සීයා මුණුපුරා මිණිපිරිය රිය අනතුරකින් මරුට

953

හැටට හැටේ ආ කැන්ටර් රථය පවුලක්ම විනාශ කරයි
මිල්ලගහදූවෙන් ශෝකාන්ත කතාවක්

ඇල්පිටිය පොලිස් වසමේ ගනේගොඩ කැටපොළ පල්ලිය අසල දී සිදුවූ මාරක රිය අනතුරිකින් එකම පවුලේ සීයා, මුනුපුරා සහ මිනිබිරිය මරුමුවට පත්වී අම්මා සහ ආච්චි බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරෙන් මරුමුවට පත්ව ඇත්තේ වල්අබගල, මිල්ලගහදූව පදිංචි කාලින්ග නිහාල් සෝමරත්න (66), ප්‍රනාන්දු තිනුර (10) සහ ප්‍රනාන්දු ටෙනුරි (08) නමැත්තන්ය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති දරුවන් දෙදෙනාම අම්බලන්ගොඩ බුද්ධදත්ත විදුහලේ 05 වසරේ සහ 03 වසරේ ඉගෙනීම ලැබූ අය වෙති.

අනතුරෙන් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ කාලින්ග ජීවනී සෝමරත්න (35) (දරු දෙදෙනාගේ මව) සහ මද්දගේ වයලට් ඉන්ද්‍රානි (61) (දරු දෙදෙනාගේ මිත්තණිය) නමැත්තන්ය.

එම දෙදෙනාම ශල්‍යකර්මවලට භාජනය කර ඇති බවත් එම දෙදෙනාගේ තත්ත්වය ද අසාධ්‍ය බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙක් පැවසීය

අනතුරෙන් මියගිය දරු දෙදෙනාගේ වැඩිමහල් සොයුරිය වන ප්‍රනාන්දු චතුනි කවීශා (19 ) යන අය ද සුළු තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මියගිය සෝමරත්න මහතාගේ බිරිඳගේ මහගෙදර වන මතුගම යටදොල ප්‍රදේශයට යෑම සඳහා සෝමරත්න මහතාට අයත් ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී අවිත්තාව දෙස සිට තරුණ පිරිසක් පටවාගෙන අධික වේගයෙන් කැටපොළ දෙසට ධාවනය කර ඇති කැන්ටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි ව අධික ශබ්දයක් නගමින් ත්‍රිරෝද රථයේ ගැටී, ත්‍රිරෝද රථය මීටර් 25 ක් පමණ ප්‍රතිවිරුද්ධ දිශාවට ඇදගෙන ගොස් ඇති බව මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන ඇල්පිටිය පොලිසියේ රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

අනතුරුව සිදුවූ වහාම රියැදුරා සහ කැන්ටර් රථයේ පැමිණි පිරිස පලාගොස් ඇති අතර ඊට පැය කිහිපයකට පමණ පසු රියැදුරා ඇල්පිටිය පොලිසියට පැමිණ භාර වී ඇත.

ඇල්පිටිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පරීක්ෂක අනුර විජේසිංහ මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල පද්මකුමාර, පොලිස් සැරයන් ප්‍රේමතිලක යන නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.

ඇල්පිටිය – විදානආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment