අපි ගැන කවුරුවත් හොයලා බලුවේ නෑ… පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ සභාපති

133

‘පාසල් දරුවන් ආරක්‍ෂිතව පාසල් කරා රැගෙන යන පාසල් වෑන් රථ රියැදුරන් ගැන රජය කිසිම අවධානයක් යොමු කළේ නැහැ. කිසිම සහනාධාරයක් දුන්නෙත් නැහැ. මේ තත්ත්වය තුළ පාසල් වෑන් රථ රියැදුරන්, සහයකයන් හා පාලිකාවන් 50,000 කට වැඩි පිරිසක් කොවිඞ් එක්ක අන්ත අසරණ වෙලා…’ යැයි සමස්ත ලංකා අන්තර් දිස්ති‍්‍රක් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ට ඊයේ (19 දා) පැවැසීය.

කෙසේ වෙතත් ලබන 21 දා පාසල් ආරම්භ කරන දිනයේදී පාසල් දරුවන් පාසල් වෙත ප‍්‍රවාහනය කිරීමට සූදානමින් සිටින බවද හෙතෙම කීය.

මේ වන විටත් පාසල් වෑන් රථ, රියැදුරන්, සහයකයන් හා පාලිකාවන් සියලූදෙනා කොවිඞ් එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් කතා කළ හෙතම මෙසේද කියා සිටියේය.

අපේ සමහර සාමාජිකයන් තමන්ගේ පාසල් වෑන් රථයේ, පාසල් බස් රථයේ ලීසිං ගෙවාගන්න බැරිව ඒවා විකුණලා. තවත් අය පාසල් වෑන් රථ රස්සාව අතහැරලා ගිහින් යාපනයේ ටිපර් ලොරි රථ එළවනවා. අනිත් එක වෑන් රථයේ, බස් රථයේ ටයර්, බැටරි, අමතර කොටස් ඔක්කොම අවුල් වෙලා. අවුරුදු 2 ක් තිස්සේ පාසල් වෑන් රථය, බස් රථය ගෙවල්වලම තිබිලා බැටරි අකි‍්‍රය වෙලා. එන්ජින් ඔයිල් ගාණ වැඩියි. 21 වැනිදා පාසල් විවෘත කරන කොට කොච්චර පාසල් වෑන් රථ, පාසල් බස් රථ ප‍්‍රමාණයක් එළියට ඒවිද කියන්න බැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා දරුවන්ට හොඳ ප‍්‍රවාහන සේවාවක් ලබාදෙන්න.

සෞඛ්‍ය උපදෙස් අනුව දරුවෝ පාසලට රුගෙන යෑම, නැවත නිවෙස් වෙත රැගෙන ඒම සිදුකරනවා. දරුවෝ වැඩි පිරිසක් ප‍්‍රවාහනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සෞඛ්‍ය නීති රීතිවලට ගරු කරමින් ඒ කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකොන්න

advertistmentadvertistment
advertistmentadvertistment