සිරිලක පුදපෙත් ලබන කිරිඅම්මා දෙවිවරු

175

සිරිලක පුරා පුදපෙත් ලබන කිරි අම්මා දේව වන්දනාව ආදිවාසීන්ගේ නෑ යකුන් පිදීමේ වාරිත්‍රයෙන් ආරම්භව මේ වනවිට මුළු සිරිලක පුරා පැතිර පවතී. මුල් අවදියේ මෙම දේව වන්දනාව නුවර කලාවිය, ඌව, බිංතැන්න, තමන්කඩුව ප්‍රදේශවල පැවතුනි. වැදි ජනතාව සිය දරු පවුල් තුළ කුඩා දරුවන් ජීවතුන් අතර සිටියදී මියගිය කිරි මවුවරුන් මෙසේ දේවත්වයේ සලකා ඇත.

ආදිවාසීන් තුළ තමා අතර සිට මියගිය ඥාතියා තමා සහ තම දරු පවුල් වෙත බැල්ම හෙලමින් රැකබලා ගන්නේ යැයි දැඩි විශ්වාසයක් පැවතුනි. දේව පුරාණයෙහි කියවෙන ආකාරයට කිරි අම්මා දෙවිවරු පිරිසක්ම වෙති.

ඉදිගොල්ලේ කිරිඅම්මා, කුකුළපොළ කිරිඅම්මා, උානාපාන කිරිඅම්මා, වෙල්ලස්සේ කිරිඅම්මා, කොස්ගම කිරිඅම්මා, බිලිඳු කිරිඅම්මා, තොටවැව කිරිඅම්මා, මහකිරිඅම්මා, ඉදිගස්වෙල කිරිඅම්මා, පොල්ගහගම කිරිඅම්මා, කොලොන්වින්නේ කිරිඅම්මා,

ගෝනතලාවේ කිරිඅම්මා, ඉහඹේ කිරිඅම්මා, ඉනාවැල්ලේ කිරිඅම්මා, දොඹගහවෙල කිරිඅම්මා, කපුයායේ කිරිඅම්මා, මීරියබැද්දේ කිරිඅම්මා, පුෂ්පරාග කිරි අම්මා, බෝවලගෙදර කිරිඅම්මා, බාලගිරි කිරිඅම්මා, මැදගම් දෙගොඩ කිරිඅම්මා, තල්තොට කිරිඅම්මා, දඹගල්ලේ කිරි අම්මා, හඳුන්කුමාරි කිරිඅම්මා යනුවෙනි.

ආදිවාසීන් අදහනු ලබන මෙම කිරිඅම්මා දෙවිවරු අතර කුකුළාපොළ කිරිඅම්මාත් ඉදිගොල්ලේ කිරිඅම්මාත් ප්‍රධානත්වයේලා ගැනේ. මෙහි සඳහන් වන කුකුළාපොළ කිරිඅම්මා ලෙස ආදීවාසීන්ගේ ඇදහුමට ලක්ව ඇත්තේ කුවේණි යයි මතයක් පවතී. (දේව පුරාණය 202 පිටුව)

කිරිඅම්මා දෙවිවරු විශාල පිරිසක් පිළිබඳව මූලාශ්‍රවල සඳහන් වුවද විශේෂයෙන් වැදි ජනයා අතර මෙන්ම මේ වනවිට සමාජය තුළ මුල්බැසගෙන සිටින කිරිඅම්මා දෙවිවරු හත් දෙනෙකුන් පිළිබඳව පැවසේ. මීරියබැද්දේ කිරිඅම්මා, පුෂ්පරාග කිරිඅම්මා, උානාපාන කිරිඅම්මා, කොස්ගම කිරිඅම්මා ගිනිජල් දේවී කිරි අම්මා, බාලගිරි කිරිඅම්මා, බෝවල ගෙදර කිරිඅම්මා යනුවෙන් එම කිරි අම්මා දෙවිවරු හඳුන්වනු ලබති.

ආදිවාසීන් කුකුළාපොල කිරිඅම්මා ලෙස අදහනු ලබන කුවේණිය පුරාණයේ ප්‍රබල ජනනායකයකු ලෙස සිටියේ යැයි පැවසෙන රාවණාගේ පරපුරෙන් පැවත එන්නියක් බවත් මැය වැදි ජනයාගේ ඥාතියකු බවත් මියයෑමෙන් පසුව කුකුළාපොල කිරිඅම්මා ලෙස ඇදහූ බවත් කියවේ. කුවේණිය යක්‍ෂගෝත්‍රික කාන්තාවක් වූවා මෙන්ම මැය රාවණා පරපුරින් ශේෂවූ ජන කණ්ඩායමකට අයත් කාන්තාවකි. කුවේණියගේ ජන්මය මාතලේ දිස්ත්‍රික්කයේ එවක ජනපදයක්ව පැවති බම්බා පුරයෙහි සිදුවූවක් බවද පැවසේ. මැය බම්බා පුරයෙහි ජන නායකයෙකුව සිටි බම්බා නම් රජකෙනෙකුන්ගේ දියණියක බවත් මැයගේ මව චන්ද්‍රාවතී බිසව බවත් පැවසේ.

කුවේණියට උපතින් පියයුරු තුනක් පිහිටි බවත් එම අස්වාභාවික පියයුර තමන් විවාහ වන සැමියාට දර්ශනය වීමෙන් මැකීයන බවත් නැකත්කරුවන් පැවසූ අතර ඇයගෙන් තමාට සහ තම ඥාති වර්ගයාට අපහාසයක් සිදුවන්නේ යැයි සිතූ බම්බා රජ තම දියණිය මරා දැමීමට සූදානම් වූ බවත් එය දැනගත් චන්ද්‍රාවතී බිසව තම සිඟිති දියණියගේ දිවිබේරා ඥාති පිරිසක් සිටි තම්මැන්නා නුවරට යවා ඇති දැඩි කරවූ බවත් පැවසේ. (කුවේණිය සහ වැදි ජනයා – නිමල් කණහැරආරච්චි. 2002/2/6 දිවයින විශේෂාංග ලිපිය)

උානාපාන නම් ආදිවාසී වර්ගයාගේ කාන්තාව උානාපාන කිරිඅම්මාය. කොස්ගම කිරිඅම්මා කොස්ගම රාළහාමි නම් ප්‍රාදේශීය ජන නායකයකුගේ බිරින්දෑ කෙනකුන් ලෙස සැලකේ. කොස්ගම රාළ මියයෑමෙන් පසුව කොස්ගම දෙවි ලෙසින් ඇදහූ බව පැවැසේ.

ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රබල මෙන්ම ජනතාව අතර ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ පත්තිනි යයි. ක්‍රි.ව. 112 -134 අනුරපුර රජ පැමිණි ගජබා රජුගේ අවධියේ

ගජබා රජු විසින් මෙරටට ගෙනඑන ලද පත්තිනි හළඹ නිසා එවක සිට පත්තිනි දේවිය ඇදහීම පැවති බව පෙනේ. සිරිලක ජනතාව තුළ කිරිඅම්මා දෙවි වන්දනාව පත්තිනිය හා සම්බන්ධව පවතී.

ජලෙනි දලෙනි සුරන් දමෙනි අඹෙනි උපන්නා
ගලෙනි කුලෙනි සළුවෙනි එක් වරෙක උපන්නා
එවෙනි සවෙනි සත්වෙනි රන් අඹෙනි උපන්නා
මෙවෙනි පතිනි තෙදිනි මෙලක්දිව බබලන්නා”

ඉහත සඳහන් පත්තිනි කෝල්මුර ගායනාවෙහි සඳහන් වන පරිදි පත්තිනිය සිය ආත්ම චාරිකාව අනුව සත් වාරයක් උපන් බව කියවේ. පත්තිනි දේවතාවිය හළඹ කුමාරි කිරිඅම්මා, හඳුන්කුමාරි කිරි අම්මා නමින් ද හඳුන්වා ඇති බව දේව පුරාණයෙහි සඳහන් වේ. ( සි.දේ.පු. 202 පිටුව)

පත්තිනි දේවතාවිය මෙසේ සත් වාරයක් උපන් බව කියවෙන අතර ඒ හේතුකරගෙන සත්පත්තිනි ලෙසින් හඳුන්වනු ලබන බවත් ඒ අනුව කිරිඅම්මාවරු හත් දෙනාද සත් පත්තිනියට ආදේශ කර ඇදහු බවත් පෙනේ.

රන් රුවලේ කිරිඅම්මා එන්නේ
මල්යහනට වැඩ දිවැස් බලන්නේ
බිලිඳුට කළ ලෙඩ ඉන් නැති වන්නේ
දළුමුර හෙප්පුව දැන් පුද ගන්නේ ”

විශේෂයෙන් ලෙඩරෝග සුවපත් කර ගැනීම පිණිසත් දරුවන් නැති අම්මලාට දරුසම්පත් ලබාගැනීම මෙන්ම දරුවන්ගේ ආරක්‍ෂාව පිණිසත් කිරිඅම්මා දෙවිවරු පුදනු ලබති.

කාන්තාවන්ගේ දරු උපත් සිදුවීම් වළක්වන්නේත් ඔවුන්ට යම් යම් අපල උපද්‍රව පමුණුවන්නේත් මහාමේරු පර්වතය දෙපළුකොට මැවුන රට යකුන් නිසායයි බැතිමත් ජනතාව තුළ විශ්වාසයක් පවතී. මෙම රට යකුන් හෙවත් රිද්දි බිසවුන් සත්දෙන ලක්බිමට සංක්‍රමණය වූ යකුන් සත් දෙනෙකුන් ලෙසද රිද්දි යාගයේදී හැඳින්වේ. මෙම රිද්දි බිසවුන් සත්දෙන මදුමල් බිසෝ, නාමල්බිසෝ, ඉද්දමල් බිසෝ, කපුරුමල් බිසෝ, සපුමල් බිසෝ, පිච්චමල් බිසෝ, වරාමල් බිසෝ යන නම්වලින් හඳුන්වයි. මෙම රිද්දි බිසවුන් වඳභාවයෙන් යුතු බවත් එම වඳභාවය ඇති කරන ලද්දේ කළුකුමාරයා විසින් බවත් රට යකුම උපත් කතාවේ කියවේ. රිද්දි බිසවුන්ට මෙම වඳභාවය දුරු කරගැනීමට කපු හේනක් වවා එම කපුවලින් නොඉඳුල් සළුවක් වියා දීපංකර බුදුන්ට කඨිනචීවර පූජාවක් සිදු කළ යුතු බවත් විල්ලෝඩි නගරයේ සිට නැව් නැගී ලක්දිවට පැමිණෙන එම රිද්දි බිසවුන් දකුණුලක වලවේ ගංතොට ආසන්නයේ

උයන්ගොඩට ගොඩබැස උයන්ගොඩ විලෙන් දියනා පිරිසිදුවී එම පෙදෙසේ හේනක් කොටා කපු වපුරා ඉන් ලද කපුවලින් නොඉඳුල් සළුවක් වියා බුදුන්ට පූජාකිරීමෙන් පසුව රිද්දි බිසවුන් සත්දෙනාට දරු සම්පත් ඇති වූ බව රිද්දි යාග පුරාවෘත්තයේ පැවැසේ.

දැනේද කිරි අම්මා වරු එනවා
දිනේ රුවට රන් කඳ දිලිසෙනවා
රනේ රුවසෙ රන් මාල දිලෙනවා
රනේ රුවසෙ නැව් හතෙන් වඩිනවා”

පත්තිනි පූජාවෙහි එන සුවිශේෂී ශාන්ති කර්මයක් වන කිරිඅම්මා දානය විශේෂයෙන් පහතරට ප්‍රදේශවල බහුලව පවතී. මෙහිදී මදුමාල පත්තිනි, ගිනි පත්තිනි, දේවාල පත්තිනි, උරමාල පත්තිනි, එරාවන පත්තිනි, සිද්ධපත්තිනි, මල්පත්තිනි යන දේව මෑණිවරු හත්දෙනා වෙනුවෙන් කිරිඅම්මාවරු සත් දෙනෙකු යොදා ගැනේ. යහගුණදහමින් යුතු නිරෝගිමත් පිංදහම් කටයුතුවල නියලෙන කිරිඅම්මාවරුන් සත් දෙනෙකුට දානය පිරිනැමීම මෙහිදී සිදුවේ.

කිරිඅම්මාවරුන් සුදු ඇඳුමින් සැරසී කිරිඅම්මා දානය පිරිනමන නිවසට හිමිදිරි පාන්දරම පැමිණ නිවසේ ඉදිරි දොරටුවෙන් ඇතුළුව සුදුපිරුවට එලා සකස් කර ඇති පැදුරු මත වාඩිවෙති. මෙහිදී මෙම දානයේ නොඉඳුල් අග්‍ර කොටස පත්තිනි මෑණියන්ට පිළිගැන්වීම චාරිත්‍රයයි. සත්පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටින කිරිඅම්මා වරු සමග නිවසේ සැවොම පන්සිල්

ගැනීමෙන් පසුව පත්තිනි දෙවියන්ට කන්නලව් කොට දානය පිදීම සිදුකරයි. අනතුරුව කිරිඅම්මාවරු සත්දෙනාට නිවැසියන් විසින් දානය පිළිගන්වනු ලැබේ. දානය

පිළිගන්නා කිරි අම්මාවරු පත්තිනි යහන් කවි ගායනා කිරීමෙන් සෙත් පැතීම සිදු කරයි.

එර්දි වෙලා උඩු ගුවනෙ වඩින්නේ
එර්දි සළුව ගෙන පවන් සලන්නේ
සුද්ධ ඇතිව දෙන දංපිළි ගන්නේ
සිද්ධපතිනි දෙවි මේ පිං ගන්නේ

මෙහිදී රුහුණු රටේ කිරිඅම්මාවරු මෙන්ම එනුග හතේ, ගාල්හතේ පට්ටිහතේ එවිල් හතේ යනුවෙන් වූ කිරිඅම්මාවරු ගැනද සඳහන් යහන්කවි ගායනා කරමින් මුල්කිරිඅම්මා ඇතුළු කිරිඅම්මාවරු විසින් එම නිවැසි අයට සෙත්පැතීම සිදුකරයි.

මෙහිදී ඇතැම් පළාත්වල පහනක් වෙනුවට පහන් තිරයක් තෙල් ගල්වා දල්වා ගනිමින් නිවැසියන්ට සෙත් පැතීම සිදුකෙරේ. අවසන කිරිඅම්මාවරු සත්දෙනා වෙත පිරිනැමූ දානය සුදුරෙදිකඩකින් ඔතා බැඳගන්නා කිරිඅම්මාවරු එයද රැගෙන නිවසේ පෑල දොරින් එළිබැස අත්වල ඇති පහන්තිර ගෙපිලමත තබා ඇති ජලබඳුනට දමා නිවා පිටව යෑම චාරිත්‍රයයි.

“නමෝ තෙදවරන් ගුරුවරන් පස්වාන් දහසකට බුදුවන්ඩ ආයු බොහෝවන්ඩ ආයුබොහෝවන්ඩ ආයුබොහෝවන්ඩ හොරමොරට හොරමොර කිව්වා හොරමොරකෝන් රුප්පෙට කෝන්රුප්පේ කිව්වා ඇලවෙළ වෙල් එළියට වෙල්එළිය කිව්වා නාරුස්සට නාරුස්සේ කිව්වා මහගලමහත්තාමිට මහත්නාමී කිව්වා හැලගෙලට හැලගෙල කිව්වා මාදේගලට මාදේගලකිව්වා මයියංගනේ හාමුදුරුවන්ට මයියංගනේ හාමුදුරුවෝ කිව්වා මහගලමහත්නිමිගේ ඉස්සෙට්ටයන්නෝ සූසැටයි පස්සෙට්ට යන්නෝ සූසැටයි බත්පෙට්ටි කාරයෝ සූසැටයි බුලත්පෙට්ටි කාරයෝ සූසැටයි අමාමුල් කාරයෝ සූසැටයි… යනුවෙන් කිරිඅම්මා දෙවිවරුන්ට සේවය කරන්නවුන් හැටහතර දෙනකුන් ගැන කිරිඅම්මා දේව කන්නලව්වේ කියවේ.

කලාභූෂණ ‘විශ්වාභිනන්දන’ සියනෑ ගෞරවකීර්ති’
සරණපාල නුවරපක්‍ෂ, පූගොඩ.
දුරකතනය 077 9139904

advertistmentadvertistment
advertistmentadvertistment