පැන්සලකින් ලියන ව්‍යවස්ථා සංශෝධන!

46

බ්‍රිතාන්‍යයේ එක්තරා පුද්ගලයෙක් පුස්තකාලයකට ගොඩ වුණා. ඔහුට අවශ්‍ය වුණේ ලෝකයේ විවිධ රටවල්වල ව්‍යවස්ථාවන් ගෙන පරිශීලනය කිරීම. විවිධ රටවල ව්‍යවස්ථා ග්‍රන්ථ සොයමින් පැමිණි මේ පුද්ගලයා පුස්තකාලාධිපති වෙත ගියා.

“මට හැම රටකම ව්‍යවස්ථාවන් යාළුකම ව්‍යවස්ථා කියන රාක්කයේ දී හොයාගන්න පුළුවන් වුණා. ඒත් මට එක ගැටලුවක් තියෙනවා”

ඔහු පුස්තකාලාධිපති ට කීවා.

“මොකක්ද ගැටලුව?”

“මෙතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තියෙන පොත් ගොඩේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැහැනේ?

ඔහුගේ ප්‍රශ්නයට පුස්තකාලාධිපති සිනාසුනා.

“ඒක තියෙනවා. හැබැයි තියෙන්නේ අර වාර ප්‍රකාශන තියෙන තැන”

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන පිළිබඳව සැලකිල්ලට ගන්නා විට එය පුදුමයක් නොවේ. අවස්ථාවාදී ලෙස, දේශපාලන බල න්‍යාය පත්‍ර මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමඟ සෙල්ලම් කිරීමේ ආදීනව අතිශයෙන් බරපතළයි. අවාසනාවකට අපේ රට එහෙම සෙල්ලම් කරමින් සිටින රටක්.

සාමාන්‍යයෙන් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ සිදු කරන්නේ ව්‍යවස්ථා සම්පාදන කාර්යයට දායකවීම. එහෙත් එවන් වගකීම් සහගත කාර්යකදී පවා මහජන නියෝජිතයන් මොනතරම් නිවටව සහ ප්‍රතිපත්තියකින් තොරව හැසිරුණාද යන්න ගැන ඕනෑතරම් සාක්ෂි තිබෙනවා. එකිනෙකට පරස්පර 17, 18, 19, 20 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හතරටම අත ඉස්සූ පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිනවා. එහෙම සිටිනවා පමණක් නොවෙයි එය සාධාරණීයකරණය කිරීමට අවම සාධාරණ හේතුවක්වත් හොයා ගන්නට නොහැකිව ඔවුන් ගත වෙන අවස්ථා බොහෝ තිබෙනවා.

17 වැනි සංශෝධනය උදෙසා ජනතා විමුක්ති පෙරමුණ විශාල බලපෑමක් කළා. 18 වන සංශෝධනය තුළ ජනාධිපති ධුරය සඳහා වැඩි වාර ගණනක් තරග කරන්න පුළුවන් කියන ඉඩකඩ හදා ගැනීමත් ප්‍රධාන අරමුණක් වුණා. දහනමවෙනි සංශෝධනය ගේනකොට විපක්ෂය චෝදනා කළා විධායක අගමැති වෙලා බලය තමන්ගේ අතට ගන්නයි සූදානම් කියලා. 20දි වුණේ ජනාධිපති බලය ශක්තිමත් වෙලා තමන්ගේ අතට අරගන්න එක. ද්විත්ව පුරවැසිකම දාලා, සහෝදරයගෙ වුවමනාවන් ඉටු කරන්නත් ඒක පාවිච්චි කළා. විසි දෙකෙන් වෙන්නෙත් රටත් ලෝකයත් තවත් ඇස් බැන්දුමක රවට්ටන එක.

ඇත්ත වශයෙන්ම අපේ රටේ දේශපාලන අවස්ථාවාදය හේතුකොටගෙන ව්‍යවස්ථා සම්පාදන සිදුවූ අවස්ථා ප්‍රමාණවත් තිබෙනවා. සිදුවිය යුත්තේ ජනතා අපේක්ෂාවන් මත ව්‍යවස්ථාවක හෝ ඕනෑම කටයුත්තක සංශෝධන සිද්ධ වීමයි. නමුත් සිදුව ඇති ඉතිහාසයෙන් ඔප්පු වන්නේ එය ඊට වඩා සහමුලින් වෙනස් බවයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ විජයදාස රාජපක්ෂ මහතායි. එම සංශෝධනය වෙනුවෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් විශාල වැඩ කොටසක් කරපු විජයදාස රාජපක්ෂ මහතා විසින්ම අද විසිදෙවෙනි සංශෝධනය අරගෙන එනවා. එකිනෙකට පරස්පර සංශෝධන එකම පුද්ගලයෙකු විසින් ගෙන ඒමෙන්ම මෙහි විහිළු බව වඩාත් පැහැදිලි වෙනවා.

22 වැනි සංශෝධනය අතිශයින් භයානකයි. ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ ඉඳලා සියල්ල මෙහෙයවීමේ බලය ජනාධිපතිවරයාට නතු වෙනවා. ඒ වගේම 18 වැනි සංශෝධනයෙන් තහවුරු කර තිබෙන ඒකාධිපති බලතල සියල්ල නැවතත් ගෙන ඒමක් සිදු වෙනවා. 21 වැනි සංශෝධන යෝජනාව දේශපාලන පක්ෂවලට බලපානවා නම්, 22 වැනි සංශෝධන යෝජනාව මුළු රටේ ම ජන ජීවිතවලට බලපෑම් සිදු කරනවා.

ලෝකයේ ප්‍රථම වරට ආණ්ඩුකරණයේදී ක්‍රියාකාරීව මහජනයාට සම්බන්ධවීමට අවස්ථාව ලබාදුන් පළමු රට වශයෙන් ස්විස්ටර්ලන්තය වාර්තාවෙනවා. එය ‘ජනප්‍රිය ප්‍රාරම්භනය’ ලෙස හැඳින්වෙනවා. මහජනයාට නීති සම්පාදනයට සහ ප්‍රතිපත්ති සම්පාදනයට දායක වී ඊට බලපෑම් කිරීමේ හැකියාව ඒ හරහා උදා වෙනවා. අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කරගත හැකි බලයක් සෘජුව ජනතාවට පැවරී තිබෙනවා. 2013 දී ඉතාලිය, 2014 දී ජර්මනිය සිය ආණ්ඩුක්‍රමයට මෙම ක්‍රමය එක් කරගන්නවා. ඊට අමතරව තමන් තෝරා පත්කරගන්නා මන්ත්‍රීවරුන් ආපසු කැඳවීමේ බලය මහජනයාට ලබාදෙන අයුරින් පනතක් එක්සත් රාජධානිය විසින් 2016 දී නීතිගත කරනවා. මේවා ප්‍රජාතන්ත්‍රවාදයේ නව විශිෂ්ට ලක්ෂණ.

ව්‍යවස්ථාවක් යනු රටක අතිශයින්ම සුවිශේෂී ලියවිල්ල. ඒ ලියවිල්ල සමග අවස්ථාවාදී ලෙස සෙල්ලම් කිරීමෙන් සිදුවන අගතිය සුළුපටු නැහැ. බොහෝ විට එය පරම්පරා ගණනාවකට ම වන්දි ගෙවන්නට සිදුවන හේතුවක් වෙනවා.

ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවනවා නම් සිදු විය යුත්තේ එය ධර්ම සංගායනාවක් තරම්ම ප්‍රවේශමෙන්. මක්නිසාදයත් එය බලනොපාන පුද්ගලයෙක් නැති තරම් නිසා. අවාසනාවට ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන ලියැවෙන්නේ පැන්සලකින් හෝ රටහුණු කැබැල්ලකින් දැයි සැක හිතෙනවා. එලෙස ලියූ විට ඕනෑම පුද්ගලයකුට එය මකා දමා තමන්ට ඕනෑ ලෙස ලිවිය හැකි යි.

යේල් සරසවියේ දේශපාලනය විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබට් බාල් විසින් කළ ප්‍රකාශයකින් මේ සටහන සමාප්ත කරනු කැමැත්තෙමි.

“හැම වැඩිහිටියෙකුම පාහේ දේශපාලන ක්‍රමය තුළ ඡන්දය භාවිත කළත් දැනුම, ධනය, සමාජ තත්ත්වය, විධායකය මෙහෙයවීමේ හැකියාව සහ අනෙකුත් සියලු සම්පත් අසමාන ලෙස බෙදී ඇති විට ඇත්තටම ආණ්ඩු කරන්නේ කවුද? ”

දසක හයකට අධික කාලයකට පෙර මහාචාර්ය රොබට් ඩාල් නැගූ ප්‍රශ්නය අදටත් ලෝකයටද ශ්‍රී ලංකාවටද වලංගු යැයි සිතමි.

advertistmentadvertistment
advertistmentadvertistment