බුදුගුණ භාවනාව

123

භාවනාව බුදුදහමේ අර්ථ දක්වා ඇත්තේ ‘කුසල ධර්මයන්හි සිත පුරුදු කරයි ද, වර්ධනය කරයි ද, ඒ අර්ථයෙන් භාවනාව නම් වේ” යනුවෙනි. කුසලය යනු නිවනට කේන්ද්‍රීය ධර්මයකි. එසේම කුසලය යනු ඉබේ වැඩෙන්නත් නොව දියුණු කිරීමෙන්ම ලැබිය යුත්තකි. ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම දෙකක් බුදු දහමේ පෙන්වා දෙයි. එනම් සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව වශයෙනි. මෙම භාවනා ක්‍රම දෙකෙන් සමථ භාවනාවට අයත් දස අනුස්සකි භාවනාවට අයිති බුද්ධානුස්සති භාවනාව මෙහිදී අවධානයට ගනු ලැබේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ අරමුණු කරමින් සිහිය පිහිටුවා ගැනීම බුද්ධානුස්සතිය නම් වේ. බුද්ධාලම්භන ප්‍රීතිය සිතට කාවද්දා ගැනීමේ පහසුව සඳහා කුඩා ප්‍රමාණයේ බුදුරුවක් තමා ඉදිරියේ තබා ගැනීම යෝග්‍ය වේ. ඉන්පසු මල් පහන් සුවඳ දුම් පූජාකොට තම භාවනා ආසනයෙහි සුදුසු ඉරියව්වකින් හිඳ බුද්ධාදී උතුමන් අනුගමනය කරන මම කුමන මාර බලයකින් වුවද නොසැලෙමි යන අදිටනින් යුතුව භාවනාවට සූදානම් විය යුතුය.

ඒ භාග්‍යවත් බුදුරජාණන් කෙළෙසුන් දුරු කළ බැවින්ද, රාග, දෝෂ මෝහ භංග කළ බැවින්ද අරහං වන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඤාණයෙන් යුතු ධර්මයක් දක්නා ලද හෙයින් සම්මා සම්බුද්ධ වන සේක ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයෙන් සමන්විත බැවින් විජ්ජාචරණ සම්පන්න වන සේක සුන්දර වචන ඇති බැවින් සුන්දර නිවන් මඟට යොමු කරනා බැවින් සුගත වන සේක. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන තුන් ලොව තතු දන්නා බැවින් ලෝකවිදූ වන සේක. දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ බැවින් පුරිසධම්මසාරතී වන සේක. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන ගුරුවරයා බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක. සියලු චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත් බැවින් බුද්ධ වන සේක. පුණ්‍යවන්ත වූ භාග්‍ය ලක්ෂණ ලබනා බැවින් භගවා වන සේක ආදී වශයෙන් බුදුගුණ සිහිකළ යුතුය. බුද්ධානුස්සති භාවනාව වැඩීම නිසා ඔබට මේ භවයේදීම පහත සඳහන් ආනිශංස ලබා ගත හැකිවෙයි.

  1. ඔබ විසින් කරනු ලබන බුදුගුණ භාවනාව තව තවත් දියුණුවට පත්වීම.
  2. භාවනා කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණු තත්ත්වයට පත්වීම.
  3. භාවනා ප්‍රීතිය බහුලවීම
  4. මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකිවීම.
  5. බුදුරජාණන් වහන්සේ සමග වාසය කරන්නෙමි යයි හැඟීම් ඇතිවීම
  6. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සිත පැවතීම
  7. කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම
  8. ධ්‍යානයන්ට පූර්වභාග ප්‍රීතිය ඇතිවීම.
  9. ධ්‍යානයන්ට පූර්වභාග සැපය ඇතිවීම
  10. අංගසම්පූර්ණ උපචාරධ්‍යානය ලැබීම

බුද්ධානුස්සතිය ප්‍රගුණ කරන්නාගේ ස්වභාවය මෙසේ දක්වයි.

“මහානාමය, යම් කලෙක ආර්ය ශ්‍රාවක තෙමේ තථාගතයන් වහන්සේ ගුණ සිහි කරයි ද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩපැවැත් වූයේ නොවේ. ද්වේශයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, තථාගතයන් වහන්සේ අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්ය ශ්‍රාවකයා ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලෝකෝත්තර ධර්මයෙන් සතුට ලබයි. ධර්මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූ ඔහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුණු ශරීරය ඇත්තා සැපය විඳියි. සැපය ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්ය ශ්‍රාවක තෙම විෂම වූ සත්ත්වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රෝධ සහිත සත්ත්වයන් අතර ක්‍රෝධ නැතිව වාසය කරයි. ධර්ම නමැති සැඩ පහරට බැස්සේ බුදුරජාණන් වහන්සේ අරමුණුකොට ඇති සිහිය වඩයි.

ශාස්ත්‍රපති, රත්ගම සුනීත හිමි
සංස්කරණය – සුසිල් ජයකොඩි

බුදුගුණ භාවනාව


0722081522

advertistmentadvertistment
advertistmentadvertistment