හිරේ යන අයට රිමාන්ඩ් හිලව්වක්: නීති සංශෝධන පාර්ලිමේන්තුවට

488

නඩු භාණ්ඩ ලෙස එන කුඩු මසකට වරක් විනාශ කරන්නත් නීති

යම් තැනැත්තෙකු චෝදනාවකට අධිකරණයකින් වැරදිකරුවකු බවට පත්කරන තෙක් බන්ධනාගාරයේ ගත කරන කාලය ඔහුට තීන්දුවෙන් ලැබෙන සිර දඬුවම් කාලයෙන් හිලව් කිරීමට අදාළ නීති සංශෝධනයට පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) අනුමැතිය හිමිවිණි.

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරමින් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ප්‍රධානී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා විසින් ඊයේ ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අදාළ සංශෝධන පනත් කෙටුම්පතට විපක්ෂයේද පුර්ණ සහයෝගය හිමිවූ අතර අදාළ නීති සංශෝධනය මගින් සිරකරුවන්ට හිමිවන සහනය දැනටත් සිරගතවී සිටින්නන්ට ලබාදීමටද කටයුතු කරන බවත් ඊට නව පනතක් ඉදිරියේදී ගෙන ඒමට කටයුතු කරන බවත් අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව යම් වරදක් කළ තැනැත්තෙකුට හිමිවන දඬුවම් කාලය වසර 10ක් නම් දඬුවම් පමුණුවීමට පෙර ඔහු වසර 05ක් බන්ධනාගාරගතව සිටියේ නම් එම තැනැත්තාට එම ගත කළ කාලය දඬුවමෙන් අඩුවන බව අධිකරණ ඇමැතිවරයා උදාහරණයක් ගෙන එමින් එහිදී පැවැසීය.

මෙම සංශෝධනය, කාලාන්තරයක් තිස්සේ සිරගතවූවන්ට සිදුවූ අසාධාරණයක් නිවැරදි කිරීමක් බවත් නීතියට මානුෂීය මුහුණුවරක් ලබාදීමට ක්‍රියා කළ යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය. එම බලතල මහාධිකරණයට, මහෙස්ත්‍රාත් අධිකරණයට සහ අභියාචනාධිකරණයට ලබාදෙන බවත් පැවසූ ඒ මහතා එහිදී අවසන් තීන්දුවේදී බරපතළ දඬුවම් ඇතිව සිරදඬුවම් ලබා දුනහොත් එම වැරදිකරුගේ වරදේ ස්වභාවය සහ වැරදිකරුගේ අතීතය දෙස බලා එම සහනය ලබා නොදීමේ අභිමතය විනිසුරු වෙත අදාළ සංශෝධනය මගින් පවරා ඇතැයිද ඇමැතිවරයා පැවැසීය.

මේ අතර මත්කුඩු, අබිං, අයිස්, ගංජා වැනි විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවලදී ඒවා නඩු භාණ්ඩ වශයෙන් දීර්ඝ කාලයක් ගබඩාවන්හි තබා නොගෙන මසකට වතාවක් ලෙස ඒවා විනාශ කිරීමට කටයුතු කිරීමට අවශ්‍ය නීතිද අධිකරණ ඇමැතිවරයා විසින් සංශෝධනයට ලක්කර ඇත.

ඒ අනුව පරිසරයට බලපෑමක් ඇති නොවන පරිදි මහජනතාව ගැවසෙන ස්ථානවලින් බැහැර ප්‍රදේශයක් වන වනාතවිල්ලුව හිදී විනාශ කරන බවත් ඊට රුපියල් මිලියන 18ක වියදමින් මිලට ගැනුණු යන්ත්‍රයක් උපයෝගී කරගන්නා බවත් විජයදාස රජපක්‍ෂ මහතා කීය. එම කටයුතු ලබන මස සිට ආරම්භ කරන බවත්, එහිදී ප්‍රථමයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් විනාශ කරන බවත් කී ඇමැතිවරයා ඒ ආකාරයට අධිකරණයේ නියෝග පරිදි තක්සේරු වාර්තාවක් ලබා එම කටයුත්ත සිදුකරන බවත් කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment