තවමත් නොපැමිණි ඒ අපූරු අවුරුද්ද

695

2024 අප්‍රේල් මස 14 වැනිදා ඉරිදා

අතේ සතේ නැතත් අල්ලපු ගෙදර රතිඤ්ඤා හඬට සවන්දී හෝ අල්ලපු වත්තේ කැවිලි සුවඳට ඉව අල්ලා හෝ සිංහල අවුරුද්ද සැමරීම සිංහල මිනිහාගේ පුරුද්දය. සූර්යා පිදීමේ උත්සවයක් ලෙස අතීත සිංහලයන් විසින් මහත් හරසරින් සමරන ලද මෙවර සිංහල අවුරුදු උත්සවය මේ වන විට නිමාවී ඇති අතර සඳුදායින් පසු එළඹෙන්නේ අවුරුද්දට ණය වූ මුදල් ගෙවීමේ ව්‍යාපෘති සහ IMF ණය ගෙවීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමය. සාමාන්‍යයෙන් මේ රටේ ජනයාගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජාතික උත්සව අවස්ථාවලදී රත්තරන් බඩු උකස් තබති. මෙයින් ප්‍රමුඛතාව ලැබෙන්නේ ජනවාරි 1 දා සහ සිංහල අවුරුදු උත්සවවලටය. මීට අවුරුදු 100 ට පෙර සිංහලයා කෘෂි ආර්ථිකයක් වටා කැරකෙන සරල මනුෂ්‍ය කොට්ඨාසයක් වූ බැවින් බඩු උකස් තැබීමේ වැඩපිළිවෙළට ගියේ නැත. එකල බඩු උකස් ගැනීම සඳහා හන්දි ගාණේ උකස් කඩ තිබුණේ ද නැත. උකස් තැබීම සඳහා ආභරණවල ස්වරූපයෙන් පැමිණි විශාල රන් තොග ජනතාව අතේ තිබුණේ ද නැත. එකල සිංහල ගැහැනු ආභරණ වශයෙන් පළඳින ලද්දේ රන් කරාබු හෝ තබක්ක කරාබු යුවලක් පමණි. මුදු සහ මාල පළඳින ලද්දේ ධනවත් සහ වංශවත් උදවිය පමණි. එකල බඩු උකස් ගන්නා ලද්දේ හෙට්ටි මිනිසුන් ලෙස හැඳින්වෙන ඉන්දීය සම්භවයක් සහිත ජන වර්ගයකි. ණයවීම හිඟන වැඩක් සේ සැලකූ එකල ජනයා එම ක්‍රියාවලියට අනුගත වූයේ ඉතාම හොර රහසේ ය. අද වනවිට කිසිකෙනෙක් කිසිකෙනකුට ණය වීම ලජ්ජාවක් සේ සලකන්නේ නැත. ෆිනෑන්ස්කාරයොත් බැංකුවල රිකවරි ඔෆිසර්ලාත් හැම දවසකම මහජනතාව පසුපස පන්නමින් ණය ද, පොලී ද, වැල් පොලී ද, දඩ පොලී ද එකතුකර ගැනීමෙහි නියුක්තව සිටිති. ලංකාවේ උකස් වෙළෙඳපොළේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ රත්තරන් බඩුවලටය. එහෙත් යුරෝපයේ ධනවත් ගැහැනු ස්වකීය බ්‍රෑන්ඩඩ් අත්බෑග මෙන්ම බ්‍රෑන්ඩඩ් ඇඳුම් ද උගසට තබති. මේ උකස් තැබීම්වලදී ඉඩම් හෝ වාහන උකස් තැබීමේදී මෙන් නොව ඇඳුම හෝ බෑගය ගෙන ගොස් උකස්කාරයා ළඟ තැන්පත් කළ යුතුය. ඒ නිසා ලංකාවේ ෆිනෑන්ස් කොම්පැනි නමැති හරක් ගාලේ වැඩකරන මී හරක් ඇරියස් වූ වාහනවල අයිතිකරුවන් බිමට ඇද දමා ඒවා පැහැරගෙන යන්නාක් මෙන් යමක් සිදුවන්නේ නැත. මෙවර අවුරුදු නිවාඩුව සහ රාමසාන් උළෙල එකටම යෙදී තිබුණු බැවින් දවස් හතරක පමණ දිග නිවාඩුවක් ජනතාවට ලැබිණ. 15 දා හෙවත් හෙට වැඩ පටන්ගත යුතුව තිබුණ ද බොහෝදෙනා ඒ සතියේ ද එකදිගටම නිවාඩු ගන්නවා ඇත. මේ නිසා ණයකාරයින්ගෙන් සහ වෙනත් කරච්චල්කාරයින්ගෙන් බේරී ටික දවසක් ජීවත්වීමේ අවස්ථාව ඔවුනට ලැබේ.

ලංකා ඉතිහාසයේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 650 ට ගිය එකම සිංහල අවුරුද්ද මෙය වේ. එයට හේතුව ආණ්ඩුවේ වරද නොව ඉන්දියාව හා පාකිස්ථානය ලොකු ලූනු පිටරට යැවීම තහනම් කිරීමත් ලංකාවේ ගොවියා ලොකු ලූනු වගා නොකිරීමත් ය. මේ නිසා මේ කාරණය සම්බන්ධයෙන් දේශපාලනඥයන්ට බැණ වැදීමෙන් වැඩක් නැත. ලංකාවේ ජනයා බී ලූනු වගා නොකරන්නේ දේශපාලන මෙහෙයවීමක් නැති නිසා යැයි කිසියම් ගොනෙක් තර්ක කරනු අපට ඇසින. එහෙත් මනුෂ්‍යයාට සිය ජීවිතය සාර්ථක කරගැනීම සඳහා දේශපාලන මෙහෙයවීමක් අවශ්‍ය නැත. එහෙත් දේශපාලනඥයාට තමන්ගේ ජීවිත සාර්ථක කරගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ මෙහෙයවීම අත්‍යවශ්‍ය ය.

අප හැමවිටම කල්පනා කරන්නේ මෙවර සිංහල අවුරුද්ද නොව ලබන පාර සිංහල අවුරුද්ද මීට වඩා හොඳ වනු ඇති බවය. 1900 ජීවත් වූ ජනතාව වුවද එසේ කල්පනා කරන්නට ඇති. හැබැයි හැම සිංහල අවුරුද්දටම කලින් අවුරුද්දට වඩා බඩු මිල සතයකින් හෝ ඉහළ යන බැවින් කවදාවත් ඔය කියන හොඳ සිංහල අවුරුද්ද උදාවන්නේ නැත. එබැවින් ලැබෙන සිංහල අවුරුද්දට අනුගතවී ජීවත්වීමට අපට සිදුවී තිබේ. මෙවර සිංහල අවුරුදු උළෙල අවසන් වීමේ එක හොඳක් ඇත. එනම් ඒ වූකලී නැකත්කාර පල්හොරුන් දෙපිරිසක් විසින් අවුරුදු නැකැත් වෙනුවෙන් ගහමරා ගැනීම අවසන් වීමය. මිථ්‍යාවෙන් ඈත්වී සැබෑවට මුල්තැන දී හෘද සාක්ෂිය සමග ජීවත් විය හැකි නම් අවුරුද්දේ හැම දවසක්ම උළෙලක් වනවා ඇත. එකම ප්‍රශ්නය නම් ඒ අවුරුද්ද තවමත් එළඹී නොතිබීමය.

advertistmentadvertistment
advertistmentadvertistment