“ආනන්දය සහ ප්‍රඥාව” නමින් 70 දශකයේ ප්‍රතිභාසම්පන්න කවීන් 13 දෙනෙකුගේ කාව්‍ය රචනා පූර්ණ විචාරයකට බඳුන් කළ සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ විසින් 60 දශකයේ ප්‍රතිභාසම්පන්න කවීන් වන විමල් දිසානායක, මහගමසේකර, මඩවල එස්. රත්නායක, සරත් අමුණුගම, නන්දසේන රත්නපාල, ඩබ්ලියූ. ඒ. අබේසිංහ, සුනන්ද මහේන්ද්‍ර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, වින්ටන් කුරේ, කෝ. ආනන්ද හිමි, සෝමරත්න බාලසූරිය, මිණිවන් පී. තිලකරත්න යන කවීන් 12දෙනාගේ කාව්‍ය රචනා පිළිබඳව එබඳුම කාව්‍ය විමර්ශනයක් “සත්‍යාවලෝකන වින්දන – 60 දශකය” නමින් පළ කර ඇති අතර ගුරුකුල අත්තුංක්කන්සනයෙන් මිදී අපක්ෂපාතීව සිදු කර ඇති මෙම කාව්‍ය විමර්ශනය සිංහල කාව්‍ය කේෂ්ත්‍රයේ ප්‍රගමනයට ඉවහල්වන විශිෂ්ට විමර්ශන සංග්‍රහයක් බැව් නමෝ විත්තියෙන්ම සඳහන් කළමනාය.

මෙම විමර්ශන සංග්‍රහය ආරම්භ වන්නේ මහගමසේකර හා සරත් අමුණුගම සමග කාව්‍යකරණයට පිවිසි තරුණ කවියකු වන විමල් දිසානායක ගෙනි. වර්ෂ 1960 දී “අකල් වැස්ස” ලියා පළ කිරීමෙන් කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසි විමල් දිසානායක ප්‍රංශ සංකේතවාදයෙන් උත්තේජනය ලැබූ සිරි ගුණසිංහයන්ට සමාරම්භයේදීම නතුවූ කවියකු ලෙස හඳුන්වන කතුවර කුලතිලක කුමාරසිංහ “අකල්වැස්ස” නිසදැස් කවිය පිළිබඳව පැවති දැඩි උනන්දුවත්- සමකාලීන විඥානය ඇසුරෙන් නිපන් නොපැසුණු කවීත්වයත්, පුද්ගල සංකල්පනා රූපණය කිරීමට දැරූ ප්‍රයත්නයත් විදහා දක්වන සංග්‍රහයක් බැව් සඳහන් කර ඇත. විමල් දිසානායකයන්ගේ දෙවන කාව්‍ය සංග්‍රහය වන “කල්ප විනාසය” කාව්‍යෝචිත භාෂා මාධ්‍යයක් සකස් කර ගැනීමට ඔහු දැරූ උත්සාහය විදාරණය කරන්නකි. “කල්ප විනාසය” කාව්‍ය සංග්‍රහයෙන් වැඩි දියුණු කරගත් කවීත්වය වඩාත් මුහුකුරා ගිය අයුරු ප්‍රකට වන නිර්මාණ සංග්‍රහයක් ලෙස “නර රකුසා” දැක්විය හැකි බැව් කතුවරයා තබන සටහන මෙහි එන සදැස් හා නිසදැස් කාව්‍ය නිර්මාණ තුළින් මැනවින් පිළිඹිඹු වේ. විමල් දිසානායක “ඉන්ද්‍රචාපය” කාව්‍ය සංග්‍රහය තුළින් කාව්‍යෝචිත භාෂා මාධ්‍යයක් අරබයා සිදු කරන ලද අත්හදා බැලීම් ප්‍රකට වේ. 1974 වසරේ දී පළ වූ “රැව් පිළිරැව්” කාව්‍ය සංග්‍රහයෙහි ඇතුළත් පද්‍ය පුද්ගල අත්දැකීම් පාදක කරගත් රචනා හා සමාජය විවරණය කරන අත්දැකීම් පාදක කරගත් රචනා යනුවෙන් දෙකොටසකට බෙදා දැක්විය හැකි යැයි සඳහන් කරන කතුවර කුලතිලක කුමාරසිංහ කවියට උචිත ආකෘතියක් ගොඩනඟා ගැනීමට ගෙන ඇති උත්සාහය විදාරණය කරයි. විදේශ රටවල සිට රචනා කරන ලද පද්‍යයන්ගෙන් සුසැදි “දුරු රට සිට” කාව්‍ය සංග්‍රහය සියුම් කවීත්වය පැසුණු ජීවිතාවබෝධය හා සූක්ෂම සමාජ නිරීක්ෂණ ප්‍රකට කරන කාව්‍ය සංග්‍රහයක් ලෙසින් කතුවර කුමාරසිංහ හඳුන්වා දී ඇත. “නාගලකන්ද” විමල් දිසානායකගේ මුහුකුරා ගිය කවීත්වය හා පැසුණු ජීවන දැක්ම ප්‍රකට කරන්නකි. දිසානායක පෙරවදනෙහි සඳහන් කරන අදහසට යොමුවුව මැනවි.

සත්‍යාවලෝකන වින්දන 60 දශකයේ කවිය පිළිබඳ විශිෂ්ට විමර්ශනයක්

“මෙසේ කාව්‍ය ප්‍රත්‍යවේක්ෂණය උපචිතව කරනවිට ඒවා බොහොමයකම යටින් දිවෙන මුඛ්‍ය තේමා දෙකක් දකිමි. ඒවා නම් මරණය හා ස්මරණයයි. එම තේමා දෙක පරිපෝෂණය කරන තවත් තේමාවක් දකිමි. එනම් කාව්‍යයෙහි අස්තිත්වයය. මෙම තේමාවන්ට අනුව රචනා කර ඇති කාව්‍යයන් තුළින් මුහුකුරාගිය ජීවිතාවබෝධය, ජීවිත පරිඥානය, ගැඹුරු ජීවන දැක්ම, වැඩුණු පරිකල්පනය හා කාව්‍යෝචිත භාෂාව එකිනෙකට සංයෝග වූ විශිෂ්ට නිර්මාණ ක්‍රියාවලියක් ලෙසින් කතුවර කුලතිලක කුමාරසිංහ “නාගල කන්ද” හඳුන්වා දෙයි. “මනෝරූප දශකය සහ වෙනත් කවි” කොටස් දෙකකින් සමන්විතය. දෙවෙනි කොටසෙහි මනෝරූප පාදක කරගත් කෙටි කවි සියයක් ඇතුළත්ය. මෙහි එන මනෝරූප කවි බුද්ධියෙන් ග්‍රහණය කරගත්විට තියුණු ආස්වාදයක් ලබාගත හැක. බොහෝ කවිවල වචනාර්ථය ඉක්මවා ගිය සංකේතාර්ථයක් දක්නට ඇත.“ජයසිරිගේ සමුගැනීම” කාව්‍ය සංග්‍රහය ආඛ්‍යාන ශානරය නියෝජනය කරන කාව්‍ය සංග්‍රහයක් වූවත් එහි ඇත්තේ ධාරණාවලියකි. එකී ධාරණා ජයසිරිගේ චරිතය කේන්ද්‍ර කර රචිතය. ජයසිරි දිවි නසා ගැනීමට තුඩුදුන් පසුබිම, අඛ්‍යානය හා බද්ධ කොට විකාශනය කර ඇත. සංකල්ප රූපවලින් යූත් කවි බස සරල පදමාලාවකින් සමලංකෘත වූවත් සංකීර්ණවූත්, අර්ථපූර්ණවූවකි. “ඉතිහාසය සිනාසෙයි” කාව්‍ය සංග්‍රහයේ බොහෝ පද්‍ය රචනයන්ට මුල් වී ඇති තේමාව නම් කාව්‍යයෙහි අස්තිත්වය හා කවියාත් බසත් අතර පවත්නා සනාතන අරගලයයි. විටෙක කවියා බසෙන් පලායයි. විටෙක කවියා බසට යටපත් වෙයි. විටෙක බස අබිබවා නැඟී සිටියි. මේ සියල්ලම කවියාත් භාෂාවත් අතර අනවතරයෙන් උද්ගත වන අරගලයෙහි විවිධ අංශයෝ වෙති” යනුවෙන් විමල් දිසානායක සිය කාව්‍ය සංග්‍රහයේ පෙරවදනෙහි මනාව අනාවරණය කර ඇත. විමල් දිසානායකගේ කාව්‍ය සංග්‍රහයන් සියල්ල මැනවින් නිරීක්ෂණය කරනවිට පෙනී යන්නේ ඔහු නේකවිධ අත්දැකීම් සුචනය කිරීමේදී රූපකාර්ථවත් කාව්‍යෝචිත බස්වහරක් තුළින්, හෘදයංගම කාව්‍ය රචනා නිර්මාණ කිරීම තුළින් ප්‍රතිභාපූර්ණ කවියෙක් බවට පත්වූ බවයි.

1960 වසරේදී කේ. ජයතිලක සමග “ව්‍යංගා” කාව්‍යය රචනා කිරීමෙන් කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසි මහගමසේකර “සක්වාලිහිණි”, “හෙට ඉරක් පායය”, “බෝඩිම”, “මක්නිසා ද යත්”, “රාජතිලක ලයනල් හා ප්‍රියන්ත”, “නොමියෙමි” හා “ප්‍රබුද්ධ” රචනා කර ඇත. “ව්‍යංගා” ගද්‍ය පද්‍ය නිර්මාණ මුසුවූ සංග්‍රහයක් වන අතර බොහෝ කවි ජනකවි සාහිත්‍යයට අනුරූපව රචනා කර ඇත. “හෙට ඉරක් පායයි” කාව්‍ය සංග්‍රහය තුළින් සංයුක්ත කාව්‍ය බීජය රෝපණය කිරීමට සේකර සමත් විය. “සක්වාලිහිණි” සහ “හෙට ඉරක් පායයි” කාව්‍ය සංග්‍රහයන්හි කාව්‍යමය ගුණය අබිබවා ගීතමය සෞන්දර්ය ඉස්මතුව පෙනේ. මහගමසේකර කවියකුට වඩා දක්ෂ ගීත රචකයකු බවට හෙළිවන කාව්‍ය ඛණ්ඩ රාශියක් “හෙට ඉරක් පායයි” තුළින් විශද වේ. “බෝඩිම” කාව්‍ය සංග්‍රහය සමකාලීන විඥානය ප්‍රකට කරන ජීවිතානුභූතීන්ගෙන් පිරිපුන් කාව්‍ය සංග්‍රහයක් වන අතර දෛනික ගැටලු, දුක්ඛ දෝමනස්ස හා සමාජ විෂමතා හෙළි කිරීමට දක්වා ඇති ද්‍රෂ්ටිය අර්ථාන්විතය. “නොමියෙමි” කාව්‍ය සංග්‍රහය පූර්ණ ආඛ්‍යාන කාව්‍ය විශේෂයකි. මෙහි ගැඹුරු තේමාව වන්නේ අප හැමට උරුමවන කායික භෞතික මරණය අබිබවා ගිය ආධ්‍යාත්මික මරණයේ පිළිඹිබුවකි. මෙම කාව්‍ය සංග්‍රහයේදී බුද්ධ දේශනාවලින්ද, ක්‍රිස්තු දේශනාවලින්ද පාඨ උපුටා ගනිමින්, උපනිෂද්, ජාතක කතා, ඉතිහාසය හා වෛද්‍ය විද්‍යාවෙන් අනුප්‍රාණය ලැබීමට පෙළඹී ඇති අයුරු පෙනේ. මහගමසේකරගේ කවිත්වයේ අග්‍රඵලය ලෙස හැඳින්වෙන්නේ “ප්‍රබුද්ධ” කාව්‍ය සංග්‍රහයයි. මෙම කාව්‍ය සංග්‍රහයට පසුවදනක් සපයන මහාචාර්ය විමල් දිසානායක සඳහන් කරන්නේ “පර්යේෂණකාමී නිර්මාණාත්මක බුද්ධියේත්, සියුම් වින්දන ශක්තියේත්, සහජයෙන් ලද භාෂාධිපත්‍යයේත් සුසංයෝගය මෙම කෘතියෙන් පිළිඹිබු වන බවකි.

මඩවල එස්. රත්නායකගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන්නේ 1960 දී පළ කළ “මාර යුද්ධය” කාව්‍ය සංග්‍රහයයි. සරල බව, රිද්මයානුකූල බව, සුනම්‍ය බව රැඳි ඔහුගේ රචනා සදැස් හා නිසදැස් කවි ආරෙන් සමන්විතය. දෙවන කාව්‍ය සංග්‍රහය වන “සීන හතක් මැද” කේවල ක්ෂද්‍ර කාව්‍ය පසළොවකින් සමන්විතය. මෙම කාව්‍ය රචනාවල කාව්‍යානුභූතීන් විදාරණය කිරීමේදී ප්‍රමාණය ඉක්මවා විස්තාරණය කිරීම තුළින් හැඟීම් ඒකාබද්ධ නොවී විසිරීයෑමක් දැකිය හැක. අවසන් කාව්‍ය සංග්‍රහය වන “මම ද එක්වීමි” සදැස් හා නිසදැස් කාව්‍යාකෘතිවලින් සමන්විතය. ඔහුගේ සෑම කාව්‍යයකම පාහේ විරිත් ලක්ෂණ දක්නට තිබීම විශේෂත්වයකි.

සරත් අමුණුගම විසින් පළ කළ එකම කාව්‍ය සංග්‍රහය වන්නේ “හද තුළ ආසා” කාව්‍ය සංග්‍රහයයි. සිරි ගුණසිංහගේ කාව්‍ය රචනාවලින් ආභාසය ලබා කාව්‍යකරණයේ යෙදුණු සරත් අමුණුගම නිසදැස මෙන්ම සදැසද දක්ෂ ලෙස හැසිරවීමේ සමත්කම ප්‍රකට කර ඇත. බොහෝ කාව්‍ය රචනාවලින් හෙළිවන්නේ ප්‍රේමය හා බඳුණු අනුභූතීන් නිරූපණයට ඔහු වැඩි ආසක්ත බවක් දැක්වූ අයුරුයි. සරත් අමුණුගමගේ කාව්‍ය රචනා පිළිබඳව කතුවර කුලතිලක කුමාරසිංහ තබන මෙම සටහන ඔහුගේ කවිත්වය පිළිබඳව කර ඇති සැබෑ විවරණයකි.

“යම් කාව්‍ය දෝෂ දක්නට ලැබුණ ද අමුණුගම 60 දශකයේ මතු වූ ප්‍රතිභාපූර්ණ කවියෙකි. ඔහුගේ සාර්ථක කාව්‍ය නිර්මාණවලින් නවතාවක් මෙන්ම ළගන්නාසුලු බවක් දැකිය හැකිය. අත්දැකීමක් සියුම් ලෙස පරිකල්පනයට හසුකර සමකාලීන විඥානය නිරූපණය කිරීමට ඔහු ප්‍රකට කර තිබෙන බුද්ධිය ප්‍රශස්තය. තවදුරටත් කාව්‍ය ක්ෂේත්‍රයේ රැඳී සිටියේ නම් ඔහු මෙරට කුසලතා පූර්ණ කවියකු වීමට ඉඩ තිබිණී.”

නන්දසේන රත්නපාලගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන්නේ “ මරණින් එහා ” ය. මෙමගින් ජන කවි ආකෘතිය මගින් සමකාලීන විඥානය නිරූපණය කිරීමට ඔහු දරන ප්‍රයත්නය හෙළිවේ. ජන කවීන් මෙන් ව්‍යවහාරයෙන් පෝෂිත වූ උපමා රූපක ආදී අලංකාර ධ්වනිතාර්ථ නැඟෙන අයුරින් භාවිත කිරීමට ඔහු කුසලතා පූර්ණ වූ අයුරු කුලතිලක කුමාරසිංහ නිදසුන් සහිතව ගෙන හැර දක්වා ඇත.

ඩබ්ලියූ. ඒ. අබේසිංහ වර්ෂ 1965 දී “නෙත් දෙකක්” කාව්‍ය සංග්‍රහය පළ කරමින් කාව්‍යකරණයට පිවිසි අතර ඔහු ආභාසය ලබා ඇත්තේ විමලරත්න කුමාරගම, පී.බී. අල්විස් පෙරේරා බඳු කොළඹ යුගයේ තරුණ කවීන්ගේ කාව්‍ය නිර්මාණ තුළිනි. ඒ හැර භාරතයේ මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර්ගේ කාව්‍ය රචනාවලින් අනුප්‍රාණය ලද අයුරු මෙම සංග්‍රහයේ ඇතැම් කාව්‍ය රචනාවලින් අනාවරණයවේ. ‘නිද්‍රා යාත්‍රා’ අබේසිංහගේ දෙවන කාව්‍ය සංග්‍රහය වන අතර එය කාව්‍ය හා ගීත රචනා අසූ අටකින් සංගෘහිතය. මින් රචනා 17ක්ම මෙරට සුප්‍රකට ගායික ගායිකාවන් විසින් ගායනා කරන ලද ගීපද රචනා බවට පත්ව ඇත. “රතුම රතු” කාව්‍ය සංග්‍රහය සමාජවාදී අදහස් සහ ආකල්පවලට වැඩි නැඹුරුවක් දැක්වූ කාව්‍ය රචනාවලින් සමන්විතය. මෙහි එන “වන මැද බුදුරුව”, “දෙවියන් බුදුන්”, “අම්මේ” යන කාව්‍ය රචනා ලතෙත් හද පිරි සංවේදී කවියකුගේ භාවපූර්ණ කාව්‍ය රචනා බවට පත්ව ඇත. “අබේසිංහ අනවශ්‍ය ලෙස කාව්‍ය ශරීරය අලංකාරවලින් හා විශේෂණ පදවලින් සැරසීමට උත්සාහ නොගනී. ඔහු ළා වර්ණයකින් චිත්‍රයක් සරසන චිත්‍ර ශිල්පියෙක් බඳුය. විචිත්‍ර වර්ණ භාවිතයක් ඔහුගේ කලාවේ දැකිය නොහැකි ය. මේ නිසා කවියට හිමි අව්‍යාජත්වය නිසඟයෙන්ම කවි කයට ප්‍රවිෂ්ඨ වී ඇත. කතුවර කුලතිලක කුමාරසිංහ අවධාරණය කරන මෙවදන් ඔහුගේ කවීත්වය පිළිබඳ මනා ඇගයීමකි.

සුනන්ද මහේන්ද්‍ර 1966 වසරේ දී “පවුරු වළල්ල” කාව්‍ය සංග්‍රහය පළ කිරීමෙන් කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසියෙකි. සුනන්ද මහේන්ද්‍ර කවිය පිළිබඳ පෘථුල අවබෝධයකින් කාව්‍යකරණයට පිවිසියෙකි. කාව්‍ය ශිල්පය හා ව්‍යූහගත අංගෝපාංග ඔහු හොඳින් හදාරා ඇති බවට කතුවර කුලතිලක කුමාරසිංහ පළ කරන නිරීක්ෂණ වැදගත්ය. සුනන්ද කාව්‍යකරණයේ දී සිරි ගුණසිංහ කවියාගේ කාව්‍ය නිර්මාණවලින් ආලෝකය ලැබීමට උත්සාහ ගෙන ඇති අයුරු ඔහුගේ බොහෝ රචනා තුළින් හෙළිවේ. සුනන්දගේ “ඕඝතරණය” කාව්‍ය සංග්‍රහය ඔහුගේ කවිත්වයේ අග්‍රඵලයයි. මෙහි ඇතුළත් කාව්‍ය රචනා බැලු බැල්මට ආත්ම ප්‍රකාශන ලෙස හඟුණත්, ගැඹුරින් සිතනවිට එකී නිර්මාණ ආත්ම ගවේශනයන්ය. ඔහුගේ “නිර්නාමිකා අමතා”, “අමාවිල දුටු පිපාසිතයා”, කාව්‍ය සංග්‍රහ පාඨක අවධානය දිනාගත් කාව්‍ය සංග්‍රහයන් ය. “විශෝධා” හි ඇතුළත් වී ඇත්තේ බෞද්ධ දර්ශනයෙහි සරල බෞද්ධ චින්තනය.

තිලකරත්න කුරුවිට බණ්ඩාර 1963 දී “නිල්ල දකින්නයි” කාව්‍ය සංග්‍රහය පළ කිරීමෙන් අනතුරුව “ජීවිතය බෙහෙවින් ඛේදජනකය”, “අසිරිමත් වූ දේකි මෙලොව ප්‍රේමය නමිනා”, “දෙවියෝ තැතිගෙන මහපොළොවට එති”, “ඉකුත්වත”, “එක් සමයෙක්හි” කාව්‍ය සංග්‍රහයන් පළ කර ඇත. හරවත් ජීවිත අත්දැකීම් නිරූපණයට වඩා වැඩි අවධානයක් දක්වා ඇත්තේ ප්‍රේමය බඳු සුලභ අත්දැකීම් කවියට නැඟීමට බැව් කුලතිලක කතුවරයාගේ අදහසයි. “දෙවියෝ තැතිගෙන මහපොළොවට එති” කාව්‍ය සංග්‍රහය තුළින් ප්‍රතිභාසම්පන්න කවියකුගේ ලක්ෂණ විශද කර ඇත. “එක් සමයෙක්ති” කාව්‍ය රචනා පෙර සංග්‍රහයන්හි ඇතුළත් නිර්මාණවලට වඩා ප්‍රශස්ත මට්ටමකින් යුතුය.

සත්‍යාවලෝකන වින්දන 60 දශකයේ කවිය පිළිබඳ විශිෂ්ට විමර්ශනයක්

වින්ටන් කුරේගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන්නේ 1968 දී පළ කළ “හ‘ඩලා කම්පාවුවත්”ය. මෙහි එන කෙටි කවි හයිකු කාව්‍යයන් අනුව ලිවීමට ගත් උත්සාහයක් ලෙස පෙනී යයි. “අක්කාගේ මරණය” පිළිබඳව ඔහු කර ඇති කාව්‍ය නිර්මාණය රූපකාර්ථවත් බස් වහරකින් හැඟීම් ජනනය වන අයුරින් චිත්‍රණය කර ඇත. 1972 දී පළ වූ “දෝංකාරය” කාව්‍ය සංග්‍රහය පුද්ගලානුභූතීන් ඇසුරින් නිර්මිත කාව්‍ය රචනා ගීතාත්මක වර්ණයෙන් විභූෂණය කර නිරූපණය කිරීමට කවියා පෙළඹවී ඇති බැව් කතුවර කුලතිලක කුමාරසිංහ සඳහන් කර ඇත. කෝ. ආනන්ද හිමියන් 1968 වසරේ දී “මා නිසා ඈ විතරාගී” කාව්‍ය සංග්‍රහය පළ කර ඇති අතර දෙවෙනි කාව්‍ය සංග්‍රහය වන “ඈ හමු වුණි මෙසේ මැවුණි” තුළින් පුද්ගලානුභූතීන් කාව්‍යකරණයට යොදා ගැනීමට උත්සාහ කර ඇත. “අම්මයි මමයි” කාව්‍ය සංග්‍රහය තුළින් ඒ හිමියන්ගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය පිළිඹිබු වේ. “අලුත් ඉස්කෝලය” කාව්‍ය සංග්‍රහයේ එන “නත්තල් දින රෑ ලියූ කවියක්” ක්‍රිස්තු සමිඳානන් පිළබඳ බැතිමත් හැඟීම් ජනනය කරයි. “උරුමය සොයා”, “මහ පොළොව අලුත් කිරීම” යන කාව්‍ය සංග්‍රහයන් සමාජ පෙරළිය අපේක්ෂාවන් නිර්මිතය.“කොරෝනා කාලේ” කවිවලට වස්තු විෂය වී ඇත්තේ කොරෝනා වසංගතයයි. මෙහි වැඩි කුසලතා ප්‍රකට කර ඇත්තේ සදැස් ආකෘතියක රචනා තුළිනි. සමස්තයක් ලෙස කෝ. ආනන්ද හිමියන්ගේ කාව්‍ය රචනා තුළින් ප්‍රතිභාපූර්ණ කවියකුගේ ලක්ෂණ දැකිය හැක.

සෝමරත්න බාලසූරියගේ “ඔබ සහ නුඹ” කාව්‍ය සංග්‍රහය පළ වූයේ 1969 දී ය. සදැස් මෙන්ම නිසදැස් කාව්‍යාකෘති අනුගත කාව්‍ය නිර්මාණ මෙහි ඇතුළත් ය. කාව්‍යකරණයේ දී සිරි ගුණසිංහ ප්‍රමුඛ නිසදැස් කවීන්ගේ කාව්‍ය රචනාවලින් අනුප්‍රාණය ලබාඇත. “ලෝකය මිය යයි” කාව්‍ය සංග්‍රහය තුළින් කාලය ගෙවී යෑම හා බැඳුණු අනුභූතීන් රූපණය කිරීමට උත්සාහ දරා ඇත.

මිනිවන් පී. තිලකරත්න ස්වතන්ත්‍ර කවි මගක් ගොඩනැඟීමට උත්සාහවත් වූ කවියෙකි. “ඡායා මාත්‍ර” “එසේ හෙයින් කියන ලදී. “සංකල්ප රූප”, “වේග-ආවේග”, “මහාවීර” යන කාව්‍ය සංග්‍රහ පළ කර ඇති ඔහුගේ කාව්‍ය සංග්‍රහයන්ට දෛනික ජීවිතය හා බැඳි අත්දැකීම් වස්තු විෂය වී ඇත.

සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ දැඩි කැපවීමකින් යුතුව 60 දශකයේ කාව්‍ය සංග්‍රහයන් සියල්ල ගැඹුරින් විමර්ශනය කරමින් සම්පාදනය කරන ලද “සත්‍යාවලෝකන වින්දන – 60 දශකය” ග්‍රන්ථය සිංහල කවිය ගැන අධ්‍යයනය කරන විද්‍යාර්ථීන්ටත්, කාව්‍යකරණයේ යෙදෙන නව කවි පරපුරටත් පොදු රසිකයාටත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් ලෙස හඳුන්වාදෙනු කැමැත්තෙමි.

● උදේනි සරත්චන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment