාත්‍රි 10 න් පසුව පහන් දල්වනු ලබන අතර පුරාණ සම්මතයකට අනුව විෂ්ණු දෙවියන් උදෙසා පහන් දැල්වීමට නිර්දේශ කර ඇති වේලාව වනුයේ මධ්‍යම රාත්‍රි 12.12 සිට මධ්‍යම රාත්‍රි 12.24 දක්වාය.

අසීමිත කරුණා දයා පෙරදැරිව මහා බලසම්පන්න වූ අපවත් ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ලෝකයත් රක්ෂා කරන ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ට ඔබ කවර හෝ සුළු පිනක් කළ ද එය භක්තියෙන් යුතුව අනුමෝදන් කිරීමට වගබලා ගන්න. ඒ තුළින් ඔබට සෙතක්, ශාන්තියක්, යහපතක් උදාවනු නියතය. එය ඔබටම ප්‍රායෝගකිව අත්විඳිය හැකි පරම සත්‍යයක් බව ද කිව යුතුමය.

ලෝකයත් සම්බුද්ධ ශාසනයත් සියලු සත්ත්වයාත් ආරක්ෂා කරන විෂ්ණු දෙවියෝ

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment