උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සොයාබැලීමට පැමිණි – දුම්රිය සාමාන්‍යාධිකාරි හෘදයාබාධයකින් මියයයි

228

මියයාමට මොහොතකට පෙර

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අනුරාධපුර සිට මහව දක්වා ඉදිකරනු ලබන උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයාබැලීමට ගොස් සිටියදී දුම්රිය සාමාන්‍යාධිකාරි එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතාට ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (23දා) උදෑසන මියගොස් ඇත. ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ 32 වැනි සාමාන්‍යාධිකාරිවරයායි.

හදිසියේ ඇතිවූ රෝගාබාධ තත්ත්වයත් සමග බණ්ඩාර මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතත් එහිදී ඔහු මියගොස් තිබේ. ඔහුගේ මරණය හෘදයාබාධයක් නිසා සිදුවන්නට ඇතැයි සැක කෙරෙන අතර මියයන විට ඒ මහතා 57 වැනි වියේ පසුවිය.

මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා පේරාදෙණිය හා මොරටුව විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලබා ඉංජිනේරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත. දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) හා අතිරේක සාමාන්‍යාධිකාරි (යටිතල පහසුකම්) පදවි ඇතුළු දුම්රිය ක්‍ෂේත්‍රයේ ඉහළ පදවි රැසක් ඒ මහතා හෙබවීය.

දුම්රිය දෙපාර්තමේන්තු ඉතිහාසයේ වසර 25කට වැඩි කාලයක් සම්පූර්ණ කර ඇති ඒ මහතා තිදරු පියෙකි. වැඩිමහල් පුත්‍රයා විදේශගතව සිටින අතර අනිත් දරුවන් දෙදෙනා අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටිති. මියයන විට ඒ මහතා කොළඹ නිල නිවසේ පදිංචි වී සිටි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා ‘දිවයිනට’ පැවසීය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අනුරාධපුර සිට මහව දක්වා ඉදිකෙරෙන උතුරු දුම්රිය මාර්ගය මේ වනවිට කඩිනමින් ඉදිකරගෙන යන අතර මේ වනවිට තඹුත්තේගම දුම්රිය ස්ථානය දක්වා ඉදිකර තිබේ. තඹුත්තේගම දුම්රිය ස්ථානය ප්‍රධාන දුම්රිය ස්ථානයක් වන අතර එය දුම්රියන් දෙපසට හරවා යැවීම් සහ මාරු කරන මධ්‍යස්ථානයක් වේ. මෙම ස්ථානයේ තවත් අමතර දුම්රිය මාර්ග කීපයක් ඉදිකරගෙන යෑමේදී දුම්රිය ස්ථානය අසල රක්ෂිත ඉඩම් තුළ පිටස්තරයන් අනවශ්‍ය ඉදිකිරීම් සිදුකරගෙන ගොස් තිබේ. මේ නිසා මෙම අමතර දුම්රිය මාර්ග ඉදිකිරීමට ගැටලු පැනනැගී තිබූ අතර එය නිරාකරණය කිරීම ඇතුළු කාර්යයන් කිහිපයක් නිරීක්‍ෂණය කිරීමට බණ්ඩාර මහතා එහි ගොස් තිබුණි.

මේ සමගම දස සිල් මෑණියන් වහන්සේ නමක් මේ අසල අනවසරයෙන් ආරාමයක් සාදාගෙන මීට වසර කීපයකට කලින් පදිංචිව සිටී. මෙම ආරාමය අසල බෝධියක්ද, චෛත්‍යයක්ද, ඇතුළු තවත් කුඩා විහාර මන්දිරයක් ඉදිකොට ඇති බව දුම්රිය බලධාරීහු පවසති. මෙම ඉදිකිරීම් නිසා අමතර දුම්රිය මාර්ග ඉදිකිරීමට බාධාවක් වී ඇතැයි දුම්රිය බලධාරීන් ඒ මහතාට පෙන්වා දී තිබුණි.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත ඉඩම් මහවැලිය මගින් මැති ඇමැතීන් මැදිහත්ව තඹුත්තේගම ප්‍රදේශයේ ජනතාවට බෙදාදීම මෙම ගැටලුවට මුල් හේතුවක් වී ඇති බව නිලධාරීන් සාමාන්‍යාධිකාරිවරයාට පෙන්වා දී ඇත.

මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම් තඹුත්තේගම ජනතාවගේ සංවර්ධනයට බොහෝ සෙයින් බලපාන බවත් ප්‍රශ්නයක්ව තිබෙන සිල් මෑණියන්ගේ ආශ්‍රමය නැරඹීමට පැමිණි දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එච්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතා එහි දායකයන්ට පැවසීය.

තමාද බෞද්ධයකු බවත් ප්‍රදේශයේ රටේ දියුණුවට සිදුකරන ව්‍යාපෘතිවලට බලපෑම් කොට නවතා දැමීමට තමාට නොහැකි බවත් අධිකරණ ක්‍රියාමාර්ගයකින් මෙම අනවශ්‍ය ඉදිකිරීම් කිරීම ඉවත් කළ හැකි බවත් ඒ මහතා සිල් මෑණියන් වහන්සේට අවධාරණය කළේය.

එසේ ඉවත් කිරීමට හැකියාව තිබියදී සාමයෙන් කතා කොට සාමකාමීව මෙම ආරවුල බේරාගත යුතු නිසා සිල් මෑණියන් බැහැදැකීමට පැමිණි බවත් ඔහු කියා සිටියේය.

කෙසේ හෝ මෙම ආරවුල නිසා මෙම මාර්ගය ඉදිකිරීම් නවතා දැමිය නොහැකි බවත් පැවැසීය. විහාර ගෙටත්, බෝධියටත්, චෛත්‍යයටත් බරපතළ හානි නොකොට අවම වශයෙන් කටයුතු කරමින් මෙම ඉවත් කිරීම් කිරීමට සිදුවෙන බවද පැවැසූ ඒ මහතා දුම්රිය මාර්ගය ආවරණය වන පරිදි බැම්මක්ද සාදා දෙන බවත්, දුන් උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාද, තඹුත්තේගම දුම්රිය ස්ථානාධිපති එම්. ටී. නීරංග ප්‍රමෝධ්‍ය මහතාද තවත් දුම්රිය ආරක්ෂක නිලධාරීහු රැසක්ද, පොලිස් නිලධාරීහු රැසක්ද දායකකාරකාදීන් රැසක්ද සහභාගි වූහ.
චමින්ද සිල්වා, තඹුත්තේගම – සී. එම්. ආරියපාල

advertistmentadvertistment
advertistmentadvertistment