සියලු කතා එසේ නිමියේය

2229

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට වැද කෙළින ලදැයි කියන පිස්සුවට මූලික වරද ඇත්තේ ලොහාන් ට වඩා ආණ්ඩුව අතේය. පළමුවෙනි දේ තවමත් ලොහාන් ඇමැතිකමක් දැරීමට තරම් සුදුසු පුද්ගලයකු නොවීමය. ලොහාන් රත්වත්තේ යනු කෑමට බීමට ප‍්‍රිය විනෝදයට ලැදි ජොලි කොල්ලකු බව ඇත්ත. කොටි සංවිධානයෙන් යාපනය බේරාගෙන හතරවටෙන් මෝටාර් වෙඩි පත්තුවෙද්දී සිංහ කොඩිය එම භූමියේදී එසවූ නූතන සපුමල් කුමාරයා ලෙස ප‍්‍රසිද්ධ හිටපු නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ජෙනරල් අනුරුද්ධ රත්වත්තේගේ පුත‍්‍රයා වන අසරණ ලොහාන්ට ඉතිහාසයේ පටන්ම විවිධ චෝදනා එල්ල විය. පළමුවැන්න නම් උඩතලවින්නේ මනුෂ්‍ය සංහාරය යි. 2001 දෙසැම්බර් මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම්ගේ ගෝල පිරිසක් ඡන්ද පෙට්ටි සමග මහනුවර කච්චේරිය බලා ගමන් කරමින් සිටියහ. උඩතලවින්නේ දී මේ පිරිසට වෙඩි තබන ලදී. එවිට මුස්ලිම් තරුණයෝ දහදෙනෙක් මිය ගියහ. අනුරුද්ධ රත්වත්තේගේ පුතුන් දෙදෙනා වූ චානුක සහ ලොහාන්ගේ නම් මේ සිද්ධියට ගෑවිණ. ඊට අමතරව අනුරුද්ධ රත්වත්තේගේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූහ. අවසානයේදී අනුරුද්ධ රත්වත්ත නඩුවෙන් නිදොස්කොට නිදහස් කරන ලදී. එහෙත් ඔහුගේ ආරක්ෂකයන් හතරදෙනා වෙඩි තැබීම් සම්බන්ධයෙන් වරදකරුවන් වී එල්ලා මැරීමට නියම විය. ඊට අමතරව මේ අයට බරපතල වැඩ ඇතිව අවුරුදු සීයක සිර දඬුවමක් දෙන ලදී. මෙවැනි දඬුවමක් දීමේදී විත්තිකරුවන් එල්ලා මැරීම සිදුකරන්නේ බරපතල වැඩ සහිත සිර දඬුවම අවසන් වීමෙන් පසු නොවේ. එල්ලා මැරීම මුලදීම සිදුකරන අතර සිර දඬුවම ගෙවීමට සිදුවන්නේ අපායේදීය. දේශපාලනඥයන් පසුපස යන ආරක්ෂකයන් බොහෝ දෙනකුට මෙවැනි විපත් සිදුවේ. කෙසේ හෝ වේවා ලොහාන් හෝ චානක මේ නඩුවට සම්බන්ධ කරනු නොලැබූහ. එබැවින් ඒ කතාව නිමයි.

1997 මැයි 11 දා කොළඹ කාල්ටන් කැසිනෝවේ දී වෙඩි තැබීමක් සිදු විය. එම වෙඩි තැබීමේදී කොළඹ හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ පුහුණුකරු වූ පැපුවා නිව්ගිනියා ජාතික ජොඑල් පේරා මළේය. වෘත්තීය ගණකාධිකාරිවරයකු සහ රගර් මාරයකු වූ ජොඑල් පේරා හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස ගෙන්වාගෙන තිබුණේ විශේෂ ආරාධනයකින් පසුව ය. ලංකාවේ වැනෙසා සෙල්වරත්නම් සමග විවාහ වී සිටි ඔහු ඇතැම් සති අන්තවලදී කැසිනෝවලට රිංගා පරාජය විය. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී කාල්ටන් කැසිනෝව තුළ ලොහාන් රත්වත්තේ සහ සන්නද්ධ ආරක්ෂකයන් සිටි බව කියනු ලැබේ. වෙඩි තැබීම සිදු වූ සැනින් ලොහාන් ඇතුළු පිරිස කැසිනෝ ක්ලබ් එකෙන් නික්ම ගිය බවද කියනු ලැබේ. අන්තිමේදී ජොඑල් පේරා ට වෙඩි තැබූ කෙනකු නැතුවම සිද්ධිය නිමාවට පත්විය. ඔහුගේ මළ සිරුර පැපුවා නිව්ගිනියාවට ගුවන් මගින් ගෙන ගොස් රාජ්‍ය ගෞරව ලබාදෙන ලදී. ඉන්පසුව හෙලිකොප්ටරයක් මගින් එම සිරුර පැපුවා නිව්ගිනියාවේ උස් කඳුකරයකට ගෙනගොස් ඔහුගේ මියගිය නෑයන්ගේ සිරුරු අතර සාම්ප‍්‍රදායිකව භූමදානය කරන ලදී. විත්තිකරුවන් නොමැති නිසා ඒ කතාව ද එතැනින් නිමයි.

ඉන්පසුව ද ලොහාන් ගැන කට කතා විටින් විට පැතිරිණ. පූජනීය ස්ථානයකදී අහසට වෙඩි තැබීම, ඡන්ද පෝස්ටර් ඇලවීමට පැමිණි යූ එන් පී ආධාරකාරයකු අහසට වෙඩි තබා පලවා හැරීම, මහනුවර පැත්තේ හෝටලයකදී අහසට වෙඩි තැබීම වැනි සිදුවීම් කිහිපයකට ඔහුගේ නම ඈඳිණ. ඔහු එසේ අහසට වෙඩි තබන ලද්දේ නම් එය හඳේ හාවා බියපත් කිරීමට කළ අහිංසක වෙඩි තැබීමක් සේ සැලකිය යුතුය. යුද සෙබළකු හෝ ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයකු හෝ නොවන ලොහාන් රත්වත්තේගේ දෛනික ජීවිතය තුවක්කු හා පිස්තෝල සමග මේ තරමට බැඳී තිබුණේ නම් ඔහුට බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරය දීමෙන් ආණ්ඩුව ලොකු වරදක් කර තිබිණ.

ආණ්ඩුව විසින් ලොහාන්ට දිය යුතුව තිබුණේ ක‍්‍රීඩා රාජ්‍ය අමාත්‍ය තනතුරයි. එවිට මීටර් 100, 200, 400 හෝ මැරතන් තරගවලදී තරගාරම්භක වෙඩිල්ල තැබීමට ඔහුට අවස්ථාවක් දිය හැකිව තිබුණි. දැන්, වැඬේ ඇන ගැනීමෙන් පසු ඔහුට දොස් තැබීම වරදකි. ලොහාන් රත්වත්තේගේ බන්ධනාගාර කැළඹිල්ල නිසා ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේදී ලංකාවේ ලකුණු කැපීයෑම ඉතා නරක ලෙස සිදුවිය හැකිය. සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංගමය නමැති රාජ්‍ය නොවන සංවිධානයක් මේ දිනවල ලොහාන්ට එරෙහිව ප‍්‍රවෘත්ති සාකච්ඡා කිහිපයක් ම කැඳවන ලද්දේ ය.

මේ සියල්ලම ජිනීවා නුවරට වාර්තා වීම නොවැළැක්විය හැකිය. මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සමූහයක් ඉදිරිපිට ලංකාව හැමදාමත් අසරණව සිටියේය. කතන්දරේ හැටියට අනුරාධපුර බන්ධනාගාරය තුළට ඩෝප් මරගාතේ ගිය ලොහාන් රත්වත්තේ එල් ටී ටී ඊ සිරකරුවන් කිහිපදෙනකු බිම දන ගස්වා එකකුගේ හිසට පිස්තෝලය තබා ඇත. ඒ අතර ඔහු රූපරාජනියකට හෝ නිළියකට එල්ලුම් ගහ පෙන්වීමට රැගෙන ගිය බවට ද කතන්දරයක් පවතී. මේ කතාවල සත්‍යතාවයක් ඇති බව තවමත් හෙළිවී නැත. එබැවින් අප මෙය ලියන්නේ ඒවා පට්ට බොරු ලෙස සලකාය. කෙසේ වුවද සෑම බන්ධනාගාරයක් ඉදිරිපිටම පාරට පෙනෙන පරිදි එල්ලුම් ගසක ආකෘතියක් ඉදිකිරීමට ආණ්ඩුව පියවර ගන්නේ නම් මෙවැනි ප‍්‍රශ්න හටගන්නේ නැත.

ලොහාන් රත්වත්ත සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. තමා හිරගේ බලන්නට ගිය බවත් එය මහජන නියෝජිතයකුට හිමි බලයක් බවත් ලොහාන් සඳහන් කර තිබේ. මේ බලය නිසා වෙනත් කට්ටියකට මීට කලින් ද විශාල අකරතැබ්බයක් සිදු විය. එය මෙසේය; මෙයට අවුරුදු කිහිපයකට පෙර යූ එන් පී යේ මන්ත‍්‍රීවරුන් පිරිසක් රාජ්‍ය ආයතනවලට ඇතුළුවීමට තමන්ට හිමි බලතලවලට අනුව මත්තල ගුවන් තොටුපළ බැලීමට ගියහ. එවිට මත්තල නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු පිස්තෝලයක් රැගෙන මන්ත‍්‍රී පිරිස පසුපස හඹා යන්නට විය. මේ පිළිබඳ පැවති පරීක්ෂණයේදී එරාජ් කීවේ තමා ගෙනගියේ සෙල්ලං පිස්තෝලයක් බවය. ඒ කතාව එතැනින් නිමි. ඒ අතර මීට දෙතුන් දිනකට පෙර බම්බලපිටියේ පිහිටි පෞද්ගලික ඉඩමකට කඩා වැදුණු එරාජ් එහි ආරක්ෂකයින්ට පහරදුන් බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත. දැනට තිබෙන ආරංචිය නම්, අයිතිය පිළිබඳ ආරවුලක් පවතින මෙම ඉඩම එරාජ් විසින් අත්පත් කරගැනීමට උත්සහ කරන බවය. මේ රටේ දේශපාලනය දාමරික පිස්සන් අතට යෑම බරපතල හානියකි. ඒ කතාවත් එතැනින් නිමයි.


advertistmentadvertistment
advertistmentadvertistment