ගයන ගැයුම් නටන නැටුම් WALTZ

255

පෙණුනු සුව දසුන් දස අතහෙන්රි කල්දේරා
මල් රේණු නටලා වැහි බිංදු වැටිලා
සුසිල් ප්‍රේමරත්න

මා සොඳුරු සුරතළියෙ – සුසිල් ප්‍රේමරත්න
මලක් නෙළා ගෙනවිත් බුදු සාදුට පිදුවා – පේෂලා මෙන්ඩිස් (පුන්‍යසිරි මහවත්ත)

නීල දෑස පුරා සිහින ලොවින් පෙරා – එච්. ආර්. ජෝතිපාල (සරත් දසනායක)

චන්දන ඇල්ලෙන් නාලා – එච් ආර් ජෝතිපාල (එම් එම් ඒ හක්)

දවසක් පැල නැති හේනේ – ගුණදාස කපුගේ

මා ප්‍රාර්ථනා ආසාවෝ – ජෝති සහ ඇන්ජලීන් (ප්‍රේමසිරි කේමදාස)

පාවේ වලා ඈත කඳු බලා – වික්ටර් රත්නායක (මර්වින් පෙරේරා)

රුවන් අඹර සෙමෙර සලන – රූපා ඉන්දුමතී සමග ජයතිස්ස හෙට්ටිආරච්චි

රොනට ඇදෙන බිඟු ඔබයි – චිත්‍රා සෝමපාල

ආදරයේ සනාතනික සංකල්පය අම්මා – සෝමරත්න පෙරේරා

සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා ත්‍යාගා එන් එඩ්වර්ඩ් (ආචාර්ය දයාරත්න රණතුංග)

විමන් ඉඩ ඇතේ පැල්පත් වලද ඉඩ ඇතේ – මිල්ටන් පෙරේරා (මොහොමඩ් සාලි)

හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂනී – මිල්ටන් මල්ලවාරච්චි (ක්ලැරන්ස් විජේවර්ධන)

මේ නගරය මා ඔබ – මර්වින් පෙරේරා

සමන් කැකුළු වරනොළා – සී ටී ප්‍රනාන්දු

මෙකී ලැයිස්තුව දිගින් දිගට දිගහැරේ. වෙසෙසින් වැඩිහිටි ගීත රසිකයන් වූ 70 දශකයේ ළමා රසිකයන් හට ඒවා කිසිසේත් ආගන්තුක නිර්මාණ නොවේ. ඔවුන් ඒවයේ කිසියම් සමානතාවක් නිරික්ෂණය කරනු ලබනවා ඇත. ඒ ගීත සියල්ල එකම මුතුහරකට යාවූ එක වර්ගයේ මුතුකැට සේ සමාන ළයකින් ගැයේ. ඒ ළයමානය බටහිර සංගීතයේ ‘වෝල්ට්ස්’ නම් වේ. ඊට අනුගත වන නර්තනයේ රංගනයේ යෙදෙන්නන් පසුබිමෙන් එය වයනු ලබයි.

විකිපීඩීයා අන්තර්ජාල විශ්වකෝෂ සංග්‍රහයේ කියැවෙන ලෙස 18 වන සියවසට ද පෙර දී පටන් පැවති මෙකී තාලරටාව පළමුවන ලෝක යුද්ධයෙන් පසුව ක්‍රමයෙන් ජනප්‍රියත්වය අහිමි කරගත් අතර ඊට හේතුසාධක ලෙස දක්වන්නේ බටහිර සරල සංගීතය පසුව ඔස්ටි්‍රයාවේ වියනා නුවර සිට ජර්මනියේ බර්ලින් නුවර දක්වා සංක්‍රමනය වීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ද එය සිදූවූ බවකි.

ජර්මානු ජනසංගීතයෙන් හැදීවැඩී පෝෂණය වූ බවට සඳහන් කෙරෙන ‘වෝල්ට්ස්’ සංගීත රටාවේ වසන්ත සමය 19 වන සියවස ලෙස සටහන් කෙරේ.

1982 යුගයේ තිරගත වූ තිස්ස අබේසේකරයන් ගේ ‘මහගෙදර’ සිනමා පටයේ පියානෝ වාදනය කෙරෙන එක්තරා ජවනිකාවක් අරභයා ගැයුනු ගීතයක් දැනුවත් වැඩිහිටි රසිකයන් ගේ මතක සටහන් අලුත් කරන්නට යෙදුනු අතර සෙස්සෝ ඒ ගායනයෙන් වසග කරනු ලැබ, එය අදාළ සිනමා පටය සඳහාම ගැයුනු ගීතයක් ලෙස වරදවා හඳුනාගත්හ.

නිල් අහස් තලේ අගේ ……………
නෑ වලාකුළු………….
ලස්සනයි පුරාහඳේ ………….
රැස් විහිදිලා …………………….

බටහිර ගීත ගායනයට උපන් හපන් කම් ඇති අපූර්ව හඬකින් හෙබි ‘මොරිස් විජේසිංහ’ විසින් එය ගායනා කරන්නට යෙදුනු අතර ජනකාන්ත රංගන ශීල්පී විජය කුමාරණතුංග, තිස්ස අබේසේකර, සෝමලතා සුබසිංහ ඇතුළු අය එහි පෙනී සිටිති.

ග්‍රැමෆෝන් යුගය ලෙස ඇතැම් අය විසින් නම් කරන ලද 1920-1950 අතර යුගයේ සුප්‍රකට ගායන ශීල්පියෙකු, සංගීතඥයෙකු මෙන්ම ගී පද රචකයෙකු වූ ‘යූ. ඩී. පෙරේරා’ මාස්ටර් විසින් රචනා කරන්නට යෙදුනු උක්ත ගීතය එහි පද සංකලනයෙන්ම හැගෙන පරිදි ‘ළමා ගීතයකි.’ මතු කී ‘Waltz‘’ නාදරටාවට අනුගත වූ එයින් ශ්‍රී ලාංකීය සංගීත ශිල්පීන් අතර ද එය ඈත අතීතයේ සිට ජනප්‍රියව තිබූ බවට සාධක සපයයි.

බටහිර ගී ආර අනුව ගැයුනු ගී ලාංකීක ගීත ලෝලීන් වෙත හෙළ බසින් පිළිගැන්වූ පුරෝගාමී ගායන ශිල්පීන් අතර ‘සී. ටී. ප්‍රනාන්දු’ ද සිටියි. මාලිනි විජේවීරගේ පහත ගීතය විමසා බලනු මනාය.

මා බාල කාලේ …………
අම්මාගේ උකුලේ … නැළවුණු තාලේ …
මට තාම සිහිවේ ……

මෙම බටහිර ගී තාලය වෙසෙසින් සිනමා ගී නිර්මාණකරණය උදෙසා යොදාගත් ලාංකීය ප්‍රකට සංගීතඥයන් ගණනාවක් අතර ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න, පන්ඩිත් අමරදේව මෙන්ම සංගීතවේදී සරත් දසනායක, මර්වින් පෙරේරා, පැට්‍රික් දෙණිපිටිය, ආචාර්ය කේමදාස ද වෙයි.

සුපුන් සඳක් නැගීලා ………….
කිරි බැබළෙන පාරුවේ………..
රිදී කඳක් ගළලා …………..
පළිඟු පුලින තලාවේ ………….

(ගී පද නැසිගිය ශ්‍රී නිහාල් ජයසිංහ – සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න, සිහින හතක් – 1966)

සංගීතඥ නැසිගිය පැට්‍රික් දෙණිපිටිය ගේ මනරම් ගී තනුවකින් හැඩවැඩ වූ ඩඩ්ලි වානගුරු හැදූ ‘සැඟවුනු මැණික’ සිනමා තිරයේ දිගහැරුනේ 1967 වසරේදීය.

පිපිළා හද විලේ ……..තුටු සුසුදු සුමුදු ළේලේ
දිළෙනා සිතලේ හසගනකි කුරුලු කැලේ …….

(කලාශූරී ලතා වල්පොළ සමග ධර්මදාස වල්පොළ – ගී පද කරුණාරත්න අබේසේකර)

1975 වසරේ දී තිරගත කරන ලද්දාවූ ‘තරංගා’ සිනමා සිත්තම වෙනුවෙන් පණ්ඩිත් අමරදේවයන් විසින් සංගීතවත් කළ පහත නිර්මාණයේ පද ධර්මසිරි ගමගේ ශූරීන්ගේය. ගැයුම එදවස සුපතළ පොප් ගී ගායිකා ඉන්ද්‍රානී පෙරේරා විසිනි.

රුසිරු කිඳුරු හීනයක් …………
සොඳුරු මියුරු ගීතයක්………….

පසුබිමේ එක්රැස් වී වාදක මණ්ඩලය විසින් නංවන ‘වෝල්ට්ස්’ සංගීතරාවයට අනුගත වෙමින් මිතුරු මිතුරියන් එකිනෙක අත්වැල් පටලා සීරුවට පා තබමින් සෙමින් ඇදීයන දිය දහරක රුසිරු මවමින්, මදනළ හමන ලතාව සිහිගන්වමින්, ළයාන්විතව රංගනයේ යෙදෙන නර්තන සංදර්ශන යුරෝපීය සංස්කෘතියේ පොදු ලක්ෂණයකි. ඒවා හදාරන්නන්ට, මූලාශ්‍ර සපයාගැනීම අද ඉතා සරල කාර්යයකි. සමාජ මාධ්‍ය ජාලාවන් එහිදී මග පෙන්වන්නට සැදී පැහැදී සිටියි. දේවස්ථාන බැති ගීතිකාවන් උදෙසා නිරතුරුව යොදාගනු ගැයෙන්නේ මෙකී ළයමානයයි. මන්ද යත්, උද්වේගකර, ඝෝෂාකාරීත්වයෙන් මිදුනු, නිසසල, සුමුදු නාද රටාවක් එහි ගැබ් වි ඇති නිසාය.

1976 වසරේදී එම්. කේ. රොක්සාමි සංගීතවේදියා විසින් ගීත රසය මුසුකළ, අරුණ ශාන්ති ගේ ‘දෙවියනි ඔබ කොහේද’ සිනමා පටයේ ඇතුළත් ගීයකින් මතුකෙරෙන්නේ ගීතිකා ස්වර ලතාවයි.

ආදර පූජාසනේ………… ඔබයි මගේ කුසුම් කුමාරී…………..
(ගී පද – ධර්මසිරි ගමගේ, සුජාතා අත්තානයක සහ වික්ටර් රත්නායක ගී හඬ)

එවන් නිවුනු සිහිළැල් දියදහරක් හැල්මේ ගලා බසින්නා සේ, තාල නංවන එයින් ‘බොදු ගීයක’ රුවගුණ මතුකර ගත හැකිය. කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා සිනමාවේදියාගේ ‘සැනසුම කොතැනද’ ආචාර්ය කේමදාසයන්ගේ කමනීය ස්වාධීන ගී තනු ඇතුළත්, ඔහුගේ සංගීත දිවිය නව මගකට යොමුකළ හැරවුම් ලක්ෂ්‍යයකි. එහි පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ධර්මසිරි ගමගේ පන්හිඳ ක්‍රියාත්මක වූ අවස්ථාවකි මේ.

සංසාර ගමනේ තන්හා ආශා………….
ක්ලේශ මාර සේනා …………………

බැතිපෙම් උපදවන්නට වඩාත් ගැළපෙන මෙම රටාව අනුව ගැයුනු වෙනත් බොදු ගීතද ගණනාවකි. ඒ අතර අමරදේවයන්ගේම ‘ඉපිද මැරේ යළි ඉපිදේ …(දස්කම සිනමාපටය – 1959) – කරුණාරත්න අබේසේකර ගී පද, එඩිවින් සමරදිවාකර මියැසිය, ‘වඳිමු සුගත සාක්‍ය සිංහ …’ – ගී පද සහ සංගීතය ඔහු විසින්මය, ‘හඳපානේ වැලිතලා …..’ (වජිරා බාලසූරිය සමග) – මුණිදාස කුමාරතුංගයන්ගේ පැදිපෙළක් ඇසුරෙන්, එමෙන්ම ආචාර්ය දයාරත්න රණතුංග ගැයූ ‘ජයසිරි මහබෝධි (ගී පද චිත්‍රානන්ද අබේසේකර), ආචාර්ය වික්ටර් රත්නායක ගේ ‘කලා වැවේ දිය ගැඹරේ…… (ගී පද මහාචාර්ය තිලක් රත්නාකර) ආචාර්ය නන්දා මාලනී – බුද්ධානුභාවෙන් සිත් නෙත් පහන්..(මහචාර්ය සුනිල් ආරියරත්න), බුදු කරුණා දෑස තෙමි…(මහාචාර්ය අනුරාධ සෙනවිරත්න) සහ තවත් බැති ගී රාශියකි.

60 දශකයේ සිට එක්සත් රාජධානියේ වාසය කරමින්, එහි සංගීත නිර්මාණ කටයුතු වල යෙදුනු ‘එඩ්මන් වික්‍රමසේකර’ නම් වූ ගායන ශීල්පියාට, බීබීසී සංදේශය වැඩසටහන එහි කලක් ඉදිරිපත් කළ ආචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර ශූරීන්ව මුණගැසිනි. ඔහුගේ වදන් පෙළක් මෙම තාල රටාවද මුසුවී, තැටියට නැගී, ලංකා ගුවන් විදුලි සේවාවන් ඔස්සේ විකාශනය කෙරී, 70 දශකයේ රසිකයන්ගේ බුහුමනට පාත්‍ර විය.

සුමුදු සීත පවන් හමන…………..
වසන්තයේ උදෑසනක…………..
උයන් කොණේ හුදකලාව…………..

සංගීතවේදී සරත් දසනායකගේ මෙම ශෛලියේ නිර්මාණ දක්නට ලැබුණේ මුල්වරට ඔහුගේ ජනප්‍රියතම ගීත ඇතුළත් වූ සදහටම ඔබ මගේ සිනමාපටයේදීය. (1973) සෝමපාල ලීලානන්ද රචනා කළ එහි ගැයුම එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක දෙදෙන විසිනි.

අමර පෙම් ලතාවේ ………….
රන් මලක් උදාවේ ……..
අඳුන් සඳුන් සිසිළ දේ ….
මනෝ මන්දිරේ……………

ඉන් ඉක්බිති වසරේ තිරයේ ඇඳුනු ‘දිනුම් කණුව’ ඔහු විසින් තනු නිර්මාණය කර සංගීත අධ්‍යක්ෂණයේ යෙදුනු ජනප්‍රිය ගීත ඇතුළත් සිනමාපටයකි.

මියුරු කල්පනා ….
නෙතක දැල්වුනා …
අමයුරු පෙම් හසකැන් මැද …
සිතක් නැළවුනා …………..

(ගී පද නැසිගිය ප්‍රේමකීර්ති ද අල්විස් ගෙනි ගැයුම ආචාර්ය වික්ටර් රත්නායක)

ඉහත නිදසුන් පෙළට අමතරව, සිංහල සිනමා තිරය පසුබිමින් නැගුනු ‘වෝල්ට්ස්’ රිද්මය ඇසුරු කල රසිකයන් හද දීනු ගීත දාමය. මෙහිදී 1955 සිට 1980 දක්වා යුගය පමණක් සැලකිල්ලට ගනු ලැබීය.

මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ – ධර්මදාස වල්පොළ (හර්බට් එම්. සෙනවිරත්න – සේපාලි – 1958), සුදට සුදේ වලාකුළයි.. – ලතා වල්පොල (අරිසෙන් අහුබුදු – සංදේශය – 1960, සුනිල් සාන්ත), ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ (කරුණාරත්න අබේසේකර – කුරුලු බැද්ද – 1961, ආර් මුත්තුසාමි), හීන හතක් මැද විමනක් සැදුනයි… – ලතා (මඩවල එස් රත්නායක – ගැටවරයෝ- 1964, අමරදේව), වනන්තරේ ගල් අරණේ විමානේට… – මල්ලිකා පෙරේරා (සුගතපාල සෙනරත් යාපා – සාමා – 1965, ජයතිස්ස අලහකෝන්), මේ සිංහල අපගේ රටයි… – නන්දා මාලනී (මහගම සේකර – සාරවිට – 1965, අමරදේව), ආදරයේ රන් විමනේ මැණීක් හඳක්… – ලතා (ධර්මසිරි ගමගේ – සැනසුම කොතැනද – 1966, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස), පරවුණු මල්වල සුවඳ අතීතේ.. ආචාර්ය සුජාතා අත්තනායක (මහගමසේකර – පරසතු මල් – 1966, ආචාර්ය ලයනල් අල්ගම), ආදර නිල් දෑසේ මැණික් රුවක්… – නාරද දිසාසේකර (ධර්මසිරි ගමගේ – මනමාලයෝ – 1967, කේමදාස), ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා.. සුජාතා අත්තනායක (කරු අබේසේකර – දරුදුක – 1967, ටී ෂෙල්ටන් පෙරේරා), මගේ පුතුට මල් යහන සදන්නේ.. – සිසිර සේනාරත්න (ධර්මසිරි ගමගේ – පුංචිබබා – 1967, සිසිර සේනාරත්න), සරා සොඳුරු මල් පැටලී.. – වික්ටර් රත්නායක සහ නන්දා මාලනී (මහගම සේකර, සුගතපාල සෙනරත් යාපා – හන්තානේ කතාව – 1969, කේමදාස), නිවන් පුරට මග පෙන්වන – අමරදේව (ධර්මසිරි ගමගේ – පූජිතයෝ – 1971, කේමදාස), රුවන් වලා තුළින් එබි ………. – එච් ආර් ජෝතිපාල සමග ශ්‍රීමතී තිලකරත්න (හෙන්රි ධර්මසේන – දැවෙන පිපාසය – 1971, සංගීත් නිපුන් පී වී නන්දසිරි), චන්දන ඇල්ලෙන් නාලා….ජෝතිපාල (ධර්මසිරි ගමගේ – සුජීවා – 1972, එම් එම් ඒ හක්), හැඟුම් විසිර දසඅතේ.. නන්දා මාලනී (ඔගස්ටස් විනයාගරත්නම් – ලොකුම හිනාව – 1972, කේමදාස), කුඩා ගමේ මද්දහනේ …සුනිල් එදිරිසිංහ (ධර්මසිරි ගමගේ -හුලවාලි – 1976, වික්ටර් රත්නායක), ළඳේ ..ළඳේ.. ළඳේ.. එච් ආර් ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක (කරුණාරත්න අබේසේකර – ටිකිරා – 1978, එම් කේ රොක්සාමි), සොඳුරු ලොවට මල් වැහැලා.. ජෝති සමග සුජාතා (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ – අපේක්ෂා – 1978, ක්ලැරන්ස් විජේවර්ධන), සුරංගනා ලොවින් බසින් කුමරියේ.. – ජෝති සහ ඇන්ජලීන් (උපාලි ධනවල විතාන – ජීවන කදුඵ – 1979, සරත් දසනායක)

සිනමාවෙන් බැහැර ‘ගුවන් විදුලි සහ වෙළෙඳ ගී තැටි’ මිහිර මතුකරගන්නට ද ‘වෝල්ට්ස්’ තාලරටාවේ හැඩතල යොදාගත් තවත් අවස්ථා විරළ නොවේ.

සුවඳ රෝස මල් නෙළා – සුනිල් සාන්ත, මේ නගරය මා ඔබ …(ප්‍රේමකිර්ති ද අල්විස්) – මර්වින් පෙරේරා, හඳහාමි සුදුහඳහාමි (මෙල්රෝයි ධර්මරත්න) – ශිරෝමි ප්‍රනාන්දු, සිහින් සිනිඳු දුහුල් රිදී – (ක්ලැරන්ස් විජේවර්ධන) – ත්‍රී සිස්ටර්ස්,සුවඳ රෝස මල්නෙළා , සඳවට රන්තරු කැකුළු .. – සී ටී ප්‍රනාන්දු, මධුර ප්‍රේම කල්පනා (නන්දා මාලනී), ජයසිරි මහ බෝධි – දයාරත්න රණතුංග, දෑසින් කියු ඒ හැගුම්..,(කේ ඩී කේ ධර්මවර්ධන) ඔබයි මමයි මැවූ සිහින (බන්ඩාර කේ විජේතුංග), මිල්ටන් මල්ලවාරච්චි

මාත්‍රා ත්‍රිත්වයකින් තාල විරාම තබන එය පෙරදිග සංගීත ශෛලියේදී සමපාත වන්නේ ‘දාදරා’ තාලයටය. එහෙත් එය පෙරකී ‘වොල්ට්ස්’ රටාව ට වඩා මඳක් වේගවත් බව න්‍යායාත්මකව කරුණ හැදැරූවන්ගේ අදහසයි. දේශීය සංගීතයේ බෙරවාදනයේදී මැදුම් තනි තිත’ ද ඊට සමීප වෙයි. (දොං – ජි – ජි – ගත).

ලොව පවතින කුමනාකරයේ සංගීත ශෛලියකට අනුව විවිධාකරයෙන් නම් කරනු ලැබුවත් අදාළ ළයමානය එකමය. ඒ අනුව ඉහත ගීතපෙළ පෙරදිග සංගීතයේ ‘දාදරා’ තාලයට අනුගතය. එමෙන්ම බටහිර සංගීතයේ ‘වෝල්ට්ස්’ ළයමානය අනුගමනය කරයි. පෙරදිග සංගීත වාද්‍ය රසය උපදවන ‘තබ්ලා’ ව හෝ බටහිර නාදරසය පුබුදුවන ‘ඩ්‍රම්ස්’ යොදාගෙන මෙන්ම අවැසි නම් ඒවායේ තාලය ‘මැදුම් තනි තිත’ අනුව ද වයා ගීතයේ රසය විඳගතහැකි නොවන්නේද ?

● ප්‍රභාත් රාජසූරිය

(විශේෂ ස්තුතිය – විශ්‍රාමලත් සංගීතාචාරිනී විශාරද දර්ශනී චන්ද්‍රසේන සහ සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න මහත්ම මහත්මීන්ට)

advertistmentadvertistment
advertistmentadvertistment