අවුරුදු දා අනතුරුවලින් මරණ 10ක්

190

පෙරේදා (14දා) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කීපයක සිදුවූ රිය අනතුරු අටකින් පුද්ගලයන් දස දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අපරික්ෂාකාරී රිය ධාවනය, මාර්ගයේ වාහන ලිස්සා යෑම සහ රියදුරන්ට නින්ද යෑම මෙම අනතුරුවලට හේතුවී අතැයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

පුස්සැල්ලාව – කටුකිතුල ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී යෑමෙන් එහි ගමන්ගත් වයස අවුරුදු 65ක පුද්ගලයකු සහ අවුරුදු දෙක් වයසැති දරුවකු මියගොස්, තුවාල ලැබූ තවත් පස් දෙනකු ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පිරිස නුවරඑළිය දෙස සිට ගම්පොළ දෙසට ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවත් සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස එකම පවුලේ අය බවත්, පොලිසිය පවසයි.

මේ අතර හාලිඇළ – බණ්ඩාරවෙල මාර්ගයේදී රියැදුරුට නින්දයෑම හේතුවෙන් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී සිදුවූ අනතුරින් කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 51 සහ 70 වයසේ පසුවූ දොම්පේ, පුවක්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙනකු බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ රථයේ සිටි තවත් කාන්තාවක් සහ රියැදුරු බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මේ අතර මහියංගණය – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ නිදන්ගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පෙරළී ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ රියැදුරු ජීවිතක්ෂයට පත්ව කතුන් දෙදෙනකු තුවාල ලබා මහියංගණ රෝහළට ඇතුළත් කර තිබේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක්වූ උඩුකිරිඇල්ල, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.

මෙම අනතුරු බොහොමයක් රියැදුරන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුව ඇති බැවින් රිය ධාවනයේදී මාර්ග නීති පිළිපදිමින් ආරක්ෂාකාරීව රිය ධාවනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment