බෝට්ටුවෙන් ඕස්‌ට්‍රේලියාවට යෑමට තැත්කළ පිරිසක් මාට්ටු 21 දෙනා අතර කාන්තාවන් 4 ක්

402

ආගමන විගමන පනත උල්ලංගනය කරමින් බෝට්ටු මඟින් නීති විරෝධීව විදෙස් රටවලට සංක්‍රමණය වීමට තැත්කළ කාන්තාවන් සිව් දෙනකු ඇතුළු සැකකරුවන් 21 දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මඩකලපුව නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් ලබා දුන් තොරතුරකට අනුව සැකකරුවන් කොටුකර ගෙන තිබේ.

මොවුන් මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් වසමේ ධර්මපුරම් සහ පුදුකුඩුඉරිප්පු මුහුදු වෙරළ ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගත් බව එම බලකාය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 සහ 46 අතර වයස් කාණ්ඩවල පසුවන යාපනය, කිලිනොච්චිය, කිරාන්කුලම්, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මොවුන් සන්තකයේ තිබී අධි බලැති එන්ජින් ධාරිතාවකින් යුත් බෝට්ටු දෙකක්, ජීවිත ආරක්ෂක කබා නමයක්, භූමිතෙල් ලීටර් 135ක්, පෙට්‍රල් ලීටර් 30ක් සහ වියළි ආහාර ද්‍රව්‍ය එම බලකාය භාරයට ගෙන තිබේ.

මෙම නීති විරෝධී සංක්‍රමණය සඳහා එක් අයකුගෙන් ලක්ෂ 15 ත් 20 ත් අතර මුදලක් අය කර ගෙන ඇති බවත්, බෝට්ටු මඟින් ගොස් ගැඹුරු මුහුදේ නවතා ඇති බහුදින යාත්‍රාවන්ට ඇතුළු වී මැලේසියාව හරහා ජාත්‍යන්තර මුහුදු සීමාවන් පසුකර ඕස්‌ට්‍රේලියාව දක්වා ගමන් කිරීමට සූදානම්ව ඇති බව හෙළි වී ඇතැයි එම බලකාය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ප්‍රභාත් විතාන සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment