තඩි බොරුවක් !

1489

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂව රටවල් 20 ක් ඡන්දය දුන් අතර එම යෝජනාවට විපක්ෂව, එනම් ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 7 ක් ඡන්දය දී තිබිණ. ඒ අතර තවත් රටවල් 20 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. මේ අනුව තාක්ෂණික වශයෙන් බලන කල මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වී තිබේ. එහෙත් න්‍යායාත්මක වශයෙන් බලන කල ශ්‍රී ලංකාව පරාජය වී නැති බවට තර්ක කළ හැකිය. ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් 20 එසේ කිරීමට හේතු කිහිපයක් තිබේ. එනම් ප්‍රතිපත්තියක් වශයෙන් ගත් කල ඔවුන් ශ්‍රී ලංකාවට විරුද්ධ නැත. එහෙත් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුනහොත් වෙනත් රටවල් අමනාප විය හැකි බැවින් එම රටවල් 20 අපට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය නොදී මගහැරියා සේ සලකන්නට පුළුවන. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇතැයි කියන සිද්ධීන්වලට එරෙහිව දිගු කලක් තිස්සේ චෝදනා රැසක් තිබේ. මානව හිමිකම් කවුන්සිලයේ අදහසට අනුව යුද සමයේදී මේ රටේ සිදුවූයේ යැයි කියන යුද අපරාධවලට එරෙහිව කිසිදු ආණ්ඩුවක් පියවර ගෙන නැත. ඒ නිසා එසේ පියවර ගන්නා තුරු ශ්‍රී ලංකාවට විරුද්ධව සම්බාධක පනවා පාඩමක් ඉගැන්වීමේ අරමුණින් මානව හිමිකම් කවුන්සිලය හැම අවුරුද්දකම ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කරයි. මෙය අලුත් කතාවක් නොවේ. මෙය ඉතාම පැරණි කතාවකි. මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වීමද ඉතා පැරණි හැම අවුරුද්දකම සිදුවන දෙයකි. මෙහිදී සිදුවන්නේ බටහිර රටවල ආධිපත්‍යවාදය ක්‍රියාත්මක වීමය. තම රටවල සමූහ ස්ත්‍රී දූෂණ සිදුවෙද්දී අනෙක් රටවල කුලඟන සමිති පිහිටුවීම ලෝකයේ බලවත් රටවල පුරුද්දය. තම රටේ ජනතාව ඔළුව සාක්කුවට වැටෙන තුරු විස්කි බොද්දි ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් තුළ ජාත්‍යන්තර අමද්‍යප සමිතියේ ශාඛා පිහිටුවීම ලෝකයේ අනෙක් රටවල්වල පුරුද්දය. ඇමරිකාව, එංගලන්තය, නෝර්වේ, ජර්මනිය වැනි රටවල පාසල්වලට හිටිහැටියේ කඩාවදින සන්නද්ධ තරුණයෝ හතර අතේ වෙඩි තබා ළමයින් තිහ හතළිහ ඝාතනය කරති. මේ රටවල පුරවැසියන්ට ලයිසන් නැතිව තුවක්කු ළඟ තබාගත හැකිය. එසේ තිබියදී ශ්‍රී ලංකාවේ ගිනි අවි පනත ගැන උනන්දුවීම යුරෝපයේ බලවත් ජාතීන්ගේ පුරුද්දය. එංගලන්තය සහ ඇමරිකාව යන රටවල කළු සුදු භේදය තදින් පවතී.

හිටිගමන් සුදු පොලිස්කාරයෝ කළු ජාතිකයන්ගේ බෙල්ල පාගා මරා දමති. එසේ තිබියදී යුරෝපයේ පුරුද්ද වන්නේ අපේ රටේ සිංහල, දෙමළ හෝ සිංහල, මුස්ලිම් හෝ ගැටුම් ගැන සොයමින් අපට කෙළවීමට තැත් කිරීමය. මෙය 1980 න් පසු ලෝකය පුරා පැතිර ගිය ගෝලීයකරණයේ අනිටු පල විපාක බව අපගේ වැටහීම වේ. ගෝලීයකරණයේ අයිතිකරුවෝද බටහිර ලෝකයේ ආධිපත්‍යවාදී රටවල්මය. පෘථිවිය යනු විශ්ව ගම්මානයක් ලෙස අර්ථ නිරූපණය කරන බටහිර ලෝකය එම විශ්ව ගම්මානයේ පොලිස් දෙපාර්තමේන්තුව බවට පත්වී එහි ශාඛා හැමතැනම පිහිටුවන්නට උත්සාහ කරති. ලංකාව මැඬපැවැත්වීම සඳහා විශ්ව ගම්මාන පොලිසිය ලවා දඬුවම් දීමත් එම විශ්ව ගම්මාන පොලිසියේ කටු ලෙවකන මුර බල්ලන් සේ හැඳින්විය හැකි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලවා කුඩා රටවලට තර්ජනය කිරීමත් යුරෝපීය ආධිපත්‍යවාදීන්ගේ සිරිත වී තිබේ. මෙහිදී වැදගත් කාරණයක් කියමු. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ එය තුළ ඇති කිසිදු ඒජන්සියකට කිසිදු නෛතික බලයක් නැත. කිසියම් නෛතික බලයක් ඇතොත් ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පමණි. කිසියම් රටකට සාමසාධක හමුදාවක් එවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට නෛතික බලයක් නැත. එහෙත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට එම නෛතික බලය ඇත. ශ්‍රී ලංකාව මේ මොහොතේදී අතේ සතේ නැතිව නන්නත්තාර වී සිටී. රටේ ජනාධිපතිවරයා ලිබරල් අදහස් ඇතිව ලෝකය සමග සම්බන්ධ වී වැඩ කිරීමට උත්සාහ කරයි. එහෙත් ලිබරල් මාවතක් ඔස්සේ ඉදිරියට ගමන් කර ශ්‍රී ලංකාව සාමකාමී රාජ්‍යයක් වනු දැකීමට යුරෝපය කැමති නැත. ඔවුන් නිතරම ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වන්නේ වර්ගවාදය, ත්‍රස්තවාදය, ආගම්වාදය වැනි විනාශකාරී දේවල්ය. එවැනි දේවල් නිසා මේ රට අස්ථාවර වූ කල ශ්‍රී ලංකාවට අත දැමීමටත් එමගින් ශ්‍රී ලංකාව පිහිටි ආසියානු කලාපයට ඔළුව දැමීමටත් බලවත් ජාතීන් තුළ මහත් උනන්දුවක් තිබේ.

එක්සත් ජාතීන් කියන මානව හිමිකම් සම්බන්ධයෙන් තඹ තුට්ටුවක උනන්දුවක් ඊශ්‍රායලයට නැත. හැම අවුරුද්දකම ඊශ්‍රායලයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඊශ්‍රායලයට විරුද්ධව යෝජනා සම්මත කරගනු ලැබේ. මෙහිදී ඊශ්‍රායලයට පක්ෂව ලැබෙන්නේ එකම එක ඡන්දයකි. එම ඡන්ද දායකයා වූ කලී ඇමරිකාවය. ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර ඉතා යහපත් වෙළෙඳ සම්බන්ධයක් තිබේ. මේ නිසා ඊශ්‍රායලය වෙනුවෙන් ඇමරිකාවත් ඇමරිකාව වෙනුවෙන් ඊශ්‍රායලයත් නිතර පෙනී සිටී. මේ රටවල් දෙකම බලසම්පන්න නිසා මානව හිමිකම් කවුන්සිලය ජීවත්වන්නේ මහත් වූ භීතියකිනි. නැගෙනහිර යුරෝපයේ රටවල් විශාල ප්‍රමාණයක් රුසියාවට බිය ය. එබැවින් රුසියාව මොනවා කළත් ඔවුන් කට වසාගෙන සිටිති. ඕනෑම රටකට ගුවනින් ගොස් බෝම්බ දැමීමට ඇමරිකාවට පුළුවන. මෙය නිරන්තරයෙන් සිද්ධ වන නිසා මේ වනවිට වැඩිදෙනා කල්පනා කරන්නේ එසේ බෝම්බ දැමීමේ නෛතික අයිතිය ඇමරිකාවට තිබෙන බවය. චීනයට ලෝකයේ රටවල් වැඩි හරියක් බිය ය. එබැවින් චීනයට විරුද්ධව කවුරුවත් අතක්වත් නොඋස්සති. එසේ අතක් ඉස්සුවොත් චීනය එම අත කපාගෙන ගෙදර ගෙනියන බව ලෝකවාසී ජනයා අත්දැකීමෙන්ම දනිති. එබැවින් මානව හිමිකම් කවුන්සිලය යනු බලය ඉදිරියේ ඇඹරෙන තඩි බොරුවක් බව අප මතක තබාගත යුතුය. ශ්‍රී ලංකාව විසින් කළ යුත්තේ හැකි ඉක්මනින් ස්වයං පෝෂණයට පත්වී නොබැඳි පිළිවෙතකට යෑමය.

advertistmentadvertistment
advertistmentadvertistment