වෘත්තීය සමිතිවලට හෙටක් ඇත්තේ සියලු‍ දෙනා එක්වූ නව්‍යකරණයක් තුළයි

74

ඇමැති ජීවන් තොණ්ඩමන් දකුණු ආසියා වෘත්තීය සමිති සම්මන්ත්‍රණයේදී කියයි

වෘත්තීය සමිති සඳහා ඉදිරි ගමනක් ඇත්තේ නව්‍යකරණය සහ සියලු‍ දෙනා එක්කරගත් ක්‍රියාමාර්ග තුළ පමණක් යැයි ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමැති හා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කළේය.

එබැවින් නව්‍යතාවයන් වැළඳ ගන්නා මෙන් දකුණු ආසියානු වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කළ හෙතෙම ගෝලිය තලයේදී කම්කරු අයිතීන් ශක්තිමත් කිරීමට දේශසීමා රහිතව එක්ව කටයුතු කළ යුතු බවත් කීවේය.

ඇමැතිවරයා ඊයේ (01දා) එම අදහස් පළ කළේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දකුණු ආසියා වෘතීය සමිති සම්මන්ත්‍රණයේදී විශේෂ දේශනයක් පවත්වමිණි. මෙම දේශනයේදී වැඩබිම් තුළ වෘත්තීය සමිති මුහුණදෙන අභියෝගයන් සහ නව තත්ත්වයන් සම්බන්ධයෙන් හෙතෙම අදහස් දැක්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තොණ්ඩමන් මහතා මෙසේද සඳහන් කළේය.

කම්කරු අයිතීන්, සාධාරණ වැටුප් සහ ආරක්ෂිත සේවා කොන්දේසි වෙනුවෙන් ඉතිහාසයේ සිට පෙනී සිටි වෘත්තීය සමිතිවල අතීත කාර්යභාරය ඉතා ඉහළයි. කෙසේ වෙතත් අද ශ්‍රම බලකාය මුහුණ දෙන අභියෝග පෙර නොවූ විරූ ඒවා නෙවෙයි. ස්වයංක්‍රීයකරණය, කෘතිම බුද්ධිය, නව ආර්ථික ප්‍රවණතා මගින් අද ශ්‍රමබලකාය මෙහෙයවමින් පවතිනවා. එබැවින් වෘත්තීය සමිතිවලට පෙර සේ මෙන් නොව නව අනුවර්තනයන් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. කම්කරුවන් සවිබල

ගැන්වීමේ දී තාක්ෂණයේ බලය අනිවාර්යෙන්ම උපයෝගී කරගත යුතුයි.

කලාපයේ විවිධ ශ්‍රම බලකායන් ඵලදායි ලෙස නියෝජනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ සඳහා තමයි නව්‍යකරණය සහ විවිධත්වය ඇතුළත් විය යුත්තේ. වෘත්තීය සමිති ඔවුන්ගේ පසුබිම හෝ රැකියාව කුමක් වුවත් සියලු‍ම කම්කරුවන් කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් ඔවුන් පෙනී සිටිය යුතුයි.

ගෝලීය තලයේ දී කම්කරුවන්ගේ අයිතීන් සඳහා වඩා ශක්තිමත් ඒකාබද්ධ හඬක් නිර්මාණය කිරීමට දේශ සීමා රහිතව වෘත්තිය සමිති එක්ව කටයුතු කළ යුතුයි. ඒ සඳහා එක්වන මෙන් සියලු‍ වෘත්තීය සමිතිවලින් මා ඉල්ලා සිටිනවා.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment