ඉරානයට පෙරළා පහර දෙනවාද?

433

ඊශ්‍රායලය දෙගිඩියාවක

ඉරිදා දහවල් පැය තුනකට වැඩි කාලයක් සාකච්ඡා කිරීමෙන් පසුව, ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලය, සෙනසුරාදා රාත්‍රියේ ඉරානයෙන් එල්ලවූ දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට, රට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව තීරණයකට එළඹියේ නැත. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා ඇත්තේ කලබල නොවී තීරණ ගන්නා ලෙස ය. ඊශ්‍රායල මාධ්‍ය වාර්තාවලට අනුව, එරට යුද කැබිනට් අමාත්‍ය බෙනි ගාන්ට්ස් සහ ගාඩි අයිසේන්කොට්, පෙරළා ඉරානයට ආපසු පහර දීමට යෝජනා කර තිබේ. නමුත් මෙම යෝජනාවට අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්, හමුදා ප්‍රධානි හර්සි හැලෙවි සහ තවත් අය දැඩි ලෙස විරුද්ධ වී තිබේ. අප්‍රේල් 01 වැනිදා සිරියාවේ ඩමස්කස් අගනුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස, ඉරානය ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරන ලදී. ඉරානය සෘජුවම ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙයයි. ඉරාකයේ, ඉරානයේ සහය ලැබෙන හමුදා කණ්ඩායම් , යේමනයේ හූති සහ ලෙබනනයේ හිස්බුල්ලා යන සියල්ලෝම එක්ව මේ ප්‍රහාර වලට සහය දක්වා තිබේ. 1979 ඉස්ලාමීය විප්ලවය තෙක් ඉරානය හා ඊශ්‍රායලය මිත්‍රයන් ලෙස කටයුතු කළහ. එහෙත් ඉස්ලාමීය විප්ලවයෙන් පසු සියල්ල වෙනස් විය. ඊශ්‍රායලයේ පැවැත්මට ඇති අයිතිය, ඉරානය හඳුනා නොගන්නා අතර එය මුලින් උපුටා දැමීමට උත්සාහ කරයි. ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අල් කොමෙනි ඊශ්‍රායලය හඳුන්වනු ලබන්නේ “පිළිකා ගෙඩියක්” ලෙසයි. එය “සැකයකින් තොරව මුලිනුපුටා දමා විනාශ කළ යුතු එකක් බව, ඔහු කිහිපවිටක්ම පවසා තිබේ.

සිරියාවේ ඩැමස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයට එල්ලවූ ප්‍රහාරය, ඉරානය සසල කර තිබිණි. එම ප්‍රහාරයෙන් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ විදේශීය ශාඛාව වන කුඩ්ස් බළකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියකු වන බි්‍රගේඩියර් ජෙනරල් මොහොමඩ් රීසා සහේඩි ඇතුළු 13 දෙනකු මරණයට පත්විය. ඔහු ලෙබනනයේ ෂියා සන්නද්ධ කණ්ඩායම වන හිස්බුල්ලා සංවිධානය සන්නද්ධ කිරීම සඳහා වූ ඉරාන මෙහෙයුමේ ප්‍රධාන චරිතයක් විය. මේ නිසාම ඉරානයට පලියක් ගැනීම අත්‍යවශ්‍ය විය. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මිසයිල ඇතුළු ආයුධ සහ උපකරණ, සිරියාව හරහා හිස්බුල්ලා සංවිධානය වෙත සැපයේ. මෙම බෙදාහැරීම් නැවැත්වීමට මෙන්ම, ඉරානය සිරියාවේ සිය හමුදා බලය ශක්තිමත් කිරීම වැළැක්වීමට ද ඊශ්‍රායලය උත්සාහ කරයි. සෙනසුරාදා ප්‍රහාර ගැන ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගලාන්ට් පැවසුවේ ‘මේ නිසා ඉතා සුළු හානියක් සිදුවී ඇති බවයි’. නමුත් ‘සිදුවීම තවම අවසන් වී නැති බවත්’ ඊශ්‍රායලය ‘අවදියෙන් සිටිය යුතු බවත්’ පවසා තිබිණි. ඉරාන මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර 99% ක ප්‍රමාණයක් වෙඩි තබා බිම හෙළුෑ බව ද ඔහු පවසා ඇත. ඉරාන ප්‍රහාර මාලාවත් සමග ඊශ්‍රායලය පුරා සයිරන් නාද ක්‍රියාත්මක වූ අතර, ජෙරුසලමට ඉහළින් විශාල පිපිරුම් හඬක් ඇසී තිබුණේ, ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති නගරයට ඉහළින් එල්ල වන මිසයිල ප්‍රතිප්‍රහාර එල්ල කර බිම හෙළන පසුබිමක් තුළයි.

ඉරානයට පෙරළා පහර දෙනවාද?

ඇත්තෙන්ම ඊශ්‍රායලය සහ ඉරානය වසර ගණනාවක් පුරා ඡායාත්මක යුද්ධයක නිරතව සිටි අතර ඔවුන් වගකීම භාර ගැනීමකින් තොරව එකිනෙකාගේ දේපළවලට පහර දෙමින් සිටි බව රහසක් නොවේ. නමුත් සෙනසුරාදා එම යුද්ධය එළිපිටම ඇවිළී තිබිණි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායලයට, පලස්තීන හමාස් කණ්ඩායම විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරුව ආරම්භ වූ ගාසා තීරයේ ක්‍රියාත්මක වත්මන් යුද්ධය අතරතුර ඉරාන – ඊශ්‍රායල ප්‍රහාර සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ඉරානයට පෙරළා පහර දෙනවාද?

සෙනසුරාදා රාත්‍රියේ ජෙරුසලමේදී, ගුවන් ප්‍රහාර සයිරන් 01:45 ට සක්‍රීය විය. ඊශ්‍රායල හමුදාව විසින් ප්‍රකාශයට පත් කරන ලද සිතියමක, මුළු රටම රතු තිත් වලින් වැසී ඇති බව පෙන්නුම් කරන අතර, එය පහර වැදීමේ අවදානමක් ඇති ප්‍රදේශ සහ නිවැසියන්ට නවාතැන් ගන්නා ලෙස ඉල්ලා සිටි ස්ථාන සංකේතවත් කරයි. දකුණු ඊශ්‍රායලයේ හමුදා කඳවුරකට සුළු හානි සිදුවී ඇති අතර, ඊශ්‍රායල හමුදාව පැවසුවේ, ආරක්ෂක වළල්ල හරහා ගිය මිසයිල ප්‍රහාරයකින් හත් හැවිරිදි දැරියක බරපතළ තුවාල ලබා ඇති බව ය. යුක්‍රේන යුද්ධයේදී ඉරානය රුසියාවට ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබාදී ඇති අතර එම ඩ්‍රෝන මේ ප්‍රහාර සදහාත් යොදාගෙන තිබේ. කවරක් නමුත් ලෝකයේ වඩාත්ම දියුණු ගුවන් හමුදාවක් ඊශ්‍රායලයට ඇත. උපායමාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ වාර්තාවකට අනුව, ඊශ්‍රායලය සතුව F-15, F-16 සහ නවීනතම F-35 ජෙට් යානා ඇතුළුව අවම වශයෙන් ජෙට් යානා බළඇණි 14ක් ඇත. මේ නිසා අවශ්‍ය නම් ඉරානයට ඕනෑම ප්‍රහාරයක් එල්ල කළ හැක. නමුත් ඉරානය සමග යුද්ධයක පැටළීමට ඇමෙරිකාවට අවශ්‍ය නැත.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment