7 වැන්නෙන් හෙළිවන සහකරු හෝ සහකාරියගේ වතගොත

185

විවාහවීමට පෙර තරුණයකුට හෝ තරුණියකට තම සහකරු හෝ සහකාරිය පිළිබඳ දහසකුත් එකක් සිහින මැවෙනු ඇත. මංගල යෝජනා ඉදිරිපත් වූවත් විවිධ හේතුන් නිසා ඒවා වෙනස් වන අවස්ථා ඒමටය. තම දුවට හෝ පුතාට සුදුසු සහකාරියක් සොයාදීම ඇතැම් දෙමාපියන්ට කොතරම් දුෂ්කර ප්‍රශ්නයක්ද?

ඔබේ ලග්නය කුමක් වුවත් එම ලග්නයෙන් සත්වන භාවය විවාහය පිළිබඳ තොරතුරු හෙළි කරයි. සහකරු හෝ සහකාරියගේ තොරතුරු පරීක්ෂා කළ යුත්තේ හත්වැන්නේ සිටය. හත්වැන්නේ රවි, සඳු ආදී ග්‍රහයන් නව දෙනාගෙන් යම් ග්‍රහයොත් සිටියේ නම් ඒ අනුව පෙම්වතාගේ හෝ පෙම්වතියගේ තොරතුරු පරීක්ෂා කළ යුතුය.

හත්වැන්න තම පෙම්වතියගේ හෝ පෙම්වතාගේ ලග්න ස්ථානයයි. ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ ස්වරූපය, පෞරුෂත්වය හා ඇඟපසඟ ගැන හත්වැන්නෙන් බැලිය යුතුය. ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ, කල්ක්‍රියාව, උස් පහත් බව, චපල හෝ සෘජු ගති ආදිය හත්වැන්නෙන් පරීක්ෂා කළ යුතුය.

හත්වැන්නේ සඳු, සිකුරු ආදී සෞම්‍ය සුබ දෘෂ්ටියෙන් බලවත්ව සිටීමෙන් ලස්සන ප්‍රියංකර පෙනීමෙන් යුත් ස්වාමියෙක් හෝ භාර්යාවක් ලැබේ.

රවි සුබ දෘෂ්ටියෙන් බලවත් හත්වැන්නේ සිටීම ඉතාම යහපත්ය. සහකරු හෝ සහකාරිය තද ආශා ඇති දියුණු විය හැකි පරාර්ථකාමී කෙනෙකි.

සඳු බලවත්ව හත්වැන්නේ සිටීමෙන් සහකාරි හෝ සහාකරු සදාචාර සම්පන්න ඉතා ලස්සන අයෙක් වේ. සියුම් බුද්ධියක් ද ඇත.

හත්වැන්නේ සඳු බලවත්ව සිටියදී හත අධිපතියා එකොළහ, දෙක, නමය, පහ, දහය වැනි භාවයක සිටී නම් ඉතාම යහපත්ය. රූමත් ධනවත් සහකාරයෙක් හෝ සහකාරියක් ලැබීමට ඉඩ තිබේ.

ගුරු හත්වැන්නේ බලවත්ව සිටීම ගුණගරුක යහපත් කීර්ති ප්‍රශංසා ලබන ජනාදරයට පත්වන දිගුකල් ජීවත්වෙන ස්වාමියෙක් හෝ භාර්යාවක් ලැබීමට ඉඩ ඇත.

සුබ දෘෂ්ටියෙන් බලවත්ව යහපත් සේ සිකුරු හත්වැන්නේ සිටීම ඉතා සුබ ග්‍රහ පිහිටීමකි. තමාට ප්‍රියමනාප රූ සපුවකින් යුත් ගුණවත් සහකාරියක් හෝ සහකරුවෙක් ලැබේ.

කුජ සුබ දෘෂ්ටි ආදියෙන් බලවත්ව සිටීමෙන් පුන් පියවුරු වලින් යුත් සුරූපී සහකාරියක් ලැබීමේ භාග්‍ය සහකරුට ඇත. කාන්තාවකට මෙම යෝගය තිබීමෙන් මනා අඟපසකින් යුතු කාය ශක්තිය ඇති ස්වාමියෙක් ලැබීම ස්ථිරය.

සෙනසුරු බලවත්ව සිටින අයෙක් ඊට සමාන ග්‍රහ පිහිටීම් ඇති අයෙක් හා විවාහ වන්නේ නම් ඉතාම සාර්ථක යුග දිවියක් ගත කිරීමට හැකිවනු ඇත. එසේ වනුයේ සමාන ලිංගේන්ද්‍රියන් හා යෝනි මාර්ගය ඇති බැවිනි.

ජ්‍යොතිෂවේදී සිසිර කුමාරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment