1990 දශකයේ මැද භාගයෙන් ඇරඹි නොහොත් ඉතා කෙටි සිනමා ඉතිහාසයක් හිමි භූතාන සිනමාවේ කතාබහට ලක්වන සුවිශේෂී චිත්‍රපටයක් 2023 සැප්තැම්බර් 01 වැනිදා සිට ප්‍රදර්ශනය ඇරඹීය. “The Monk and The Gun” නම් එය පාවෝ චොයිනින් දෝජි නම් සුවිශේෂී භූතාන සිනමාකරුවාගේ නිර්මාණයකි. අප දෝජි සුවිශේෂී සිනමාකරුවකු ලෙස හඳුන්වන්නේ ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වූ “Yak in the Classroom” නම් චිත්‍රපටය 94 වැනි ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානයට නිර්දේශ වූ හෙයිනි. එසේම තම දෙවන චිත්‍රපටය වූ “The Monk and The Gun” 96 වැනි ඇකඩමි සම්මාන උළෙල සඳහා භූතාන නියෝජනය ලෙස ඇතුළත්ව ඇත්තේය. “The Monk and The Gun” චිත්‍රපටයට පාදක වන්නේ 2006 දී භූතාන අධිරාජයා රාජ්‍ය පාලනයෙන් ඉවත්වී, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු පිණිස මහජන ඡන්දයෙන් නියෝජිතයකු තෝරා ගැනීම සඳහා පවත්වන ආදර්ශ මැතිවරණයක් නිසා බිඳවැටෙන භූතානයේ නිහඬ සාමකාමී ජන ජීවිතය පිළිබඳවය. බෞද්ධ දර්ශනයේ ආභාසයෙන් සරල, අල්පේච්ඡ, තෘෂ්ණාවෙන් තොර ජීවිතයක් ගතකරන භූතාන වැසියන්ගේ හිස මතට බලෙන් පැටවූ ඊනියා ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්න කරන සිනමාකරුවා ඉන් අහිංසක වැසියන් අතර වෛරී, තරගකාරී දුර්සිතිවිලි පැතිරෙන අයුරු සිනමාත්මක ලෙස චිත්‍රණය කරයි.

නොබුහුරෝ හොසොකි නම් මාධ්‍යවේදියා විසින් දෝජි සමග පවත්වන මේ සම්මුඛ සාකච්ඡාව අපට ද වැදගත් වන්නේ ඉතා ළාබාල භූතාන සිනමාව ලෝක ප්‍රසිද්ධ ඔස්කාර් සම්මානය අසලටම රැගෙන යෑමට සමත් වූ මේ නිර්මාණවේදියා, තම මව්බිම වෙනුවෙන් පෙනී සිටින ආකාරය අප සැමටම වැදගත් වන නිසාවෙනි.

ප්‍ර : ඔබ ඉපදුණේ ඉන්දියාවේ දාජීලින් හිදී. ඔබ ඇයි මේ භූතාන සමාජය ගැන උනන්දු? භූතානය සමග ඔබගේ මේ බැඳීම මොකක්ද?

ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්න කරන The Monk and The Gun

දෝජි: ඔව්, මම ඉපදුනේ ඉන්දියාවෙ තමයි, ඒත් මම භූතානියෙක්. ඒ වගේම මම හැදුණෙ වැඩුණෙ ලෝකය පුරාම. මම හැමදාම උනන්දුයි සියලු ශිෂ්ටාචාරයන් ගැන. මගේ පවුල.. අපි එක අතකින් හරි සම්ප්‍රදායිකයි, අනෙක් අතින් අපි ලෝකය පුරාම සංචාරය කරනවා. මම හිතන්නෙ මේ නිසා තමයි, මට භූතානය ගැන අවංක ඇහැකින් බලන්න පුළුවන් වෙන්නේ. භූතානයේ කියමනක් තිබෙනවා, අපට අපේ ඇහිපිය පේන්නේ නැහැ, මොකද ඒවා ඇහැට ගොඩක් සමීප නිසා කියලා. නමුත් මම භූතාන ජාතිකයකු වුණාට, ඉන්දියාවේ ඉපදිලා ලෝකය පුරා ජීවත් වෙලා තිබෙන නිසා මට පිටස්තරයකු ලෙස මගේම ඇහිපිය දකින්න පුළුවන්. මම හිතන්නේ ඒක වැදගත්. ඔබ, ඔබේ රටේ කතාවක් කියනවා නම් ඔබ එයින් පිටස්තර විය යුතුයි.

ප්‍ර: ඔබ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන විට හැමවිටම ඉදිරියට ගන්නේ “ඔබට ආයුධ දැරීමට අයිතියක් ඇත” යන දෙවන ව්‍යවස්ථා සංශෝධනයයි. ඔබේ චිත්‍රපටය “The Monk and The Gun” මෙය කුතුහලය දනවන කාරණයක්. මේ නම තෝරා ගැනීම ගැන යමක් කියන්න පුළුවන්ද?

දෝජි: මගේ පළමු චිත්‍රපටය වූ “A Yak in the Classroom”ට මට නිෂ්පාදකයෙක්වත්, බෙදාහරින්නෙක්වත්, නියෝජිතයකුවත් සොයා ගැනීමට නොහැකි වුණා. මම නොදන්නා රටක, නොදන්නා නිර්මාණකරුවෙක් වුණා. මම කොහොමද, මගේ චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්නෙ? එතකොට ඒ නම මට හිට් වුණා. “A Yak in the Classroom” කියලා දැම්මොත් සාමාන්‍ය ප්‍රේක්ෂකයෝ “මොකක්? පන්ති කාමරයේ යකෙක්?” වගේ වෙයි කියල මට හිතුණා. ඔවුනට එය නැරඹීමට කුතුහලයක් ඇතිවෙයි කියලා මම හිතුවා. ඒක පත්තු වුණා. නොහඳුනන රටකින් පැමිණි නොහඳුනන චිත්‍රපටය ඔස්කාර් සම්මාන නිර්දේශය දක්වා ගමන් කළා.

මේ චිත්‍රපටයටත් මම ඒක ආදේශ කරන්නට හිතුවා. මම හිතන්නෙ “The Monk and the Gun” චිත්‍රපටයේ තේමාවට හරියටම ගැළපෙනවා කියලා. සම්ප්‍රදාය, නවීකරණය, භික්ෂුව හා තුවක්කුව, අතීතය හා අනාගතය එකවිටම ගෙනඑනවා. ඒක මිනිස්සුන්ට දෙපාරක් බලන්න හිතෙන කුතුහලය දනවන නමක්. අංකුර චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස මට එවැනි කුතුහලය දනවන නමක් අවශ්‍යයි.

ප්‍ර: භූතානය පැහැදිලිවම හුදෙකලා රාජ්‍යයක්. එය 1971 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳුණු පසු ඔවුන් පැවැත්වූ ජනතාව සතුටින් ජීවත්වන රටවල් පිළිබඳ නිරීක්ෂණයේදී භූතානයට ඉහළ අගයක් හිමි වුණා. භූතාන ජනතාව භෞතික සතුටට වඩා මානසික සතුටට ප්‍රමුඛත්වය දෙන බව ඔබ අදහස් කරනවා ද? ඔබ එසේ සිතනවා නම් 2022 දී භූතානය සංචාරක ව්‍යාපාරයට වඩාත් විවෘත කිරීම ගැන ඔබේ අදහස මොකක්ද?

දෝජි: භූතානය කොහොමත් උසස්. වජ්‍රයාන බුද්ධාගම රකින ලෝකයේ එකම රට අපි පමණයි. අප හුදෙකලාභාවයේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ, අපගේ අනන්‍යතාවය රැකගැනීම පිණිස අප එය කළයුතු නිසයි. 1900 මුල් භාගයේ හිමාලයානු කලාපය පැවැති ආකාරය ඔබ තේරුම් ගත යුතුයි.

වජ්‍රයාන බෞද්ධාගමික රටවල් කිහිපයක් තිබුණා. ටිබෙට් හා සිකිම් ආදී වශයෙන්. නමුත් 1940 දී ටිබෙටය චීනයේ කොටසක් බවට පත්වුණා. සිකිම් ඉන්දියාවේ කොටසක් වුණා. ඉතිරි වූ එකම රට අප බවට පත්වුණා. ඉතින් අපි කවුද යන්න අපි රැකගන්නේ කොහොමද? අප මූලික වශයෙන් පිටත ලෝකයෙන් හුදෙකලා වුණේ අපගේ අනන්‍යතාවය අපට අහිමි වෙතැයි හැඟුණු නිසයි. සතුට සාක්ෂ්‍යාත් කරගැනීම සඳහා අපි අනුගමනය කළේ බෞද්ධ මාර්ගයයි. නමුත් භූතාන ජාතිකයන් වන අප සතුට අර්ථකථනය කරන්නේ, ලෝකයේ අනෙක් රටවල් සතුට ගැන සිතන විදියට වඩා බොහෝ වෙනස් ආකාරයටයි. භූතානයේ සතුට පදනම් වන්නේ තෘප්තිය මතයි. නමුත් ඒ ලෞකික අර්ථයෙන් නොවෙයි. නිදසුනක් ලෙස ගතහොත්, ඔබ සිතන්නේ සතුටින් සිටීම යනු ධනවත් වීම බවයි. නමුත් භූතානයේ එය එසේ නොවේ. භූතානයේ සතුටින් සිටීම යනු ඔබ සතුව ඇති දෙයින් සෑහීමකට පත්වීමයි. සතුටින් සිටීම යනු කිසිවක් සදහටම නොපවතින බව කියන අස්ථිරභාවයේ නීතිය පිළිගැනීමයි. භූතාන රජය හා ජනතාව ඔවුන්ගේ සතුට පදනම් කරගන්නේ බුදුන් වහන්සේගේ දර්ශනය මතයි. අප ගතකරන ආත්මයේ සතුට ළඟා කරගත හැක්කේ, අප වටා ඇති සියලු දේවල් සතුට ප්‍රකාශ කරන්නේ නම් පමණක් බවයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අපට ඉතා අමුතු නීති තිබෙනවා. භූතානයෙන් පිට ඉන්න මිනිස්සුන්ට ඒවා අමුතු ලෙස පෙනෙයි. අප සිටින්නේ හිමාලයේ. නේපාලය, ඉන්දියාව හා පාකිස්තානය වැනි රටවල් ඔවුන්ගේ උස කඳු තරණය කරන්නට ඉඩ දී ඉන් ඩොලර් දහස් ගණනින් උපයා ගන්නවා. නමුත් භූතානයේ කඳු නැගීම නීතිවිරෝධීයි. ලෝකයේ ඉතිරිව ඇති අවසන් කන්‍යා කඳු අප සතුයි. මිනිසුන් කිසිවකු ඒ කඳු තරණය කොට නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්න කරන The Monk and The Gun

අප එසේ කරන්නේ, අප විශ්වාස කරනවා අපගේ පරිසරය පිරිසිදුව හා නොකිලිටිව තබාගත යුතුයි කියා. එසේම එය අපේ ආත්ම තෘප්තියට හේතු වෙතැයි ද අපි විශ්වාස කරනවා. ඔබ කතා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන ගැන. එහි මූලික සංශෝධනයක් වන්නේ වන ගහනය 65% ක් වියයුතුය යන වගන්තිය. දැන් එය 72% ක්. කාබන් ප්‍රතිශතය ඍණ අගයක් පවත්වාගෙන යන ලෝකයේ එකම රට අපයි.

මේවා ගැන මම හුඟක් ආඩම්ර වෙනවා. නමුත් එය දැන් අවසානයකට පැමිණිලා. යථාර්ථය නම් භූතානය අරගලකාරී දුප්පත් රටක්. අපි ඌන සංවර්ධිත ජාතියක්. අපි තුන්වන ලෝකයේ රටක් වගේම, අවාසනාවකට මෙන් සතුට යනු ධනවත් බව යැයි නියම කරන ලෝකයක, අධ්‍යාත්මික සතුට අපේක්ෂා කරන රටක් වීම ඉතා අපහසු කාරණයක්. අධ්‍යාත්මික සතුට අන් සියල්ලට වඩා උතුම් බව සලකන රටකින් මා පැමිණි බව පැවසීම මට බොහෝ ආඩම්බරයක්. නමුත් අපටත් ප්‍රශ්න තිබෙනවා. මොකද, සතුට කියන්නේ ධනවත් බව යැයි තීරණය කරන ලෝකයක අපි වෙනම තාලයකට ගමන් කරනවා. දැන් අපට රූපවාහිනිය හා අන්තර්ජාල පහසුකම් ඇති බැවින් ලෝකයේ සෙසු රටවල් කරන්නේ කුමක්දැයි අපේ ජනතාව දන්නවා.

භූතානයේ ආර්ථික ප්‍රශ්න තිබෙනවා.

විරැකියාව හා මානසික අවපීඩනය තිබෙනවා. රූපවාහිනියෙන් පෙන්වන ලෝකයේ සතුට සොයා ඔවුන් ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ යුරෝපීය රටවලට සංක්‍රමණය වීමට පටන් අරං. මම මගේ පළමු චිත්‍රපටයෙන් කතා කළේ එම ප්‍රශ්නය ගැන.

ප්‍ර: භූතාන ජනතාවගේ ජීවන ක්‍රමය පිළිබඳව හැමෝම අගය කරනවා. ඇත්තටම සතුටින් සිටිනා විට තෘෂ්ණාව අහෝසි වෙනවා. ජනතාව එසේ ජීවත්වන්නේ දීර්ඝ කාලයක සිට. මේ අලුත් පරිවර්තනය සමග ඔවුන් කටයුතු කරන්නේ කෙසේද? ඔවුන් එයට සහාය දක්වයි ද?

දෝජි: භූතානය මුලින්ම ලෝකයට විවෘත වූ විට ජනතාව ඊට අකැමැත්තක් දැක්වූවා. මම මේ චිත්‍රපටය හදන්නට එක් හේතුවක් තමයි, මම වැඩුණේ බටහිර ලෝකයේ. මම එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලයකින් දේශපාලන විද්‍යාව හැදෑරුවා. අවාසනාවකට මෙන් ‘අපි ප්‍රජාතන්ත්‍රවාදය සමරන හා වන්දනාමාන කරන අයුරින්ම ලෝකයේ සෙසු රටවල්ද එසේ කළ යුතුයි’ යනුවෙන් නූතන ලෝකයේ මිනිසුන් සිතන බව පෙනීගියා.

ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්න කරන The Monk and The Gun

එක් පුද්ගලයකු රටක් පාලනය කරන ඕනෑම අවස්ථාවක, නූතන ලෝකය එම පුද්ගලයා ඒකාධිපතියකු ලෙස හංවඩු ගැසීමට ඉක්මන් වෙනවා. හොඳයි, ප්‍රශ්නය ඒක නොවෙයි. ලෝකයේ බොහෝ රටවල ජීවත්වන ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැහැ; ඔවුන්ට රජුගේ පාලනය අවශ්‍ය වන්නේ, රජු ඔවුන්ට බොහෝ යහපතක් කර ඇති නිසාවෙන්. මට අවශ්‍ය වුණේ එය ලෝකය සමග බෙදාගන්න.

ඔව්, භූතානය ලෝකයට විවෘත කොට නවීකරණය කරන විට ඊට ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වුණා. ඔබ තේරුම් ගත යුතුයි, ජනතාව එයට විරුද්ධ වුණේ ඔවුන්ට එය අවශ්‍ය නොවුණ නිසා. ඔවුන් වෙනස් වූයේ, නූතන ලෝකය ඔවුන්ව අතහැර දමා ඇති බව ඔවුන් තේරුම් ගත් බැවින්. රූපවාහිනියට හා අන්තර්ජාලයට අවසර දුන් අවසන් රට අපියි. ඊට පෙර සමාජය පැවැති ආකාරය සිතා බලන්න. මම එහි ජීවත් වුණා. මම දන්නවා රූපවාහිනිය හා අන්තර්ජාලය නොමැතිව එය හැදී වැඩුණු ආකාරය. මම දන්නවා ඒක වෙනස් වුණ විදිහ. මම නිතරම කියන්නේ මේ ෆිල්ම් එක කතා කරන්නේ අහිංසකකම ගැන කියලා. අහිංසකත්වය ඉහළින් සමරන සංස්කෘතියක් හදිසියේ වෙනස් වූ පසු එය අහිංසක නැතැයි ලෙස ටැග් කිරීමයි, නවීන ලෝකය එය නූගත් ලෙස සලකනු ලැබීමයි කියන්නෙ වෙනත් දෙයක්.

ප්‍ර: ඒක නම් ඇත්තක්. හොඳයි, අපි ඔබේ චිත්‍රපටය ගැන කතා කරමු. ඔබ කොහොමද ඔබේ කණ්ඩායම හදාගත්තෙ? එහි චිත්‍රපට ක්‍රියාවලියක් නොතිබුණු පසුබිමක.

දෝජි: මගේ නිෂ්පාදන කණ්ඩායමේ බොහෝදෙනෙක් පළමු වතාවට චිත්‍රපටයක වැඩ කළේ. ඒ වගේම නළු නිළියන් බොහෝදෙනකුගේ පළමු රඟපෑම. අධ්‍යක්ෂවරයෙක් ලෙස මට බොහෝ ඉවසීමෙන් වැඩ කරන්න සිදුවුණා. සමහර වෙලාවට මා සිතූ දේම වැඩ කළේ නැහැ. නමුත් ඒක වාසියක් වුණු අවස්ථා තිබුණා. මට ඒ අයගේ වෘත්තීයභාවය ලැබුණෙ නැතත් භූතානය වගේ තැනක වැඩ කරන විට අවශ්‍ය උද්‍යෝගය තිබුණා. එවිට භූතානයේ ගැමියන්ගෙ මිත්‍රශීලීකම වගේම අව්‍යාජත්වය ඔබට දැනේවි.

සමහර විට ඔබට ෆිල්ම් එකේ යම් තාක්ෂණික අඩුපාඩුකම් පෙනේවි. නමුත් සමස්තයක් ලෙස එය හෘදයාංගම චිත්‍රපටයක්. එහෙම දැනෙන්නෙ ඊට සම්බන්ධ වූ නිෂ්පාදන කණ්ඩායම, නළු නිළියන්, ගැමියන් හැමෝම ඒකට එකතු වුණේ මුළු හදවතින්ම නිසයි.

ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්න කරන The Monk and The Gun

ප්‍ර: ඔබේ චිත්‍රපටය, හොලිවුඩ් චිත්‍රපට පරදා IMDB ප්‍රේක්ෂක සම්මානය දිනාගත්තා. ඒක විශාල ජයග්‍රහණයක්?

දෝජි: මගේ “A Yak in the Classroom” හා “The Monk and The Gun” යන චිත්‍රපට දෙකම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගැනීම ගැන මට ඉතා සතුටුයි. ඇත්තෙන්ම එය ඉතා ආශ්වාදජනකයි. අප චිත්‍රපට හදන්නේ ඇයි? තෝරාගත් ජූරි සභිකයන් කිහිපදෙනෙක් සඳහා ද? නැත්නම් ප්‍රේක්ෂකයන් සඳහා ද? ඇත්ත වශයෙන් ජූරි සම්මාන විශිෂ්ටයි…නමුත් ප්‍රේක්ෂක ආකර්ෂණය.. ඒක පුදුමාකාරයි. මම හිතන්නෙ කලාකරුවකු නිර්මාණයක් කරන්නට පෙර ජනතාවගේ හදගැස්ම හඳුනාගත යුතුයි.

ප්‍ර: මේ තිර රචනය ලිවීම ඔබට අභියෝගයක් වන්නට ඇති. මොකද ඔබ මේ දෙපැත්තම ගැන ස්ථාවර වෙන්නෙ නැහැ.

දෝජි: ඇත්තටම, එය බොහොම ප්‍රවේශම් වියයුතු දෙයක්. තිර රචනය ලිවීමේදී හිරවෙන තැන් තිබුණා. මොකද කියනවා නම්, දේශපාලනික චිත්‍රපටයක් හදන විට බොහෝ විට එක කඳවුරකට හෝ වෙනත් අන්තයකට බර වෙනවා. මට එහෙම වෙන්න අවශ්‍ය වුණේ නැහැ. මට ඕනෙ වුණේ වෙනස්වීමේ කතාවක්, අහිංසකත්වයේ කතාවක් සහ අහිංසකකම නැතිවීම ගැන කතාවක් කියන්න. ප්‍රජාතන්ත්‍ර විරෝධී, රාජාණ්ඩු විරෝධී හෝ තුවක්කු විරෝධී වීමට මට අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා තිර රචනය මට ඉතා සූක්ෂ්ම ලෙස ලියන්න සිදුවුණා. අවසාන වශයෙන් චිත්‍රපටය එය සාක්ෂාත් කරගෙන ඇති බව මට හැඟෙන්නේ, ප්‍රසිද්ධ ලිබරල්වාදී ඇමෙරිකානු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, තිර රචකයකු හා ලේඛකයකු වන මයිකල් මුවර්, චිත්‍රපටය ඉතාම ඉහළින් අගය කළ නිසාවෙන්. චිත්‍රපටය එක්සත් ජනපදයේ ටෙලුරයිඩ් චිත්‍රපට උළෙලේ තිරගත වූ විට එය නැරඹූ NRA සභිකයන් පවා ඊට ලොකු කැමැත්තක් දැක්වූවා. මයිකල් මුවර් හා NRA සාමාජිකයන් පැවසුවේ එකම අදහසක්. ඉතින් මට ඉතාමත් සතුටුයි, මගේ චිත්‍රපටය ඇමෙරිකාව ගැන කතාවක් නොවී ඇමෙරිකානුවන්ට අප ගැන කියා දෙන චිත්‍රපටයක් වීම ගැන. මම හිතන්නේ ඒක තමයි වැදගත්.

● නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment