මේ වසරේදී යළි විදුලි බිල වැඩි කරන්න කිසිම නීතිමය හැකියාවක් නෑ

185

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

මේ වසරේ දී යළි විදුලි බිල වැඩි කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නැතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය. ඔහු මෙසේ ද පැවසීය.

විදුලිබල පනතේ 5 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති රජයේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශයට අනුව විදුලි බිල් ඉහළ දැමිය හැක්කේ වසරකට දෙවතාවක් පමණක් බවයි. මේ වසරේ විදුලි ගාස්තු සංශෝධන දෙකක් මේ වන විටත් කර අවසන්. මීළඟ ගාස්තු සංශෝධනය සිදු කළ හැක්කේ ලබන වසරේදී පමණයි.

දැනට බලපවත්වන ප්‍රතිපත්ති මාර්ගෝපදේශයට අනුව මේ වසරේ දී තෙවන විදුලි ගාස්තු සංශෝධනයක් කළ නොහැකියි. විදුලිබල ඇමැතිවරයා හා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විදුලිබල පනත සහ රජයේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරනවා.

යෝජිත අනීතික විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව වහා හකුළා ගන්නැයි අපි ඔවුන්ට බල කරනවා. එසේ නොවුණහොත් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා නීතිය හමුවට යනවා.

මේ වසරේ ලංවිමට රුපියල් බිලියන 31ක පාඩුවක් සිදුවන බව ලංවිම කියනවා. මේ පාඩුවට ප්‍රධාන හේතුවක් වශයෙන් ඔවුන්ම පෙන්වා දෙන්නේ අධික මිලට හදිසි විදුලිය මිලදී ගැනීමයි. හදිසි විදුලිය මිලදී ගැනීම විදුලිබල අමාත්‍යවරයාගේ ආශිර්වාදය යටතේයි සිදු කෙරෙන්නෙ. අඩු වියදම් සහිත පුනර්ජනනීය බලගාර සහ වහල මත සවිකරන සූර්ය බල පද්ධති ව්‍යාපෘති ඉතා මන්දගාමීවයි සිදුකෙරෙන්නේ. මෙය විදුලිබල අමාත්‍යාංශයේ කූඨ උපක්‍රමයක්. එසේනම් ලංවිමට පාඩු කර ඇත්තේ වෙන කිසිවකු නොව විදුලිබල අමාත්‍යවරයා ප්‍රමුඛ බලධාරීන් හා නිලධාරීන් පිරිසක්. එසේනම් මූල්‍ය රෙගුලාසි 119 අනුව රජයට පාඩු කළ අයගෙන් එම මුදල අධිභාරයක් ලෙස අයකර ගත හැකියි. එහි වගකීම පැවරෙන්නේ විගණකාධිපතිට හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයාටයි. මේ නිලධාරීන් දෙදෙනා තමන්ට පැවරී ඇති වගකීම වහා ඉටු කළ යුතු ය. නැතිනම් ඔවුන්ගෙන් මෙම අධිභාරය අය කරගත යුතු බව අපි කියනවා.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment