රතුපස්වල නඩු තීන්දුව 17දා

61

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණයක් කර විසිර යමින් සිටි වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශවාසීන් තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, තවත් 45 දෙනකුට තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනා 94ක් යටතේ යුද හමුදා බ්‍රිගේඩියර්වරයකු ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව නිකුත් කිරීම ලබන 17 වැනිදා දක්වා කල්තැබීමට ගම්පහ විශේෂ මහාධිකරණය ඊයේ (30දා) නියම කළේය.

එම නඩුවේ තීන්දුව ඊයේ (30දා) නිකුත් කිරීමට නියමිතව තිබිණි.

2013.08.01 වැනිදා රතුපස්වල ප්‍රදේශයේ පැවැති විරෝධතාවයක් නිමකර යමින් සිටියදී එල්ල වූ වෙඩි ප්‍රහාරවලට ගොදුරු වූ කහවිට ආරච්චිලාගේ දොන් අකිල දිනේෂ්, ශම්ලි රම්සාන් පෙරේරා හා පරණගම රාහුල්දුරගෙදර නිලන්ත පුෂ්පකුමාර යන තිදෙනා මියගොස් තිබිණි.

අනුර දේශප්‍රිය ගුණවර්ධන යන බි්‍රගේඩියර්වරයාට හා ඩිංගිරි අරුණගේ සිරිසේන, ජයසුන්දන්දර මුදියන්සේලාගේ තිලකරත්න හා ලලිත් ග්‍රේ යන යුද හමුදා සාමාජිකයන් තිදෙනාට එරෙහිව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් 2019.09.11 වැනිදා එම නඩුව පවරා තිබිණි.

චූදිතයන් විසින් සිදුකර ඇති වරදවල බරපතළ ස්වභාවය, එම වැරදි සිදුකිරීමට අදාළව ඉදිරිපත් වී ඇති අවස්ථානුගත කරුණු මෙන්ම ඒ සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් හටගත් ආන්දෝලනාත්මක තත්ත්වය යනාදි සුවිශේෂී කරුණු සලකා බැලූ දප්පුල ද ලිවේරා මහතා විසින් කරන ලද ඉල්ලීම සලකා බැලූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා එම නඩුව විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කර තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment