ඉතිහාසයේ සැඟව ගිය ලාංකීය කම්කරු පන්තියේ ප්‍රථම වීරයා විලියම්

166
ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීය සමිතිය සෑදීමට මඟ පැදූ මෙරට ප්‍රථම වැඩ වර්ජනය වූයේ ක්‍රි.ව. 1893 පැවති මුද්‍රණ කම්කරුවන්ගේ වැඩ වර්ජනයයි.

1893 දෙසැම්බර් 12 වැනිදා එච්.ඩබ්. කේව් සහ සමාගමේ මුද්‍රණ කම්කරුවන් 60 දෙනකු වැඩ අත්හළවෙලේ එදා කොළඹ නගරයේ තරමක ආන්දෝලනයක් ඇති විය. ඊට පසුදින ඔවුහු වෙනත් මුද්‍රණාලවල කම්කරුවන් ද 500 දෙනකු සමඟ එකතුවී ‘ලංකා මුද්‍රණ කම්කරු සංගමය‘ පිහිටු වූහ. මෙය කිසිවකු බලාපොරොත්තු නොවූ මෙන්ම කාගේත් මවිතයට හේතු වූ හදිසි සිදුවීමක් විය.

19 වන හා 20 වන සියවස්වලදී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යකඩ හස්තය මඟින් ආර්ථිකමය වශයෙන් සූරාකනු ලැබූ අතර, යටත් විජිතවාදී ආණ්ඩුවක් මඟින් දේශපාලනමය වශයෙන් පීඩිත ජනයාගේ හඬ යටපත් කරගෙන තිබිණි. එහෙත් කාර්මික විප්ලවයෙන් පසුව බි්‍රතාන්‍යයේම ගොඩනැඟුණු කම්කරු හා සමාජවාදී ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ජාතිකවාදී හා සමාජවාදී ස්වාධීන කම්කරු ව්‍යාපාර ස්ථාපිතවීමට ද බලපෑවේය. බොහෝ රටවල ප්‍රථම වරට වැඩ වර්ජනයක් කළ කම්කරු කණ්ඩායම වූවෝ මුද්‍රණ කම්කරුවෝය. ඊට හේතු වූයේ ඔවුහු පුහුණු, අකුරු උගත්, දුක් ගැනවිලි ගැන හැඟීමකින් යුතු සටන්කාමී පිරිසක් වීමයි.

දරුණුම පීඩනයට හා සූරාකෑමට බඳුන් වූ කම්කරුවන් බොහෝවිට, සියලු බලාපොරොත්තු සුන්වී, කර කියාගත හැකි අන් කිසි දෙයක් නොමැතිව කැරලි ගැසීමට පුළුවන්. එහෙත් සංවිධානගත වීමටත්, උපක්‍රම සකස් කිරීමටත්, වෘත්තීය සමිති අරගල කරගෙන යෑමටත් එවකට සමත් වූවෝ පුහුණු උගත් අකුරු දන්නා කම්කරුවෝය. මේ අර්ථයෙන් 19 වැනි සියවසේ ශ්‍රී ලංකාවේ මුද්‍රණ කම්කරුවෝ නාගරික කම්කරු පන්තියේ පෙරමුණු බළ ඇණිය වූහ.

පළමු වැඩ වර්ජනය:-

ප්‍රථම වැදගත් වැඩ වර්ජනය ඇරඹුණේ කොළඹ ප්‍රමුඛ මුද්‍රණ හා ප්‍රකාශන සමාගමක් වූ එච්.ඩබ්ලිව්. කේව් සමාගමය. කේව් සමාගමේ කම්කරුවන්ට පඩි ගෙවන ලද්දේ සෑම මසකම 10 වැනිදාය. නමුත් 1893 සැප්තැම්බර් මාසයේ පඩි ගෙවීම ප්‍රමාද විය.

මින් වන්නට හැම මාසයේම 6 වැනිදාට අප්‍රමාදව තම පඩි ගෙවිය යුතු යැයි කම්කරුවෝ 12 වැනිදා ඒකාබද්ධ ඉල්ලීමක් කළහ. එදවස කලාකරුවකු හා සංගීතඥයකු වූ නමුත් තම සේවකයන්ගේ අමාරුකම් තේරුම් නොගත් බාර්ලෝව් මුවර් නමැති සමාගමේ කළමනාකරු මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මේ අවස්ථාවේ පාලකයන්ගේ පැත්ත ගත් ටයිම්ස් ඔෆ් සිලෝන් පත්‍රය මෙසේ ප්‍රකාශ කළේය. “කම්කරුවන්ගේ ඉල්ලීම වැදගැම්මකට නැති විහිළුවකි. පුරුදු සිරිත් වෙනස් කිරීම ප්‍රතික්ෂේප කරමින් මූවර් මහතා ගත් පියවර මණාය.” එසේ ඇරඹි මුද්‍රණ කම්කරුවන් 60 දෙනාගේ වර්ජනය සැප්තැම්බර් 12 සිට 18 වැනිදා තෙක් පැවතිණි. සටන දිගටම කරගෙන යෑමට සංවිධානාත්මක පළපුරුද්ද හා අරමුදල් නොතිබුණෙන් වැඩ වර්ජනය කෙමෙන් දුර්වල විය.

“කොන්දේසි විරහිතව යටත් වන” ලෙස කේව් සමාගමේ පාලකයෝ තරයේ කියා සිටියහ. “කලහ නායකයන්” යැයි හැඳින්වූ කම්කරුවෝ පස් දෙනෙක් සේවයෙන් පහ කරන ලදී. සෙස්සන්ට සමාව දෙනලදුව ආපසු රක්ෂාව ලැබිණි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම කම්කරු පන්ති වීරයා: විලියම්

මෙම ඓතිහාසික මුද්‍රණ කම්කරු වැඩ වර්ජනය මෙහෙයවීමට කම්කරුවන් අතරින් පැනනැඟි නායකයෝ කීපදෙනෙක් සිටියහ. අපට ඉන් එක් ප්‍රමුඛයකු වූ ‘විලියම්’ පිළිබඳව තොරතුරු ස්වල්පයක් දැනගන්නට ඇත.

මහාචාර්ය කුමාරි ජයවර්ධන විසින් රචිත ‘ශ්‍රී ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයේ කෙටි ඉතිහාසය:1893-1947’ කෘතියේ ඒ පුරෝගාමි කම්කරු නායකයා ගැන මෙසේ ලියා තිබේ.

“ඔහු කේව් සමාගමේ අවුරුදු 10ක් සේවය කළ පුහුණු කම්කරුවෙකි. රුපියල් තුනක මාසික වැටුපක් ලබමින් පංකා කඹය ඇද්ද ‘පංකා සේවකයකු’ ලෙස දිවි ඇරඹුවේය. ඉන්පසු ඔහු බඩු අහුරන්නකු විය. වැඩ වර්ජනය කළ කාලය වනවිට ඔහු ‘යන්ත්‍ර මඟින් රූල් ගසන්නකු’ ලෙස මසකට රුපියල් 17.50ක් උපයමින් සිටියේය. පිටකොටුවේ අලුත් හෙට්ටිවීදියේ විසූ ඔහු කොළඹ නගරය තුළ ජීවත් වූ හා වැඩ කළ නාගරික කම්කරු පන්තියට අයත් වූවෙකි.

1893 සැප්තැම්බර් වැටුප ගෙවීම ප්‍රමාද වූ මොහොතේ විලියම් වහාම ක්‍රියාකාරී වූයේය. ඔහු තම වැටුප ඉල්ලා ලියවිල්ලක් ඉදිරිපත් කොට කළමනාකරු හමුවට ගියේය. මේ හේතුව නිසා ඔහු “කලබල ඇති කරන්නකු” ලෙස ඉංග්‍රීසි පාලකයන් විසින් හංවඩු ගසනු ලැබිණි.

“විලියම්ට නායකයකු සතු ගුණාංග තිබූ බව ද ඔහු වැඩ වර්ජනයේ මූලික වී ක්‍රියා කළ බව ද පැහැදිලිය. වැඩ වර්ජනයෙන් පසු ‘1865 කම්කරු අණ පනත’ යටතේ විලියම්ට විරුද්ධව නඩු පවරන ලදී. දැනුම් දීමක් නොමැතිව සේවයෙන් ඉවත්වීමේ වරදට වතු කම්කරුවකුට, මෙහෙකරුවකුට හෝ කම්කරුවකුට විරුද්ධව අපරාධ නඩුවක් පැවරීමට මේ පනත යටතේ හැකි විය.

1922දී අවලංගු කරන තෙක් බල පෑ මේ මර්දනකාරී නීතිය යටතේ සේවා ගිවිසුම කඩකිරීමේ චෝදනාව යටතේ විලියම්ට විරුද්ධව නඩු පවරන ලදී. නඩුව විභාගයට ගත් විට ඔහු නඩුකාරයා ඉදිරියේ තමන් නිවැරදිකරු යැයි කීය. නීතිඥ එච්.ජේ. චාල්ස් පෙරේරා ඔහු වෙනුවෙන් පෙනී සිටියේය.

“පොලිස් උසාවියේදී ඔහුව නිදහස් කරනු ලැබීය. එහෙත් ටයිම්ස් සහ වෙනත් ප්‍රතිගාමී පුවත්පත් මේ තීන්දුව ‘අද්භූත තීන්දුවක්’ ලෙස හඳුන්වමින් විරෝධය පළ කළේය. නැවත රජයේ මැදිහත්වීමෙන් නඩුව කැඳවූ ඇපෑල් විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව වෙනස් කරන ලදී. විලියම් වැරදිකරු බව තීන්දුව දුන් ලෝරිස් විනිශ්චයකාරතුමා ඔහුට සතියක සිර දඬුවමක් නියම කළේය.”

මේ අයුරින් ලාංකීය කම්කරු පන්තියේ ප්‍රථම වීරයා වූ විලියම් අභීතව වැඩ වර්ජනයක් ඇරඹීම නිසා ද්විත්ව දඬුවමකට ගොදුරු විය. මුද්‍රණාලයේ දස අවුරුදු සේවයෙන් පසු ඔහුට තම රැකියාව අහිමි වූවා සේම සතියකට හිරේට යෑමට ද සිදුවිය.

ඉන් අනතුරුව මෙරට පැවති වැඩ වර්ජන වශයෙන් 1896 ජූලි මාසයේ පැවති කොළඹ ලොන්ඩර් සේවකයින්ගේ වැඩ වර්ජනය සහ 1906 අගෝස්තු 13-16 අතර පුද්ගලයින් 5060 දෙනකු සහභාගි වූ කොළඹ කරත්තකරුවන්ගේ මහා වැඩ වර්ජනය ඉතිහාසයට එක්විය.

සටහන:- සචිත්‍ර නේරංජන ඇල්වලගේ

advertistmentadvertistment
advertistmentadvertistment