හේග් නුවරට ජනපති පුටින් රැගෙන ඒම සිහිනයක්ද?

350

ජාත්‍යන්තර අපරාධ අධිකරණය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා තිබේ. “රෝම ප්‍රඥප්තිය” නමින් 1998 ගිවිසුමක් යටතේ මෙම අධිකරණය පිහිටුවන ලදී. එය ජාත්‍යන්තර ප්‍රජාව සැලකිල්ලක් දක්වන බරපතළම අපරාධ: ජන සංහාරය, යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ආක්‍රමණශීලී අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයන් විමර්ශනය කරන අතර, එසේම අවශ්‍ය නම්, නඩු විභාග කරයි.” වර්තමානයේ, බ්‍රිතාන්‍යය, ජපානය, ඇෆ්ගනිස්තානය සහ ජර්මනිය ඇතුළු රටවල් 123 ක් රෝම ප්‍රඥප්තියට පක්ෂ වේ. කෙසේ වෙතත්, ඇමෙරිකාව මෙම අධිකරණයේ පාර්ශ්වකරුවෙකු නොවන රටවල පුරවැසියන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය තම බලය ක්‍රියාත්මක නොකළ යුතු බව පවසයි. එසේම ඉන්දියාව සහ චීනය ද මෙහි සාමාජිකත්වයෙන් වැළකී ඇත.

2022 නොවැම්බරයේදී, මේ අධිකරණය උගන්ඩාවේ ක්‍රිස්තියානි සටන්කාමි ව්‍යාපාරයේ නිර්මාතෘ ජෝසෆ් කෝනිට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන ලදී. මොහු පැහැරගත් දරුවන් සොල්දාදුවන් බවට පත් කර ඇති බවත් මිනීමැරුම්, කුරිරු සැලකීම, වහල්භාවය, ස්ත්‍රී දූෂණ සහ පැහැරගැනීම් යන චෝදනා ඉදිරිපත් කර තිබුණද , ඔහු තවමත් නිදහස්ව සිටියි. මෙතක් අත්අඩංගුවට ගෙන නොමැත. අප අද ජාත්‍යන්තර අපරාධ අධිකරණය ගැන කතා කරන්නේ ලංකාවේ ප්‍රශ්නයකට නොවේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස්දෙනා අයත් වන රටවලින් එක් රාජ්‍ය නායකයකුට එනම් රුසියානු ජනපති පුටින් මහතාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කළ පළමු අවස්ථාව උදාවී ඇති නිසාය. මෙය ලෝකය කළඹන ව්‍යාකූල තත්ත්වයක් උදා කිරීමට සමත්ව ඇත.

රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් සහ ඔහුගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස් මරියා ලොවෝවා බලෝවා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරුන් විසින් වරෙන්තු නිකුත් කර තිබෙන්නේ පසුගිය සිකුරාදා දිනයේය. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසා තිබුණේ ඔවුන් යුක්‍රේනයේ සිට රුසියාවට නීති විරෝධී ලෙස ළමුන් පිටුවහල් කිරීමේ යුද අපරාධය සම්බන්ධයෙන් සැක පළ කරන බවයි. එවැනි පිටුවහල් කිරීම් සඳහා ජනාධිපති පුටින් තනි පුද්ගල සාපරාධී වගකීමක් දරන බව විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බව ද ප්‍රකාශයේ දැක්වෙයි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී රුසියාව විසින් යුක්‍රේනය වෙත පූර්ණ ආක්‍රමණය දියත් කළ දා සිට මෙම අපරාධය සිදු කළ බවට චෝදනා නඟා තිබේ.

පසුගිය වසරේ සිට මේ දක්වා ළමුන් 16,000 කට අධික සංඛ්‍යාවක් රුසියාවට හෝ රුසියාවේ පාලන ප්‍රදේශවලට මාරු කර යවා ඇතැයි සැලකෙන බව යුක්‍රේන ආණ්ඩුව ඇස්තමේන්තු කර තිබේ. යුක්‍රේන දරුවන් බලහත්කාරයෙන් පිටුවහල් කිරීම යුද අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ විමර්ශකයන් මීට පෙර පවසා තිබුණි. මේ නවතම තත්ත්වය ගැන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය අපරාධ යුක්තිය පිළිබඳ කාර්යාලයේ ප්‍රධානියා වන හිටපු තානාපති ස්ටීවන් රැප් පවසන්නේ “මෙය පුටින් ජනපති වරදකරුවෙකු බවට පත් කරයි ඔහු ගමන් බිමන් ගියහොත් ඔහු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තිබේ. මෙය කිසි විටෙකත් පහව යන්නේ නැත.” පුටින් හේග්හි නඩු විභාගයකට ලක් කරනු නොලැබුවත් ඔහු වැඩි වැඩියෙන් හුදකලා වන අතරම මේ චෝදනා ඔහු මියයන තුරුම පවතිනු ඇත” යනුවෙන් රැප් පැවසීය.

රුසියාවේ විදේශ අමාත්‍යාංශය තම ජනපතිවරයාට එරෙහි වරෙන්තුව නිෂ්ප්‍රභ කළේ රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පාර්ශ්වකරුවෙකු නොවන බව සඳහන් කරමිනි. කෙසේ වෙතත්, පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව බටහිර රටවල ඔහුගේ හුදකලාභාවය වඩා වැඩිවන අතර ඔහුගේ විදේශ ගමන් සීමා වේ. ජනපතිවරයා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පාර්ශ්වකරුවෙකු වන රටකට සංචාරය කරන්නේ නම්, අදාළ රට ජාත්‍යන්තර නීතිය යටතේ ඇති බැඳීම් අනුව ඔහුව අත්අඩංගුවට ගත යුතුය. යුක්‍රේන දරුවන් පැහැරගැනීමේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනපති පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ගත් තීරණයට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහාය පළ කර ඇති අතර ඔහු පවසා ඇත්තේ එම තීරණය “සාධාරණයි” යනුවෙනි. මීට පෙරද ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයේ ආක්‍රමණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරවාරයේ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් “යුද අපරාධකරුවෙකු” ලෙස හඳුන්වා තිබිණි. ජර්මනියේ චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් මෙම තීරණය පිළිගෙන ඇති අතර පසුගිය සෙනසුරාදා කියා සිටියේ එය “කිසිවෙකු නීතියට ඉහළින් නැත” බවයි. යුක්‍රේන ජනපතිවරයා තම සතුරු රටේ ජනපතිට එරෙහි මෙම තීරණය ඓතිහාසික බව පවසා තිබේ.

රුසියානු පාර්ලිමේන්තුවේ කථානායක වී. වොල්දින් පවසා ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයාට එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් අපේ රටට එරෙහි ආක්‍රමණ ලෙස සලකන බවයි. මේ තීරණයක් සමග රුසියාව හා බටහිර ලෝකය අතර ගැටුම තවත් උග්‍රවන බව රහසක් නොවේ. යුක්‍රේන ආක්‍රමණය වඩා සාධාරණීකරණය සඳහා මේ අධිකරණ තීන්දුව පුටින් පක්ෂපාති අය විසින් යොදාගනු ඇත. රුසියානු ජනතාවටද තම ජනපතිවරයා වෙනුවෙන් පෙනීසිටිය යුතු කාලය එළඹ ඇති බවට මතයක් සමාජගතවනු ඇත. එහෙත් මෙම වරෙන්තුව රුසියානු නායකයාගේ තත්ත්වයේ සුළු වෙනසක් හෝ සිදු නොකරන බව පුටින්ගේ විරුද්ධවාදීන් පවා පිළිගන්නා බව බ්‍රිතාන්‍ය මාධ්‍ය කියයි. කෙසේ නමුත් විදේශයන්හි සිට ක්‍රියාත්මක රුසියානු විපක්ෂ කණ්ඩායම් මේ වරෙන්තුව අගයා ඇත. “ඔව්, ඒක සංකේතාත්මක පියවරක්. නමුත් මොනතරම් වැදගත් එකක්ද,” සිරගතව සිටින විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ සමීප සගයෙකු වන ලියොනිඩ් වොල්කොව් පවසා තිබේ.

බටහිරට අවශ්‍ය යුගෝලාස්වියානු හිටපු ජනාධිපති ස්ලොබාදාන් මිලෙසොවික් මහතා යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර විභාග කළ ආකාරයට පුටින්ටද සැලකීමටය. නමුත් එය සිහිනයක් පමණකි. යුගෝලාස්වියානු හිටපු ජනාධිපති ස්ලොබාදාන් මිලෙසොවික් මහතා යුද අපරාධ චෝදනා සඳහා අත්අඩංගුවට ගත්තේ 2001 දීය. 2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඔහුට යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ වෙනුවෙන් චෝදනා කරනු ලැබිණ. වසර 5ක් තිස්සේ සිරකූඩුවට වී තමන්ට එරෙහි ව ඉදිරිපත් කළ එම චෝදනාවලට පිළිතුරු දෙමින් සිටි ඔහු 2006 මාර්තු 11 වන දින සිය සිරකුටියේදීම මරණයට පත්විය විය. වසර 14කට පසුව හේග් නුවර අපරාධ අධිකරණය පැවසුවේ මිලෙසොවික් යුද අපරාධ සඳහා වැරදිකරු නොවන බවයි. නමුත් ඒ වින විට ප්‍රමාද වැඩිය. හිටපු යුගෝස්ලෝවියානු ජනාධිපති මියගොස් තිබිණ. එයට ඇමරිකාව ප්‍රමුඛ බටහිරය, එක්සත් ජාතීන්ගේ සංගමය හා ජාත්‍යන්තර මාධ්‍ය වගකිව යුතුය. ඔවුන් විසින් මිලෙසොවික්ව හැඳින්වූයේ බෝල්කනයේ ඝාතකයා ලෙසයි.

මේ වරෙන්තුවත් සමග චීනය හා රුසියාවේ බැඳීම තවත් ශක්තිමත්වන බව පැහැදිලිවන්නේ අද චීන ජනාධිපතිවරයා ජනපති පුටින් හමුවීමට මොස්කව් නුවරට පැමිණීමට නියමිත නිසාය. රුසියානු ජනාධිපතිගේ ආරාධනය මත අද දින සිට බදාදා දක්වා චීන ජනාධිපති ෂී ජින්පින් මොස්කව් හි රැඳී සිටිමින් දෙරටටම ද්වී පාර්ශ්වීය වශයෙන් වැදගත්වන ලියකියවිලි රැසක් අත්සන් කිරීමට නියමිත බව පැවසේ. පසුගිය සතියේ චීනය විසින් යුක්‍රේන යුද්ධය නිමා කිරීම වෙනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබූ අතර යුරේපා රටවල් ඒ කෙරේ දැක්වූයේ ඇල්මැරුණු පිළිගැනීමකි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මීට පෙර ප්‍රකාශ කර ඇත්තේ චීන ආණ්ඩුව රුසියාවට ආයුධ සහ පතොරම් සැපයීම පිළිබඳ සැලකිලිමත්වීම ගැන අනතුරු අඟවන බවත්ය. කවරක් නමුත් චීනය රුසියාවට ඇතිතරම් ආයුධ සපයන බව රහසක් නොවේ. දැන් ලෝකය චීන – රුසියානු හා ඇමෙරිකානු යුක්‍රේන, බටහිර පාර්ශ්වය ලෙස පැහැදිලිව කොටස් දෙකකට බෙදී ඇත. මෙය නොනවතින බල අරගලයකි. එහි ප්‍රධාන කොටසක් ලෙස ජනපති පුටින්ට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර ඇත.

ඉකුත් වසරේදී චීන ජනපතිවරයා හා සහ රුසියානු ජනපති ව්ලැදීමීර් පුටින් බීජිංහිදී මුහුණට මුහුණ හමුවූ අතර, ඒකාබද්ධ ලියවිල්ලකට අත්සන් කිරීමෙන් අනතුරුව ඔවුහු ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භය නැරඹීමට ද පිටත්ව ගියහ. එහිදී චීන ජනපති ෂී ජින්පිං ප්‍රකාශ කළේ, රුසියාව සමග අලුතින් ශක්තිමත් වූ චීන සබඳතාවට “සීමාවක්” නොමැති බව යි. ක්‍රීඩා උළෙල අවසන් වී දින කිහිපයකට පසු රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේ ය. චීනය රජය යුක්‍රේන ආක්‍රමණය හෙළා දැකීම හෝ අනුමත කිරීම නොකළ අතර, එය ‘ආක්‍රමණයක්‘ ලෙස හැඳින්වීමෙන් පවා වැළකී සිටියේය. තම විදේශ ප්‍රතිපත්තියේ මූලික ප්‍රතිපත්තියක් වන්නේ අන්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම බව චීනය සැමවිටම ප්‍රකාශ කර ඇත.

හේග් නුවරට ජනපති පුටින් රැගෙන ඒම සිහිනයක්ද?

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment