සමාජ සාධාරණත්වයට කැපවූ නායකයා රණසිංහ ප්‍රේමදාස

179

“ඕනෑම සමාජයක දුප්පත්කම ඉවසීම අපරාධයක් ලෙස මම සලකමි”

අදට යෙදෙන 31 වැනි ගුණ සැමැරුම නිමිත්තෙනි

රණසිංහ ප්‍රේමදාසයන්ගේ මේ වදන් තුළින් එළි දකින්නේ ඔහුගේ දැක්මයි. ඔහු දේශපාලන බලය හඹා ගියේ ඒ දැක්ම ක්‍රියාවට නඟන්නටය. ඔහුගේ දේශපාලනයට අරමුණක් තිබිණි. අප සමාජයේ නැති බැරි මිනිසුන් වෙනුවෙන් ඔහුට සිහිනයක් තිබිණි. ඒ සඳහාවූ ගමනේදී හමුවන තහංචි, අභියෝග, බාධා පරදවා ඉදිරියට යන්නට නිර්භීතකම ඔහුට තිබිණ.

සාන්ත බස්තියම වැනි එදා මුඩුක්කු නිවාස බහුලව තිබූ පසුබිමක හැදුණු වැඩුණු ඔහුට, ඒ ජීවිතවලට අභිමානයෙන් ජීවත්විය හැකි හෙට දවසක් ලබාදීමේ සිහිනය සහ අධිෂ්ඨානය තිබිණ. ඔහු වෙතින් අප එදා දුටුවේ, සාම්ප්‍රදායික දේශපාලනයේ රඟපෑම් නොවේ. අප දුටුවේ ඒ ජීවිතවලට අභිමානයක් ලබාදෙන්නට ඔහු තුළ තිබූ සිහිනය සහ අධිෂ්ඨානයයි.

ධනය, බලය ඉදිරියේ කොන්ද නොනමා, නිර්භීත ලෙසින් තීන්දු තීරණ ගන්නට ඔහුට ශක්තිය තිබුණේ, පැහැදිලි දැක්මක පිහිටා කටයුතු කරන නායකයකු වූ හෙයිනි.

රණසිංහ ප්‍රේමදාසයන් තුළ ශ්‍රී ලාංකික සමාජයේ අනාගතය උදෙසා තිබූ සිහිනය සිහිපත් කරන විට මගේ සිහියට නැඟෙනුයේ, අමෙරිකානු සමාජය තුළ නිදහස, සමානාත්මතාව සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ මාටින් ලූතර් කිං ගේ “මට සිහිනයක් ඇත” (I have A Dream) යන සුප්‍රසිද්ධ කතාවයි. 1963දී වොෂිංටනයේ ලින්කන් ස්මාරකය ඉදිරිපිට දෙලක්‍ෂ පනස් දහසක් පමණ වූ නිදහස සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටි ක්‍රියාකාරිකයන් අමතා ඔහු කළ දේශනයේ ඇතැම් කොටස් පිළිබඳව මගේ මතකය අවදි වේ.

සමාජ සාධාරණත්වයට කැපවූ නායකයා රණසිංහ ප්‍රේමදාස
මියයාමට මොහොතකට පෙර

“මම සිහින දකිනවා, අසාධාරණත්වයේත්, මර්දනයේත්, උණුසුමෙන් පීඩා විඳින මිසිසිපි ප්‍රානත්ය නිදහසේත්, සාධාරණත්වයේත් ක්‍ෂේම භූමියක් වන දවස ගැන”

“මම සිහින දකිනවා, සමාජයේ උස් තැන් පහත් කරන්නටත්, පහත් තැන් උස් කරන්නටත්, රළු තැන් මොළොක් කරන්නටත් අපට පුළුවන් වන දිනය ගැන”

“මම සිහින දකිනවා, ජෝර්ජියාවේ වහලුන්ගේ දරුවන් සහ වහල් හිමියන්ගේ දරුවන් සහෝදරත්වයේ මේසය වටේ එක්ව හිඳගනිමින්, සමානයන් ලෙසින් කතා බහ කරන දිනය ගැන”

“මම සිහින දකිනවා, මගේ පුංචි දරුවන් හතර දෙනා සම්බන්ධව, ඔවුන්ගේ සමේ වර්ණයෙන් නොව, ඔවුන්ගේ හැසිරීම් මත තීන්දු ගන්නා වූ සමාජයක පැවැත්ම පවතින දිනය ගැන.”

සමාජ සාධාරණත්වයට කැපවූ නායකයා රණසිංහ ප්‍රේමදාස

සැබැවින්ම මාටින් ලූතර් කිං ගේ සිහිනයේත්, රණසිංහ ප්‍රේමදාසයන්ගේ සිහිනයේත් පදනම සහ මූලධර්ම දෙකක් නොව එකක්ම විය. ඔහුගේ ජනපතිවරණ ව්‍යාපාරයේ සියලු රැස්වීම්වලදී මාටින් ලූතර් කිං ගේ “සිහිනය” මම උපුටා දැක්වූයෙමි. රණසිංහ ප්‍රේමදාසයන් ජනපති ධුරයට පත්කර ගැන්ම තුළින්, අපේ සමාජය පිළිබඳව අප තුළ තිබූ එබඳුම වූ සිහිනයන් සැබෑ කර ගැන්ම අපේ අරමුණ විය.

පොල්අතු පැලක, මැටි නිවසක, ලෑලි ගෙදරක, මුඩුක්කු නිවසක වැස්සට නිසි ආවරණයක් අහිමිව, හරි හැටි නින්දක් නොලබන දරු පවුල්වල ජීවිත ගැන දැඩි ලෙස සංවේදී නායකයකු විය.

පුංචි නවාතැනක ඉඩකඩ නොමැතිවූ නිසා මව්පියන්, දරුවන් සහ පවුල් කිහිපයක් මාරුවෙන් මාරුවට, වේලාව බෙදා හදා ගනිමින් නිදාගන්නා වූ දරු පවුල්වල ජීවිත ගැන, ප්‍රමුඛ අවධානය යොමුකළ නායකයා විය.

පූට්ටු ගෙවල්, අත්කම් නිවාස, නිවාස ලක්ෂය, නිවාස දස ලක්ෂය, ජාත්‍යන්තර නිවාස වසර ඔහු හඳුන්වා දුන්නේ ඒ කඳුළු නිවන්නටය.

“ජන සවිය” මේ පොළොවේ ජනිත වූ සංකල්පයකි. එය ක්‍රියාවට නැඟුණේ තුන්වේල කන්නට අවකාශ නැති අප සමාජයේ දරු පවුල් වෙනුවෙනි.

“සෙවණ මාපිය කැපකරු ක්‍රමය” ක්‍රියාවට නැඟුණේ මව්පියන් අහිමි අසරණ දරුවන්ගේ ජීවිත ඉරණම වෙනස් කරන්නටය.

“පාසල් දිවා ආහාර වැඩපිළිවෙළ” ඇරඹුණේ, උදයට හරි කෑම වේලක් නොමැතිව පාසලට පියමන් කරන දරුවන් වෙනුවෙනි.

“පාසල් නිල ඇඳුම් වැඩපිළිවෙළ” ක්‍රියාවට නැඟුණේ, දහස් ගණනින් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් හැර යන දරුවන්ට පිහිට වන්නටය.

“මාවතේ අපි” වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟුණේ, මහමඟ සිඟමන් යදින පවුල්වල ජීවිතවලට අභිමානයක් ලබාදෙමින් ඔවුන් නඟාසිටුවන්නටය.

“උණබම්බු ගේට්ටු වැඩපිළිවෙළ” ක්‍රියාවට නැඟුණේ, දුම්රිය හරස් මාර්ගයන්හිදී දිනපතා රට පුරා අවදානමට ලක්වන මිනිස් ජීවිතවලට රැකවරණය ලබාදෙන්නටය.

“ජනපති ජංගම සේවා” රට පුරා ගෙන ගියේ, දේශපාලන නායකයන්ගේ නිසි අවධානය ලබාගත නොහැකි ජනතාව වෙනුවෙන්, එම දේශපාලන නායකයන් ජනතාවගේ දෙපා ළඟට ගෙනයෑම පිණිසය.

“කැපකරු ගම්මාන” වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුණේ, රජයේ ප්‍රතිපාදනවලට අමතරව දානපතීන්ගේ සහාය ද දිළිඳු ජනතාව නඟාසිටුවීමේ වැඩපිළිවෙලට ලබාගැන්ම සඳහාය.

ප්‍රශ්නයකට “නැහැ බැහැ” කියන්නට ඔහුගේ දිව නැමුණේ නැත. පුංචි මිනිසුන්ගේ වේදනාවන්ට ඔහු සැම විටම සංවේදී විය.

“සෙවණ අරමුදල” ඔහු ඇරඹුවේ, රජයේ ප්‍රතිපාදනවලින් ඉටුකරගත නොහැකි ජනතා සේවාවන්ට මූලාශ්‍රයන් ලෙසිනි.

“ග්‍රාමෝදය මණ්ඩලය” වැඩපිළිවෙළ හඳුන්වා දෙනු ලැබුවේ, ගම් නඟාසිටුවීම සහ ගමේ එකමුතුව අරමුණු කර ගනිමිනි.දිස්ත්‍රික්කයක් ආවරණය වන මහ ‘ගම් උදාව’ සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් ආවරණය වන ‘ප්‍රාදේශීය ගම් උදාව’ මෙන්ම විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ කර ගත් ‘සති වැඩ පිළිවෙළ’ රට පුරා ගෙන යනු ලැබීම ඒකාබද්ධ සංවර්ධනයට අරමුණු ඉටුකර ගන්නටය.

සංවර්ධනයේ ප්‍රතිලාභ වේගයෙන් ග්‍රාමීය දිළිඳු ජනතාව වෙත ගෙන යනු උදෙසා නිලධාරීන් ජනතාවට කිට්ටු කරමින්, දිසාපති ක්‍රමය වෙනුවට “ප්‍රාදේශීය ලේකම් කාර්යාල” ක්‍රමය ඇරඹුණේ, සාම්ප්‍රදායික පරිපාලන ක්‍රමවේදය විප්ලවීය වෙනසකට ගෙන යමිනි.

සාම්ප්‍රදායික සංවර්ධන ක්‍රමවේදය ද වෙනසකට ලක්කරමින් “ගම් පහළොස්දහසේ වැඩපිළිවෙළ” ආරම්භ කෙරිණි.

පළාත් පාලන මැතිවරණවලදී “තරුණ නියෝජනය සඳහා සියයට හතළිහක ප්‍රතිශතය” අනිවාර්ය කෙරෙන නීති පැණ වුණේද, තරුණ ප්‍රජාවට නිසි පිළිගැන්ම සහ පාලනයට ඔවුන්ගේ සහභාගිත්වය ලබාගැන්මේ අරමුණෙනි.

සමාජ සාධාරණත්වයට කැපවූ නායකයා රණසිංහ ප්‍රේමදාස

රණසිංහ ප්‍රේමදාසයන් ජනාධිපති ධුරයට පත්වුණේ උතුරේ සහ දකුණේ එක ලෙසින් ගිනිදැල් ඇවිළෙමින් තිබූ පසුබිමකය.

“මට භාරකර ඇත්තේ දෙකොන ඇවිළෙන විලක්කුවක් බඳු රටක්” ඔහුගේ වචන මගේ සිහියට නැඟේ.

තුණ්ඩු කෑල්ලකින් පාසල්, රජයේ කාර්යාල වැසී යයි. දේශපාලන ක්‍රියාකාරිකයන් තනතුරුවලින් ඉවත් නොවුණ හොත් ඔවුන් ඝාතනය වේ. රාජකාරියට වාර්තා කරන රජයේ සේවකයන් ඝාතනය වේ. ආරක්‍ෂක හමුදා පවුල් ද තර්ජනයට මුහුණ දෙන්නට විය. සවස 6න් පසු විදුලිය තහනම් වෙයි. වටිනා රජයේ ගොඩනැඟිලි, දේපළ ගිනිබත් වෙයි. ඡන්දය පාවිච්චි කරන්නට ගිය අය ඝාතනයට ලක්වූහ. සමහරුන්ගේ අත් කැපිණි. තවත් සමහර කාන්තාවන්ගේ හිස් මුඩු කෙරිණ. ඝාතනයට ලක්වූ අයගේ මෘත දේහයන් දණහිසට ඉහළින් ඔසවාගෙන යෑම තහනම් කෙරිණ.

මේ පසුබිම තුළ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම ගැන බලාපොරොත්තු සිඳී ගොස් තිබිණ. ප්‍රේමදාස ජනාධිපතිවරයා රට භාරගත්තේ මෙවන් භීෂණයකින් රට වෙළා ගෙන තිබූ යුගයකය.

“ජීවිතවලට හානි කරන්නට එපා. මම ලැහැස්තියි, ඔබලා සමග සාකච්ඡා කරන්නට. ඒ සඳහා ඇස් දෙක වසාගෙන ඔබ කියන ඕනෑම කැලෑවකට වුවද එන්නට මම සූදානම්.”

මෙය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉල්ලීම විය. හෘදයාංගම ආයාචනය විය. ජීවිත හානි වළක්වාගන්නට ඔහු බැගෑපත් විය. එහෙත් ඒ ආයාචනාවලට ප්‍රතිචාර නොලැබිණි. ජනාධිපති ධුරයට පත්ව, පළමු මාස පහ පුරාම සාකච්ඡාවෙන්, සම්මුතියෙන් සාමය උදාකර ගන්නට ඔහු කොතෙකුත් උත්සාහයන් දැරීය. ඒ සියලු ප්‍රයත්නයන් ව්‍යර්ථවීම තුළ, ප්‍රචණ්ඩත්වය අවසානයේදී හමුදාව විසින් මැඬලනු ලැබිණි. ජීවිත හානිවලින් තොරව, සාකච්ඡාවෙන් සාමකාමීව විසඳුමක් ලබාගන්නට අවසන් මොහොත දක්වා ඔහු ගත් උත්සාහයන් නිෂ්ඵල වීම ඔහුගේ වේදනාවට හේතු විය.

සමාජ සාධාරණත්වයට කැපවූ නායකයා රණසිංහ ප්‍රේමදාස
ජනපති ජේ.ආර්. සමග

ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන් යටත් විජිතවාදයට මෙන්ම වර්ගවාදයට ද විරුද්ධව පැහැදිලි ස්ථාවරයක සිටියේය. නොබැඳි ප්‍රතිපත්තියේ පිහිටා සිටිමින්, ජාත්‍යන්තර ප්‍රශ්නවලදී මනා අවබෝධයෙන් සහ ක්‍රියාශීලීව කටයුතු කළේය. දකුණු අප්‍රිකානු නිදහස් අරගලය පිළිබඳව මෙන්ම පලස්තීන නිදහස් අරගලය ඇතුළුව, යටත්විජිත ප්‍රතිපත්තියට සහ වර්ගවාදී වෙනස්කම්වලට එරෙහිව ඒ ඒ රටවල මර්දනයට සහ පීඩනයට ගොදුරුව සිටින ජනතාව කරන සාධාරණ අරගල සඳහා ද, ඔහු ක්‍රියාශීලීව සහයෝගය ලබාදුන්නේය. ඒ තුළින් ශ්‍රී ලංකාවේ ස්ථාවරය මධ්‍යස්ථව බලා සිටීම නොව, නොබැඳිව නිවැරදි දෙය වෙනුවෙන් ක්‍රියාශීලීවීම බව පෙන්වා දුන්නේය.

ජනපති රණසිංහ ප්‍රේමදාසයන් වෙනුවෙන් ලියැවුණු මේ සටහන, මා ප්‍රිය කරන ඔහුගේම ප්‍රකාශයකින් සමාප්ත කරනු කැමැත්තෙමි.

“ලොකු අය වඩාත් ලොකු වන්නේ, කුඩා අයට ලොකුවට උදවු කළ පමණටය. ලොකු අය කුඩා අය පාගා දැමීමට වෙර දරුවොත්, සිදුවන්නේ ලොකුකමේ කුඩා බව ඉස්මතුවීමයි.”

ඉම්තියාස් බාකීර් මාකාර්

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment