රාවණ සහ රාමායන මංපෙත!

350

කෘත, ද්වාපර, නේත්‍රා සහ කලි (වතඅ්මන කලි යුගයයි) යන යුගවලින් නේත්‍රා යුගයේ ආරම්භයේ ජීවත් වූවකු ලෙස රාවණ රජු හැඳින්වේ. හෙළ අසුර අධිරාජ්‍යයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන්නේ මහා රාවණ යුගයයි. දසිස් රාවණ ලෙස රාමායනයේද, රවුළු රාවණ ලෙස සිංහල සාහිත්‍ය ග්‍රන්ථවලද, රණබා ලෙස යක්ෂ ගෝත්‍රික වරිගපූර්ණිකාවේ ද මහා රාවණයන් හැඳින්වේ.

ඉන්දු – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් සමඟින් ශ්‍රී රාමායන් ට්‍රල්ස් (ශ්‍රී රාමායන මංපෙත) ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම පසුගියදා කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී සිදු විය. “ශ්‍රී රාමායන් මංපෙත” වන්දනා චාරිකා ව්‍යාපෘතිය මඟින් රාමායන වීර කාව්‍යයේ සඳහන් වන ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක් හින්දු භක්තිකයන්ගේ වන්දනාව සහ සංචාරය සඳහා ප්‍රචලිත කිරීම සිදු කෙරෙන අතර අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් පිළිබඳ උනන්දුවක් දක්වන මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීම එහි අරමුණ බව ප්‍රකාශ කර තිබේ. මෙම සිද්ධස්ථානවල සංචාරය කිරීමට අවස්ථාව ලබාදීමට අමතරව, මෙම ඓතිහාසික සිද්ධස්ථාන හා බැඳුණු පැරණි අධ්‍යාත්මික සිදුවීම් කෘත්‍රිම බුද්ධිය (AI), Augmented reality සහ Virtual reality වැනි අති නවීන තාක්ෂණය ඔස්සේ සජීවීකරණයට ලක්කර පෙන්වීම හරහා මෙම සංචාරයෙහි නිරතවන්නන් හට නවමු අත්දැකීමක් ලබා දීමට සැලසුම් කර ඇත. මෙම වන්දනා චාරිකා ව්‍යාපෘතිය සඳහා මන්නාරම් ද්‍රෝණියේ පිහිටි ආදම්ගේ පාලමේ සිට නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි සීතාඑළිය දක්වා රාමායන වීර කාව්‍යයේ සඳහන් සෑම ස්ථානයක්ම තෝරාගෙන ඇත. ලංකාවට වැඩියෙන් පැමිණෙන්නේ ඉන්දීය සංචාරකයන් බව අමතුවෙන් කිවයුතු නැත. නමුත් ඉන්දීය සංචාරකයන් වෙනුවෙන් අපි අපේ ඉතිහාසය පාවා දිය යුතුද? ශ්‍රී රාමායන මංපෙත හරහා රාවණ ඉතිහාසය බිලිදිය යුතුද? මෙය අඛණ්ඩභාරත් ව්‍යාපෘතියේ තවත් එක් කොටසක්ද? නමුත් ලංකා දූපත රාමට බිලිදිය යුතු නැත. මේ රාමායන මංපෙත අතිශය භයානක බව නම් සටහන් කළ යුතුය. ඇත්තෙන්ම අපට රාමාගෙන් වැඩක් නැත. එසේම තවත් දේවාල ඉදිකිරීම හරහා සිදුවන්නේ ඉන්දියානු සංස්කෘතික ආක්‍රමණයකි. බ්‍රාහ්මණ ආධිපත්‍ය පැතිරවීමකි.

ඉන්දියාවේ අයෝධ්‍යයා හි සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන භාණ්ඩාගාරික ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් ස්වාමිතුමාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී රාමායන මංපෙත සංවිධානය කෙරෙන අතර ඒ සඳහා ඩොලර් මිලියන 50ක් වැය කරන බව සඳහන් කර තිබේ. ඇත්තෙන්ම අයෝධ්‍යයා හි ශ්‍රී රාම පූජා නම් කෝවිල ඉදිකිරීම මෝදි ආණ්ඩුව විසින් ඉන්දියාව විසින් දියත් කර ඇති හින්දු ජාතිකවාදී ව්‍යාපෘතියේ කොටසකි. එම කෝවිල ඉදිකර ඇත්තේ 1992 වසරේ හින්දු අන්තවාදීන් විසින් කඩා දැමූ මෝගල් යුගයට අයත් බව සැලකෙන බාබ්රි මස්ජිඩ් පල්ලිය තිබූ භූමියේයි. මෝදී විසින්

ශ්‍රී රාම කෝවිල ඉදිකිරීම ඔහුගේ හින්දු ජාතිවාදී ව්‍යාපෘතියේ ප්‍රධාන සංධිස්ථානයක් ලෙස සැළකේ. කෙසේ වෙතත් දැන් ඉන්දියාව ලංකාවද එම තම ජාතිකවාදී ව්‍යාපෘතිය සඳහා ඈඳා ගනිමින් සිටියි. ලංකාවෙත් රාම මන්දිර ඉදිකිරීම ඉන්දියාව ලංකාව මත මුදාහරිමින් සිටින ආර්ථික ආධිපත්‍යයේ කොටසක් බවට සැක නැත. එය මෙරට පුරවැසියන් අවබෝධකර ගෙන තිබේද? ලංකාවේ ඉතිහාසය රාමායන ඉතිහාසය නම් නොවේ. එය සිංහල බෞද්ධ ඉතිහාසයකි.

ඩොලර් මිලියන 217ක පිරිවැයකින් ඉදිකෙරුණු සුවිසල් රාම දෙවොල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතින් විවෘත කරනු ලැබූවේ පසුගිය ජනවාරි 22 වැනිදාය. තෙවන වරටත් අගමැති වීමේ බලාපොරොත්තුවෙන් සිටින භාරතීය ජනතා පක්ෂ නායකයා සිය මැතිවරණ ව්‍යාපාරය සැබවින්ම ආරම්භ කරන ලද්දේ මේ හින්දු දෙවොල විවෘත කිරීමෙන් පසුවය. කොන්ග්‍රස් පක්ෂයේ නායකයෝ ඇතුළු විපක්ෂයේ නායකයන් මේ සමාරම්භක උත්සවය සඳහා සහභාගි නොවුනේ මෙය කෙලින්ම දේශපාලන වැඩක් බව පවසමිනි. අගමැති මෝදි පවසන්නේ නව මන්දිරය “රට එක්සත් කරන” බව ය. මෙම නව රාම මන්දිරය සුවිසල් ය. අක්කර 70ක සංකීර්ණයක අක්කර 7.2ක් පුරා විහිදෙන, රෝස වැලිගල්වලින් ආවරණය වී ඇති කළුගල් අත්තිවාරමක් මත පිහිටා තිබෙන තෙමහල් ගොඩනැඟිල්ල, උස් කුලුනුවලින් සමන්විත වන අතර වර්ග අඩි 70,000ක් පුරා පැතිරෙන උසස් තත්ත්වයේ සුදු කිරිගරුඬ පොළොවකින් ද සමන්විත ය. මේ ඉදිකිරීම් නිසා ලොව ප්‍රකට අයෝධ්‍යා නගරය ‘හින්දු වතිකානය’ බවට පරිවර්තනය වෙමින් පවතී. එය ජාතිකවාදී හින්දු මතයේ ජයග්‍රහණයකි. ගංගා නම් නදියේ ගංගාවක් වන සර්යු ගංගා ඉවුරේ පිහිටි නිසංසල වන්දනා නගරයක් වන අයෝධ්‍යාව ඩොලර් බිලියන ගණනක් වැය කර සුපිරි නගරයක් බවට පත්කර ඇත්තේද වඩා හොඳින් හින්දු බලය පෙන්වීම සඳහාය. “අපට අවශ්‍ය වන්නේ ලෝකයේ ලස්සනම නගරය නිර්මාණය කිරීමට යි,” අයෝධ්‍යාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ගෞරව් දයාල් පවසන්නේ මේ නිසාය. දැන් ඉන්දීය බලධාරීන්ට අවශ්‍ය වන්නේ ලංකාවෙත් තවත් රාම මන්දිර ගොඩනඟන්නටද? එහෙත් ඉන්දියාවේ රාම මන්දිරය ඉදිකර නිමවන විට ලංකාවේ රාවණ මන්දිරය ඉදිකරන්නේ කවදාද යන්න ප්‍රශ්න කළ යුතුය, සමහරු මෙයට සිනාසිය හැකිය. එහෙත් අප රාවණ රජු වෙනුවෙන් මන්දිරයක් ඉදිකළ යුතුය. එය සීගිරියේ හෝ අන් කවර ස්ථානයක ඉදිකළත් කම් නැත. රාමට අභියෝග කළ හෙළ නරයා අප සිහිකළ යුතුමය. රාවණ මන්දිරය යම් දවසක ඉදිවුවහොත් එය ඉන්දීය සංචාරකයන්ගේ වඩා හොඳ ආකර්ෂණීය ගමනාන්තයක් වනු ඇත. මන්ද හින්දි කතා නොකරන දකුණු ඉන්දීය වැසියන්ට රාවණ වීරයෙකි. වායු පුරාණයේ රාවණා රජුගේ ආයු කාලය පිළිබඳ සඳහන් වෙයි. එහි සඳහන් පරිදි රාවණා ඝාතනය කෙරුණේ 24 වැනි ත්‍රෙත යුගයේදීය. රාම, රාවණා ඝාතනය කරන විට රාමගේ වයස අවුරුදු 39 යැයි සඳහන් වේ. ලක්වැසියනට රාවණ මන්දිරය ඉදිකිරීමට ශුද්ධ අයිතියක් ඇත. ස්වාමි ගෝවින්ද් දේව් ඊනියා රාම මන්දිර අපට වැඩක් නැත.

“ශ්‍රී රාමායන් මංපෙත” හි න්‍යායාචාර්ය වරයා වනුයේ ද ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් හින්දු පූජකවරයාම ය. ඔහු මෙරටට පැමිණ මෙලෙස අදහස් දක්වා තිබිණි.

“ශ්‍රී ලංකාව රාවණාගේ කියා ජනතාව පවසනවා, ඒත්, ශ්‍රී ලංකාවේ සැබෑ වීරයා විභීෂණ මිසක් රාවණ නෙවෙයි කියන එක හොඳට මතක තියාගන්න. මම මේක හැම තිස්සෙම කියනවා. ශ්‍රී ලංකාව ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලන්න විභීෂණ රාම දෙවියන් ළඟට ගිහින් ශ්‍රී ලංකාව බේරා ගත්තා. ඉන්දියාවේ කිසිදා නොමැකෙන අට දෙනෙක් ගැන විශ්වාසයක් තියනවා. විභීෂණත් ඉන් එක්කෙනෙක්. ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි කියන්නේ සම සිතුම් පැතුම් තියන ජනතාවක් ඉන්න රටවල්. මේ රටවල් දෙක ආරක්ෂා කරලා දෙන්න කියලා මම හනුමාන් දෙවියන්ගෙනුයි භගවාන් ශ්‍රී රාම් ගෙනුයි ඉල්ලනවා”

කෘත, ද්වාපර, නේත්‍රා සහ කලි (වත්මන කලි යුගයයි) යන යුගවලින් නේත්‍රා යුගයේ ආරම්භයේ ජීවත් වූවකු ලෙස රාවණ රජු හැඳින්වේ. හෙළ අසුර අධිරාජ්‍යයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන්නේ මහා රාවණ යුගයයි. දසිස් රාවණ ලෙස රාමායනයේද, රවුළු රාවණ ලෙස සිංහල සාහිත්‍ය ග්‍රන්ථවලද, රණබා ලෙස යක්ෂ ගෝත්‍රික වරිගපූර්ණිකාවේ ද මහා රාවණයන් හැඳින්වේ. මව්පිය උභය පාර්ශ්වයෙන්ම සෘෂිවරුන්ට හා මුනිවරුන්ට තුන්වරක් ජාතක වූද, දශ ඥානයකින් යුතුව බුද්ධියෙන් බැබළෙන්නාවූ ද රාවණ ලංකා පුරයේ පාලක තනතුරට සුදුසු විය. එබැවින් ඥාති සොහොයුරු කුවේර නෙරපා හැර ලංකාපුරය තමා අතට ගැනීමට රාවණ කටයුතු කළේය. “ලොව පසිඳු රාවණ – මහ ගුණවතෙකි මහබලවතෙකි – සක්දෙව් රජුටවත් පරදවන්නට නොහැකි වූවෙකි” යනුවෙන් කියමනක්ද වේ. මහා රාවණා සතුව, ගුවනින් ගමන් කළ හැකි යානයක් තිබූ බව, වාල්මිකී පවා පිළිගනී. ඉන්දීය විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයකු වූ නාගේෂ්වරම් රායි ප්‍රකාශ කර ඇත්තේ, රාවණා රජුට විවිධ මාදිලියේ ගුවන් යානා වර්ග විසි හතරක් තිබූ බවය. රාවණ රජු ගිනි තබන ඉන්දියාවෙන්ම මේ තොරතුරු සොයාගෙන තිබීම විශේෂයකි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment