රුසියන් යුද්ධය සහ ආණ්ඩුවේ යුතුකම

748

2024 අප්‍රේල් මස 21 වැනිදා ඉරිදා

ඊශ්‍රායලය විසින් මීට පැය 48කට පෙර ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදී. මේ සමගම ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සහ රන් මිල ඉහළ ගියේය. ජපානය, හොංකොං, දකුණු කොරියාව යන රටවල කොටස් වෙළෙඳපොළ කඩා වැටිණ. තෙල් බැරලය ද ඩොලර් තුනකින් වැඩි විය.

ඊශ්‍රායලය ඉහත සඳහන් ප්‍රහාරය එල්ල කරනු ලබන්නේ ඉරානය මීට සතියකට පමණ පෙර එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයකට පිළිතුරු වශයෙනි. ඊශ්‍රායලයේ යුද ශක්තිය මෙන්ම යුද්ධයෙන් ආරක්‍ෂා වීමේ ශක්තිය ඉතා ඉහළය. ඒ නිසා ඉරාන ප්‍රහාරයේදී ඊශ්‍රායලයට සියයට සියයක හානියක් සිදු වුණේ නැත. ඒ වෙනුවට සියයට විසිපහක හානියක් පමණක් සිදුවිය. ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝනවලින් විශාල සංඛ්‍යාවක් අහසේදීම විනාශ කිරීමට ඊශ්‍රායලයට හැකි විය. මේ ප්‍රතිප්‍රහාර ක්‍රමය හඳුන්වනු ලබන්නේ ‘අයන් ඩෝම්’ යන නමිනි. ඊශ්‍රායලය දෙසට සතුරු ප්‍රහාරයක් එන විට ස්වයක්‍රීය ලෙස වැඩ කිරීමට පටන් ගන්නා ‘අයන් ඩෝම්’ ආරක්‍ෂණ පද්ධතිය එම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පටන් ගනී. මෙහිදී වැදගත් කාරණයක් ගැන මතක් කර සිටිමු. ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී ලෝක තෙල් මිල හෝ රන් මිල ඉහළ ගියේ නැත. එසේම ලෝක කොටස් වෙළෙඳපොළ කඩා වැටුණේ ද නැත. එහෙත් ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දෙන ලද කල්හි ලෝක වෙළෙඳපොළ දෙදරුම් කන්නට පටන් ගත්තේය. මෙයින් හැඟෙන්නේ ලෝක වෙළෙඳපොළ සහ නිෂ්පාදන ආර්ථිකය සම්බන්ධයෙන් වඩාත් සංවේදී රට ඉරානය බවය. ඉරානයට ගැසූවිට මුළු ලෝකයටම රිදෙයි. ඊශ්‍රායලයට ගැසූවිට එරටට පමණක් රිදෙයි. කුමක් ද මේ වේදනාවේ රහස ඒ රහස වූකලී ඉරානයේ තිබෙන ඛනිජ තෙල් සම්පතය. ඉරානයට තව ගුවන් ප්‍රහාර දෙක තුනක් ස්ථිර වශයෙන්ම වැදුනොත් තෙල් බැරලය ඩොලර් 100 තෙක් ඉහළ යෑමට ඉඩ ඇත. එවිට ලංකාව වැනි රටවල්වලට දුවන්නට පාරවල් නැති වෙයි. ලෝකයේ කොතැනක කවුරු යුද කළත් මුලින්ම කෙළවෙන්නේ ලංකාව වැනි කුඩා දුර්වල රාජ්‍යවලටය.

මේ දිනවල ලෝකයේ තැන තැන යුද්ධ පවතී. රුසියාව සහ යුක්රේනය මිනී මරා ගනිති. යේමනයේ හුති ගරිල්ලෝ ඒ පළාතෙන් වෙළෙඳ නැවකටවත් යන්නට ඉඩ දෙන්නේ නැත. අද අප ලිවීමට අපේක්‍ෂා කරන්නේ ද යුද්ධයටම අදාළ තවත් පුවතක් ගැනය. මේ දිනවල රුසියාවේ පවතින යුද්ධයට කුලී හේවායන් ලෙස සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමිකයෝත් යුද හමුදාවෙන් සහ පොලිසියෙන් කල් තියා පැන ගිය අයත් මේ දිනවල රුසියාව බලා පෝලිමේ යති. සාමාන්‍ය වශයෙන් ගත් කල රුසියානු යුද්ධයේදී එරට පැත්ත ගෙන යුක්රේනය සමග සටන් කිරීම සඳහා 700කට වැඩි පිරිසක් මේ වනවිට රුසියාවට ගොස් සිටිති. මේ එක් කුලී හේවායකුට තුන් වේලම කන්න බොන්න දී මසකට ඩොලර් 8000ක් පමණ ගෙවනු ලැබේ. එහෙත් මේ වැඩේදී ඉතා දරුණු වැටුප් ප්‍රශ්නයක් මතුව තිබේ. එනම් ලංකාවෙන් රුසියාවට ගිය සංග්‍රාමිකයන්ට රුසියන් මුදල් ඇමරිකන් ඩොලර් බවට මාරුකර ගැනීමට නොහැකි වීමය. මේ නිසා රුසියන් රූබල් උන්ඩියල් මාර්ගයෙන් යාපනයට එවා ලංකාවේ මුදල්වලට පරිවර්තනය කරනු ලැබේ. අපට රුසියානු මුදල් වෙනුවට ඩොලර් ගෙන්වා ගැනීමට බැරිව ඇත්තේ ඇමරිකාව විසින් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක කිහිපයක් නිසාය. මේ සම්බාධකවලට අනුව රුසියාව සමග ඩොලර්වලින් ගනුදෙනු කිරීම ලංකාවට තහනම්ය. ඒ නිසා උන්ඩියල්කාරයාගේ පිහිට නැතිවම බැරිය. රුසියන් මුදල් ඩොලර් බවට පරිවර්තනය කරගෙන අපේ ඩොලර් සංචිත වැඩිකර ගැනීමට මේ සම්බාධක නිසා හැකිවන්නේ නැත. මේ පිළිබඳව රුසියාවේ වෙසෙන සිංහල කුලී හේවායන් විශාල වශයෙන් අපගෙන් ප්‍රශ්න කරද්දී අපි එම පැනය ශ්‍රී ලංකා මහ බැංකුවට යොමු කළෙමු. එවිට මහ බැංකුව කීවේ පවතින සම්බාධක නිසා රුසියන් රූබල් ඇමරිකන් ඩොලර් බවට පරිවර්තනය කිරීමට ඉඩක් නැත්නම් එම රූබල් ලංකාවේ ශාඛා තිබෙන ඉන්දියානු බැංකුවල තැන්පත් කරන ලෙස මහ බැංකුව අපට කීවේය. මේ මගින් ලංකාවට ඩොලර් ලැබෙන්නේ නැත. එනිසා හැකි ඉක්මනින් රුසියාවේ සිටින අපේ ශ්‍රමිකයන්ට තමන්ගේ පවුල්වලට ඇමරිකන් ඩොලර්වලින් මුදල් එවීමට ඉඩ දෙන ක්‍රමයක් වහාම සකස් කිරීම ලංකා ආණ්ඩුවේ යුතුකම වේ.

advertistmentadvertistment
advertistmentadvertistment