මාධ්‍ය මර්දන පනතට එරෙහිව පෝස්ට් එකක් දමා නව සටනක් ආරම්භ කරනවා – ජාජබ නායක අනුර කුමාර දිසානායක

110

සමාජ මාධ්‍ය මර්දනය කිරීමේ පනත ආණ්ඩුව සම්මත කළහොත් ඊට එරෙහි සියලු දෙනා සමග එක්ව එකම වෙලාවක ඊට විරෝධය පාන පෝස්ට් එකක් දමා නව මාදිලියේ සටනක් ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉකුත් (30)දා පැවති ‘අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය’ වැඩසටහන අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒමහතා මෙසේද කීවේය.

පොළොන්නරුවේ ගැමියා, ආසියාවේ ලොකුම මොළේ, වැඩකරන විරුවා වගේ විශේෂීකරණවලින් පෙනී සිටි පුද්ගලයන් බලය ගත් පසු මොකද වුණේ? තනි පුද්ගලයන්ට වර්තමාන ලෝකයේ කිසිදු කටයුත්තක් කරන්න බැහැ. වර්තමාන ලෝකයේ ජයග්‍රහණ තිබෙන්නේ සාමූහිකත්වය මත. ජාතික ජන බලවේගය කියන්නේ මේ රටේ සියලු‍ හැකියාවන්, සියලු‍ දැනුම, කාර්යක්ෂමතාවය, එක්තැන් කර මෙහෙය වන එකම දේශපාලන ව්‍යාපාරයයි. ජාතික ජන බලවේගය කෙරෙහි මේ රටේ පුරවැසියන් විශ්වාසය තැබිය යුතු වන්නේ එහි පවතින සාමූහික ක්‍රියාදාමය නිසයි.

දේශපාලන වේදිකාවේ යුද ජයග්‍රහණ වෙන්දේසියේ විකුණූ කාලයක් තිබුණා. පළාත් සභා මැතිවරණය කඩින් කඩ තබමින් බලය තහවුරු කර ගැනීමට යුද්ධය පාවිච්චි කළා. ඒ සෑම පළාත් සභා මැතිවරණකදීම හමුදාව නියෝජනය කරන නිලධාරීන් කිහිප දෙනෙක් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කළා. ඔවුන්ගේ දූෂිතභාවය,නාස්තිකාරිත්වය, ත්‍රාඩ දේශපාලනය, ආවරණය කර ගැනීමේ පලිහක් ලෙස හමුදා සොල්දාදුවන් පාවිච්චි කළා. දේශපාලන වේදිකාවේ හමුදා සොල්දාදුවන් තොරොම්බල් කරමින් වෙන්දේසි කළා. ඒ විතරක් නොවෙයි, හමුදාවේ යම් පුද්ගලයන් ඔවුන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යොදා ගත්තා. දේශපාලන වේදිකාවේ, පෞද්ගලික අවශ්‍යතා මතත්, තොරොම්බල් කළා. පාස්කු ප්‍රහාරය

පසුගිය ජනාධිපතිවරණය හා සම්බන්ධ වී විශාල සාකච්ඡාවක් ගොඩනැගී තිබෙනවා. පාස්කු ප්‍රහාරය දක්වා පැමිණි ගමන් මග විමසා බැලු‍වහොත් හෙළි වන්නේ යුද්ධයෙන් පසු නැවත බෙදීමක් අපේක්ෂා නොකළ, සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සමගිය ගොඩනැගීම ඔබේ අපේක්ෂාව බවට පත්වී තිබුණා.

නැගෙනහිර ප්‍රදේශය බාරව සිටි ආඥාපතිවරයා අසීරුවෙන් දෙමළ භාෂාව ඉගෙන ගැනීමෙන් පෙන්වන්නේ නැවත බෙදීමක් නොවෙයි. ජාතික සමගියයි. ඔබගේ අපේක්ෂාව ජාතියක සමගිය වුවත් පාලකයාගේ අපේක්ෂාව කවදාවත් ජාතික සමගිය වී තිබුණේ නැහැ.

එදා ජනතාව නොවෙයි අද ඉන්නේ. අපි යන යන තැන දහස් ගණන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් අප වටා එකතු වී සිටිනවා. ජනතාව අලු‍ත් දේශපාලනයක් අපේක්ෂා කරනවා. ඔබසියලු‍දෙනාත් අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය අබමල් රොණකින් හෝ බිඳවැටීමට ඉඩනොදෙන බවට සහතික වෙනවා. රටක ශක්තිමත්භාවය රඳා පවතින්නේ ආර්ථිකයේ ශක්තිමත්භාවය මතයි. ජාතික ජන බලවේගයේ අපේක්ෂාව පොහොසත් රටක් ගොඩනඟා පොහොසත් ජනතාවක් බිහිකිරීමයි. ඒ වෙනුවෙන් නිවැරදි විද්‍යාත්මක වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගය සකස් කර තිබෙනවා.

සමාජ මාධ්‍ය මර්දනය කිරීමට ආණ්ඩුව පනත් ගෙන එනවා. අලු‍ත් තොරතුරු, සත්‍යය, සමාජයට ගමන් කිරීම වැළැක්වීම සඳහා පාලකයන් දරන මේ ප්‍රයත්නය අනිවාර්යයෙන්ම පරාජයට පත්කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් ගත හැකි සියලු‍ ක්‍රියාමාර්ග අපි ගන්නවා. එය සම්මත කර ගතහොත් අපි ඔක්කෝම එක වෙලාවක එකම පොස්ට් එකක් දමා මර්දනයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදයත්, පුරවැසියන්ගේ නිදහසත් වෙනුවෙන් සටන් කරනවා.

නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න

වසර ගණනාවක් රට පාලනය කළ දෙගොල්ලන්ගෙන්ම අපි හැමදෙනාම පීඩාවට පත්ව සිටින නිසා, ඔවුන්ව පළවා හැරීමට අප සියලු‍ දෙනාටම අවශ්‍යයි. මනුෂ්‍යත්වය, සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය පෙරටුකොට ගත් ජාතික ජන බලවේගයේ රජයක් පිහිටුවන්න අපි සියලු‍ දෙනාම එකතු වී ඉන්නවා. මේ වන විට අපි සියලු‍දෙනාටම කුසට අහරක් අහිමි කර සමහර මධ්‍යම පංතියේ පවුල්වල අය පවා වේල් දෙකකට සීමාකර වැඩියෙන් නිදාගැනීමට පෙළඹී තිබෙනවා. අපිට මාලිගා අවශ්‍ය නැතත් හිසට සෙවණක් තියෙන්න ඕනෑ. අපේ දරු පැටවුන් එක්ක මනුෂ්‍යයෙක් ලෙස ජීවත් වෙන්න එවැනි නිවහනක් හදා ගැනීමේ අවස්ථාව අපි කීදෙනෙකුට හිමි වී තිබෙනවාද?

එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා

රටේ දේශපාලනය සහ දේශපාලනඥයා රටට උදාකර දී තිබෙන්නේ සාරධර්මවලින් පිරිහුණු බිඳ වැටුණු රටක්. මිනීමැරුම්, මංකොල්ලකෑම්, රිය අනතුරුවලින් පිරුණු රටක් තිබෙන්නේ. තමන්ගේ මූලික අවශ්‍යතා ඉටුකර ගත නොහැකි වුණාම සමාජයේ මිනිසුන් විවිධ ක්‍රියාවලට පෙළඹෙනවා. දේශපාලනඥයන්ගේ ක්‍රියාවලින් සමාජ සාරධර්ම සහ වටිනාකම් ආරක්ෂා කරන බව පෙන්වා තිබෙනවාද? ඔවුන් ප්‍රායෝගිකව පෙන්නුම් කරන්නේ බලය, ධනය, ලබාගැනීම වෙනුවෙන් වටිනා සාරධර්ම විනාශ කර දමලා.

නැගෙනහිර පළාතේ හිටපු ආඥාපති මේජර් ජනරාල් අරුණ ජයසේකර

මේ රටට නව නායකත්වයක් ගන්න තිබුණේ අපේ දූ දරුවෝ. ඒ දරුවන්ට රටක් නැති කළේ දැන් සිටින දූෂිත දේශපාලන කල්ලියක් විසින්. රට තුළ සියලු‍ අවිනිශ්චිත තත්වයන්

ගොඩනැඟු‍වේ දූෂිත දේශපාලන පොරපිටියක් ගොඩනැගූ පිරිස් විසින්. උගතුන් බුද්ධිමතුන් රට හැරදා යන පසුබිමක මහඟු‍ මෙහෙවරක් ඉටුකිරීමේ තීරණාත්මක අවස්ථාවක් එළඹී තිබෙනවා. මෙය අවසන් අවස්ථාවයි.
ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment