‘බූරු මූණා’ පොලිසියෙන් පැන්නූ චීවරධාරීහු දෙදෙනා මාට්ටු

306

දරුණු මිනිස් ඝාතකයකු බව කියන රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ට කටුනායක ගුවන්තොටුපළ පොලිසියෙන් පැනයෑමට ආධාර අනුබල දුන් බව කියන චීවරධාරීන් දෙදෙනා ඊයේ (27 වැනිදා) කුරුණෑගල හෙට්ටිපොළ ප්‍රදේශයේ විහාරස්ථානයකදී බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මිනිස් ඝාතන සිද්ධීන් රැසක පාතාල වෙඩික්කරුවකු ලෙස කටයුතු කර තිබෙන පලාගිය රවිඳු සංඛ ද සිල්වා නමැත්තා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් ඩුබායි රාජ්‍යයට පලා යෑමට කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියදී පෙරේදා (26 වැනිදා) ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපළ පොලිසියට භාර දී තිබිණි. ඔහු පොලිස් අත්අඩංගුවේ සිටියදී චීවරධාරීන් දෙදෙනා ඔහු බැලීමට පොලිසියට පැමිණ ඇති අතර ඔහු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් තිබුණේ ඉන් පසුවය.

මෙරට මත්කුඩු පාතාලයේ ප්‍රබලයකු වන දැනට විදේශයකට පැන ගොස් සිටින රත්ගම විදුරගේ ප්‍රධාන වෙඩික්කරුවකු වන සැකකරු රවිඳු වරුණ රංග නමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකසා ඩුබායි රාජ්‍යයට පලා යෑමට උත්සාහ කර තිබුණු බව උසස් පොලිස් නිලධරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් චීවරධාරීන් දෙදෙනා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාර දීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පියවර ගෙන ඇත. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්. එල්. පී. එම්. අබේසේකර සහ පොලිස් අධිකාරී බී. ඩබ්. ජී. චන්දන ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුමිත් ජයසිංහ, පොලිස් පරීක්‍ෂක හේමන්ත, ප්‍රසන්න කුමාර, චමින්ද, ලලන්ත, අනිල් යන නිලධාරීහු සැකකාර චීවරධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සහභාගි වූහ.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment