නාවලපිටිය ඇවිළෙයි – පොහොට්ටුවට විරෝධය පෑ 15කට ඇප

349

සජබ සංවිධායකත් ඒ අතර හන්දියක් ගාණේ තණකොළ සහ පුන්නක්කු තියලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16 වැනිදා) නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබෙන අතරතුරේ රජයට එරෙහිව නාවලපිටිය – කොත්මලේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් ඇතුළු 15 දෙනා නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විජේතිලක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප මත සියලුදෙනා මුදාහරින ලෙසට නියම කළේය.

නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කළුගම්පිටිය මහතා විරෝධතාකරුවන් පිරිස මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.පොහොට්ටුවේ මෙම රැස්වීම නාවලපිටිය නගරයේ ඇති මහින්දානන්ද පදනම ගොඩනැගිල්ලේ පැවැත්වීමට කටයුතු කරන ලදී. සමගි ජනබලවේගයේ පිරිසක් හා සමාජ ක්‍රියාකාරීන් මෙම විරෝධතාව සඳහා එක්වෙමින් ‘රට වනසපු හොර නඩය නාවලපිටියට එන්න එපා’ යැයි ගම්මානවල පෝස්ටර් ගසා කළුකොඩි ඔසවා තිබිණ. මෙම රැස්වීමට සහභාගි වන ජනතාව සඳහා සෑම ගමකම හන්දියක් හන්දියක් අසලම තණකොළ හා පුන්නක්කුද තබා තිබූ අතර පොලිසිය මඟින් ඒවා ඉවත් කිරීමට පියවර ගෙන තිබිණ. මෙම විරෝධතා හේතුවෙන් නගරය වෙත යුද හමුදාව හා පොලිසිය කැඳවා තිබූ අතර නාවලපිටිය රෝහල අසල ඇති සමගි ජනබලවේගය කාර්යාලය අසල පොලිස් නිලධාරීන් දෙසීයක් පමණ යොදවා තිබිණි. මුහුණු පොත හරහා සංවිධානය වූ ක්‍රියාකාරීන් මෙම විරෝධතාව නාවලපිටිය බස්නැවතුම්පළේ පැවැත්වීමට කටයුතු කර තිබිණි.

එම පිරිස උද්ඝෝෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල අසල සිට නාවලපිටිය නගරයට පැමිණෙන අතරතුර නාවලපිටිය පොලිසියේ නිලධාරීන් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කරගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණය සිදු කිරීම සඳහා පොලිසියෙන් අවසර ලබාගෙන නොමැති බව පැවසුවද එය නොතකා එම පිරිස උද්ඝෝෂණය සිදු කිරීමට නගරයට පිවිසීමට උත්සාහ කළහ. එම ස්ථානයට පැමිණි පොලිසිය පොලිස් ආඥා පනත අනුව නීති විරෝධී ලෙස පවත්වන මෙම විරෝධතාව නවතා දමා විසිරී යන ලෙස සහකාර පොලිස් අධිකාරිවරයකු මගින් පැවසීමත් සමග විරෝධතාකරුවන් හා පොලිසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හටගත් අතර එහිදී මෙම පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්වීම හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදී ඊයේ පැවැත්වූ අතර, එම රැස්වීමට ආධාරකරුවෝ විශාල පිරිසක් පැමිණ සිටියහ. දෙපිරිස අතර ගැටුමක් ඇති නොවීමට කටයුතු කරමින් සමගි ජන බලවේගයේ පිරිස නාවලපිටිය නගරයට පිවිසීම හෝ උද්ඝෝෂණය කිරීම වැළැක්වීමට පොලිස් නිලධාරීන් විසින් කටයුතු යොදා තිබිණි.

අත්අඩංගුවට ගත් සමගි ජනබලවේග සංවිධායක ඇතුළු පිරිස නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පවසයි.

මේ හේතුවෙන් අමතර පොලිස් බලඇණි සහ පොලිස් කැරලි මර්දන ඒකකය ද නාවලපිටිය නගරයට කැඳවා ඊයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.

නුවරඑළිය – නාලක රත්නායක, ගම්පොළ – සුරංග දිල්හාන්, මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment