කටුනායක සේද මාවත රාජකාරිවලින් ආගමන විගමන නිලධාරීහු ඉවත් වෙති

173

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා සේද මාවත (Silk Route) මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් ඊයේ (12දා) අලුයම 12.00 සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති කේ. ඒ. ඒ. එස්. කණුගල මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින අස්ථාවර, අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් සහ චෝදනාවට ලක් වූ හිටපු දේශපාලන ප්‍රභූවරුන් විශාල වශයෙන් රටින් පිටවීමට මෙම සේද මාවත නිශ්කාශන පර්යන්තය භාවිත කිරීමට ඉඩකඩ ඇති නිසා තමන් මෙම පියවර ගත් බව කණුගල මහතා කියා සිටී. ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙවැනි මුදල් ගෙවා භාවිත කරන ප්‍රභූ පර්යන්ත, එම ගුවන්තොටුපළ තුළ පවත්වා ගෙන යෑමක් සිදු නොවන බවට තොරතුරු වාර්තා වේ.

ඉකුත් ජුනි 6 දා දින සිට 20 වැනිදා දක්වා ශ්‍රී ලංකාව තුළ පැවති හර්තාල් සමයේද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ (V.I.P.Lounge) සහ සේද මාවත (Silk Route) රාජකාරී කටයුතුවලින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් වීමට පියවර ගෙන තිබුණි

මේ අතර මත්තල ගුවන් තොටුපලින්ද ආගමන විගමන නිලධාරිහු රාජකාරිවලින් ඊයේ ඉවත් වූහ.
කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment