චාලක රණසූරියගේ ‘හතරැස් රවුමක හවසක්’ කෙටි නාට්‍ය ත්‍රිත්වය අද (26 වැනිදා) සවස 3.30ට හා 6.30ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හි දී වේදිකා ගත කෙරේ. චාලක රණසූරිය සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.
ප්‍රේක්ෂකාගාරවල පිබිදීමක් - චාලක රණසිංහ

● චාලක මොකක්ද මේ හතරැස් රවුමක හවසක්?

ඇත්තට ම හතරැස් රවුමක හවසක් කියන්නේ කෙටි නාට්‍ය ත්‍රිත්වයක්. හුඟක් වෙලාවට කෙටි නාට්‍යය කියන එක අපේ රටේ නාට්‍ය උළෙලවල් වලට සීමා වෙනවා. නමුත් මම කරපු කෙටිනාට්‍ය විවිධ අවස්ථාවල ප්‍රදර්ශනය වුණා. විශ්වවිද්‍යාලවල රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල වෙනම වේදිකා නාට්‍යයක් නැරඹීමට එන ප්‍රේක්ෂකාගාරයක් නොවුණු තැන්වල පවා අපි මේ කෙටිනාට්‍ය ප්‍රදර්ශනය කළා. නමුත් කෙටි නාට්‍ය තුනක් මේ විදිහට එකතු කරලා ප්‍රදර්ශනය කරන්න උත්සාහ කළේ ඒ සියලු ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. ඉතින් මේ සිකුරාදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී වේදිකා ගත වෙනවා සවස තුනයි තිහට සහ හයයි තිහට. ඒක තමයි මේ හතරැස් රවුමක හවසක්.

● කෙටි නාට්‍ය තුනක් එකම දවසේ කෙටි වෙලාවක පෙන්වන්න විශේෂ හේතුව මොකක්ද?

ඇත්තටම කේවල නිර්මාණයක් විදිහට එක කෙටි නාට්‍යයක් පමණක් රඟහලක ප්‍රදර්ශනය කරන්න අමාරුයි. මොකද මේ කෙටි නාට්‍ය රංග කාලය පැය භාගයක් විනාඩි 25 ක් වගේ කාලයක් තියන්නේ.

ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් අසාධාරණයක් වෙනවා, එක කෙටි නාට්‍යයක් විතරක් ප්‍රදර්ශනය කළොත්. ඒ නිසා හුඟක් වෙලාවට කෙටි නාට්‍ය ප්‍රදර්ශනය කරන්නේ කෙටි නාට්‍ය තුනක් විතර එකතු කරලා තමයි. පසුගිය කාලය පුරාවට ම කරපු මගේ තව කෙටි නාට්‍ය කිහිපයක්ම තියෙනවා. නමුත් මෙතැන දී ගත්තේ තෝරා ගත්ත කෙටි නාට්‍ය තුනක්.

● කෙටි නාට්‍ය බලන්න ප්‍රේක්ෂකයෝ කැමතිද?

ඇත්තට ම ප්‍රේක්ෂකයෝ කෙටි නාට්‍ය නරඹන්න කැමැතියි. නමුත් තවමත් ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට කෙටි නාට්‍ය කියන එක ටිකක් දුරයි. එකට හේතුව තමයි කෙටි නාට්‍යය කියන එක අපේ රටේ හුඟක් වෙලාවට ප්‍රදර්ශනය වුණේ නාට්‍ය උළෙලවල විතරයි. රාජ්‍ය නාට්‍ය උළෙල, යෞවන සම්මාන නාට්‍ය උළෙල ඒ විදිහට ගත්තහම වේදිකාවෙන් මහපොළොවට ජයවර්ධනරපුර විශ්වවිද්‍යාලයෙන් කරන කෙටි නාට්‍ය උළෙල මේ වගේ නාට්‍ය උළෙල කිහිපයක් ආශ්‍රිතව තමයි ලංකාවේ ප්‍රේක්ෂකයන්ට කෙටි නාට්‍ය නරඹන්න අවස්ථාවක් ලැබුණේ. නාට්‍යකරුවන් කිහිප දෙනෙක් පමණක් තමන්ගේ කෙටි නාට්‍ය ත්‍රිත්වයක් එහෙම නැත්නම් හතරක් මේ විදිහට අරන් ගිය අවස්ථා තියෙනවා. දැනටත් එහෙම අරගෙන යනවා. නමුත් දිගු වේදිකා නාට්‍යයක් බලන තරම් කෙටි නාට්‍යයක් බලන්න ප්‍රේක්ෂකයන්ට හුරු පුරුදු නැහැ. නමුත් ප්‍රේක්ෂකයෝ කැමැති කෙටිනාට්‍ය නරඹන්න. ඒක අපි නාට්‍යකරුවෝ විදිහට අත්විඳලා තියෙනවා. ඉතින් මේ උත්සාහ කරන්නෙත් ඒ කැමැති ප්‍රේක්ෂකයෝ තව තවත් ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන්න ගන්න.

ප්‍රේක්ෂකාගාරවල පිබිදීමක් - චාලක රණසිංහ

● මොනවද මේ කෙටි නාට්‍ය?

මෙතැන තියෙනවා මම මුලින්ම කරපු කෙටි නාට්‍යයක්. 2010 අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා, නිළිය ඇතුළු සම්මානනීය ඇගයීම් ගණනාවක් ලැබිච්ච බොක්ස් කියන නාට්‍යයක්. චාලක රණසූරිය කියන නාට්‍යකරුවා ගැන කතාබහ කරන්න පටන් ගත්තේ ඇත්තටම මේ බොක්ස් කියන නාට්‍යයත් එක්ක. මේක මගේ ජීවිතයත් එක්තරා හැරවුම් ලක්ෂයක් වෙන නාට්‍යයක්. මේක තනිකරම සිනමා ශාලාවක බොක්ස් ආසනයක් ඇතුළේ නාට්‍ය දිගහැරෙන්නේ. ඒ කියන්නේ ප්‍රේක්ෂකාගාර ඉස්සරහ අපි ගෙනැත් තියන්නේ සිනමා ශාලාවක තියෙන බොක්ස් ආසනයක්. ඉතිං මේ නාට්‍යය 2010 ඉඳන් මේ දක්වාම විවිධ අවස්ථාවල ප්‍රදර්ශනය කළා. එදා රඟපෑ රංගන ශිල්පීන්ම තමයි තාමත් ඉන්නේ. හෙලෝ නාට්‍ය ගැන කතා කරනවා නම් ඇත්තට ම ජංගම දුරකථන භාවිතය මොනතරම් හිතකර සහ අහිතකර විදිහට අපේ ජීවිතවලට බලපෑම් කරනවද කියන එක තමයි මේ නාට්‍යයෙන් කතා කරන්නේ. ඊළඟ නාට්‍යය තමයි මගේ අලුත්ම කෙටි නාට්‍ය ජොයින්ට් කියන කෙටි නාට්‍ය. පසුගිය රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මානනීය ඇගැයීමකට ලක් වෙච්ච නාට්‍යයක්. මේ නාට්‍යයෙන් කතා කරන්නේ දේව සංකල්පය කියන එක අපේ ජීවිතයට කොයිතරම් බලපාලා තියෙනව ද? මේක අලුත් නාට්‍යයක් නිසා මෙහි අන්තර්ගතය ගැන වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ජොයින්ට් කියන්නේ මොකක්ද කියලා ඇවිල්ලා බලන්න. ඉතින් මේ කෙටි නාට්‍ය ත්‍රිත්වය තමයි හතරැස් රවුමක හවසක් කෙටි නාට්‍ය උළෙලට ඇතුළත් වෙන්නේ.

● ලංකාවේ වේදිකා නාට්‍යවලට මේ වනවිට ලොකු පිබිදීමක් තිබෙනවා කියලා හිතනවද?

ඇත්තටම වේදිකා නාට්‍යවල පිබිදීමක් වගේම ප්‍රේක්ෂකාගාරවලත් පිබිදීමක් තියෙනවා. මොකද පසුගිය වසර ගණනාවක් පුරාම ලංකාවේ ප්‍රේක්ෂකාගාරවලින් වේදිකා නාට්‍ය ඈත්වෙලා තිබුණා. ආර්ථික අර්බුදය මොනතරම් අහිතකර ලෙස ජන ජීවිතයට බලපෑම් එල්ල කළත් ප්‍රේක්ෂකාගාරය අඩු වෙන්න බාධාවක් වෙලා නෑ. ප්‍රේක්ෂකයෝ වෙනදට වැඩිය නාට්‍ය නරඹන්න ප්‍රේක්ෂකාගාර වෙත එනවා. ඒ වගේම නාට්‍යයත් වෙනදට වැඩිය නිෂ්පාදනය වෙනවා.

ප්‍රේක්ෂකාගාරවල පිබිදීමක් - චාලක රණසිංහ

● හතරැස් රවුමක හවසක් රට වටා ගෙනියන්න සූදානම්ද?

ඔව්. හතරැස් රවුමක හවසක් කියලා වෙනම ම නමකුත් එක්ක රට වටා ගෙනයන්න සූදානමින් තමයි මේ ආරම්භ කරන්නේ. නාට්‍ය සංවිධායකයන් ගෙන් අපිට ආරාධනා ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා.

● මේ වගේ වැඩක් දිගටම කරන්න පුළුවන් කියල හිතනව ද?

ඇත්තටම අපි ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් නොවන විදිහට ප්‍රේක්ෂක ජන විඥානය මොන වගේ තැනකද තියෙන්නේ කියලා සවිඥානිකත්වය එක්ක නිර්මාණයක් කළොත් අපිට ඒක ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඉතින් මගේ හැම නිර්මාණයක්ම වගේ මම හුඟක් වෙලාවට කරන්නේ ප්‍රේක්ෂක ජන විඥානයට සමාන්තරව. ඒවා ප්‍රේක්ෂක ජන විඥානයට ඉහළින්වත් පහළින්වත් යන නිර්මාණ නෙවෙයි. මම කරන්නේ ප්‍රේක්ෂක ජන විඥානයට සමාන්තරව යන නිර්මාණ. ඒ නිසා හැමවිටම ප්‍රේක්ෂකයෝ මගේ නාට්‍යයත් එක්ක ඉන්නවා.

● නාට්‍යයක් කරා කියලා ඒවායේ නිෂ්පාදන වියදමවත් පියව ගන්න පුළුවන්ද?

ඔව්. ඇත්තටම මං කලින් කිව්ව වගේ අපි හොඳ නිර්මාණයක් කළොත් හොඳ නාට්‍යයක් කළොත් අනිවාර්යයෙන් මේ නිෂ්පාදන වියදම පියව ගන්න පුළුවන්. මගේ නාට්‍යයත් එක්කම බැලුවොත් මම මුලින්ම කරපු මාරක ළිඳේ සවාරියක් කියන නාට්‍යත් දර්ශන වාර පනහ ඉක්මවලා කළා. දර්ශන වාර පනහක් ප්‍රදර්ශනය කරන්න පුළුවන් කියන එක ලොකු ගාණක් නෙවෙය.ි නමුත් සැලකිය යුතු ප්‍රමාණයක්, ඒ වගේම මෑතක දීම කරපු අලුත්ම නාට්‍යය තමයි සඳුදා වැටෙන්නේ සිකුරාදට කියන නාට්‍යය. ඒක ඉතාම කෙටි කාලයක් තුළ දර්ශන වාර පනහ සීමාව පසුකරලා ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් ලැබුණා. බොක්ස් නාට්‍යයත් වෙනම කෙටි නාට්‍යයක් විදිහට ගත්තත් දර්ශන වාර පනහකට වැඩිය මේ වනවිට ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි හොඳ නිර්මාණයක් කළොත් ජන විඥානයේ හැසිරෙන්නේ මොන වගේ තැනකද කියන අවබෝධය මත නිර්මාණයක් කළොත් නිෂ්පාදන වියදම පියවගන්නවා කියන එක සාමාන්‍ය දෙයක්.

● දිනේෂ් විතාන

ප්‍රේක්ෂකාගාරවල පිබිදීමක් - චාලක රණසිංහ
advertistmentadvertistment
advertistmentadvertistment