මොරගහහේනදී පොලිස් වෙඩි කෑ දෙදෙනාට පෙර වැරදි රැසක්

363

පොලිසිය කියයි

මොරගහහේන පොලිස් වසමේ බොරකැටිය මංසන්ධිය අසල මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අණ නොතකා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකට ඊයේ (23දා) අලුයම සිදුකළ වෙඩි තැබීමකින් එහි ගමන් කළ අපරාධ කිහිපයකට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇත. පොලිසියට වෙඩි තැබූ බව කියන ගිනි අවිය ද සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මත්තේගොඩ පදිංචිකරුවකු වන ඉමේෂ් ධනුෂ්ක දර්ශන (36) සහ තණමල්විල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සුරාජ් ප්‍රබෝධ ආදිහෙට්ටි නමැත්තන්ය.

දොම්පේ දෙස සිට පැමිණි ත්‍රිරෝද රථයකට මොරගහහේන පොලිසියේ නිලධාරීන් විසින් නැවැත්වීමට සංඥා කළත් අණ නොතකා රිය ධාවනය කර ඇත. පලායන ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන් අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

මොරගහහේන පොලිස් වසමේ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හට මෙම පණිවුඩය ලැබීමෙන් පසු පලායමින් තිබූ ත්‍රිරෝද රථය නතර කරන ලෙස සංඥා කර ඇතත් එම අවස්ථාවේදී ත්‍රිරෝද රථය අණ නොතකා පලායෑම හේතුවෙන් එම නිලධාරීන් විසින් ත්‍රිරෝද රථය ලුහුබැඳ ගොස් තිබේ. එහිදී ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇත.

ලුහුබැඳ පැමිණි පොලිස් ජීප් රථය ද ත්‍රිරෝද රථය ආසන්නයට පැමිණ නවත්වනවාත් සමග ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයකු ජීප් රථය දෙසට වෙඩිතැබීමක් සිදුකළ බව පොලිසිය පවසයි. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ද ත්‍රිරෝද රථය දෙසට වෙඩි තැබීමක් සිදුකර තිබේ. එහිදී ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන් හොරණ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව සිටි පොලිසිය කියයි.

මියගිය 36 හැවිරිදි ධනුෂ්ක දර්ශන සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනයේදී 2010 සිට 2023 දක්වා කහතුඩුව හා මත්තේගොඩ පොලිස් වසම්වල අවස්ථා කිහිපයකදී ගෙවල් බිඳ දේපළ සොරකම් කිරීම් කර ඇති බවත්, ඊට අදාළව අධිකරණවල නඩු ඇති බවත් අනාවරණය වී තිබේ. මොහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බවට ලේඛනගත වී සිටින බවත් ඔහු යුද හමුදාවෙන් පලාගිය සෙබළකු බවත් හෙළි කරගෙන තිබේ.

මොහු හෙරොයින් සහ ගංජා ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම පිළිබඳ මිරිහාන, මත්තේගොඩ හා මොරගහහේන යන පොලිස් වසම්වලදී අත්අඩංගුවට පත්වූ අයකු බවට ද හෙළිකර ගෙන තිබේ.

පොලිස් වෙඩි පහරින් මියගිය 42 හැවිරිදි තණමල්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා බණ්ඩාරනායකපුර, මත්තේගොඩ යන ප්‍රදේශවල තාවකාලිකව පදිංචිකරුවකු බවත් ඔහු සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේදී අයිස් හා ගංජා ළඟ තබාගැනීම පිළිබඳව පිළියන්දල, තලංගම හා තණමල්විල යන පොලිස් වසම්වල 2017 වර්ෂයේ සිට අත්අඩංගුවට පත්වූ අයකු බවත් හෙළිකර ගෙන තිබේ.

2023 අගෝස්තු 04 දින කඳාන පොලිස් වසමේ ව්‍යාපාරිකයකුගේ නිවසට වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇත්තේ ද මෙම පුද්ගලයා බවට තොරතුරු ලැබී තිබෙන බවද පොලිසිය කියයි. මොහු ඒ සම්බන්ධයෙන් 2024 පෙබරවාරි මස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතව සිට මාර්තු 18 වැනිදා ඇපමත පැමිණි අයකු බවද පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා 2002 දෙසැම්බර් 26 දින ගිනි අවියක් සමග කහතුඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරදකරු වී ඇති බවද පොලිසිය කියයි.

සැකකරුවන් වෙඩි තැබීම සඳහා භාවිතා කළ පිස්තෝලය සහ ත්‍රිරෝද රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා, කඩුවෙල – සුගත් ප්‍රේමතිලක, මතුගම – අනුර ජයසේකර සහ ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment