ආරච්චිකට්ටුවම හඬවා මව සහ දරු දෙදෙනා ඊයේ අවසන් ගමන් යති

735

හලාවත – ආරච්චිකට්ටුව මයියාව දුම්රිය හරස් මාර්ගයේ ඉකුත් 19 දා සවස සිදුවූ දුම්රිය අනතුරෙන් මියගිය එකම පවුලේ මව හා දරුවන් දෙදෙනාගේ දේහයන් හලාවත පිහිටි පෞද්ගලික මල් ශාලාවක සිට ආරච්චිකට්ටුව අඩිප්පල, ගඩොල්කැලේ නිවස වෙත ඉකුත් 20 වැනිදා රාත්‍රියේ රැගෙන ඒම සිදුවිය.

ආරච්චිකට්ටුවම හඬවා මව සහ දරු දෙදෙනා ඊයේ අවසන් ගමන් යති

අනතුරෙන් දියණියගේ හා පුතාගේ සිරුර හඳුනාගත නොහැකි ලෙස බරපතළ ලෙස හානි සිදු ව ඇති හෙයින් එම දේහයන් මුද්‍රා තබා ඇති අතර මවගේ දේහය විවෘතව තැබිණි. කොළඹ සිට පුත්තලම බලා එදින සවස 3.30ට පමණ ගමන් ගත් දුම්රියේ ගැටීමෙන් එකම පවුලේ මව, පුතා සහ දියණිය එම ස්ථානයේදීම මරණයට පත් විය. ශාලිකා දිල්රුක්ෂි නමැති 37 හැවිරිදි තිදරු මවත් ඇයගේ 9 හැවිරිදි සසන් මන්තුල ජයලත් පුතු සහ 7 හැවිරිදි සිතුම්සා සාවින්දි ජයලත් දියණිය මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය දරුවන් දෙදෙනා හැලඹවටවන ජාතික පාසලේ ඉගෙනුම ලැබුවේය. දේහයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් එම නිවසට පැමිණ සිටියහ. අඩිප්පල, ගඩොල්කැලේ නිවසේ දේහයන් තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ආරච්චිකට්ටුව කැලේගම පොදු සුසාන භූමියේදී විශාල පිරිසකගේ සෝ සුසුම් මැද සිදුවෙද්දී එකම කැදැල්ලක පණමෙන් එකට සිටි තම බිරිඳ හා දරු දෙදෙනා අනපේක්ෂිතව මෙලොවින් සමුගැනීමේ වේදනාව දරාගත නොහැකිව දරුවන්ගේ පියා දැඩි කම්පනයකට පත්ව සිටිනු දැක්ම කාගේත් හදකම්පා කරවූ දසුනක් විය.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment