ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් දායක කරගන්නවා

37

“ඩිල්මා සිනමන්” වෙළෙඳ සන්නාමය එළිදක්වමින් ජනපති කියයි

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කරගැනීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “ඩිල්මා සිනමන්” වෙළෙඳ සන්නාමය එළි දැක්වීම වෙනුවෙන් කොළඹ ගාලු‍ මුවදොර හෝටලයේ පෙරේදා (28) පැවති උත්සවයට එක්වෙමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක සූපවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීණ සූපවේදී තෝමස් ගුග්ලර් මහතා විසින් සංකේතාත්මකව ඩිල්මා කුරුඳු නිෂ්පාදන එළි දැක්වීම සිදු කරන ලදී. ඩිල්මා සමාගම “සිලෝන් ටී” නාමය නැවත පණ ගැන්වූ ආකාරයටම “සිලෝන් සිනමන්” නාමය ඉදිරියට ගෙන ඒම පිළිබඳ මෙහිදී සිය ස්තුතිය පිළිගැන්වූ ජනාධිපතිවරයා මෙය රටේ ආර්ථිකයේ නව පරිච්ඡේදයක ඇරඹුම වනු ඇති බවටද විශ්වාසය පළ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය

ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් දායක කරගන්නවා

ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝකයේ හොඳම කුරුඳු බවට පිළිගැනීමක් තිබෙනවා. ඩිල්මා සමාගම “සිලෝන් ටී” යන නාමය නැවත පණ ගැන්වූ ආකාරයටම “සිලෝන් සිනමන්” නාමය නැවත මතු කර තිබෙනවා. ඒ පිළිබඳ මම ස්තුවන්ත වන අතර මෙය මෙරට ආර්ථිකයේ නව ගමනක ආරම්භය බවද මා විශ්වාස කරනවා. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව කිව යුතුයි. සිංහල රජ සමයේ සිට 1948 දී බි්‍රතාන්‍ය පාලනයෙන් අප නිදහස ලබන තුරුම කෘෂිකර්මාන්තය අපේ ප්‍රධාන ආර්ථික ක්‍රමය බවට පත්ව තිබුණා. නමුත් පසුව අප කෘෂිකර්මාන්තය අමතක කර දැමුවා. නැවත කෘෂි ආර්ථිකයක් කරා රට ගෙන යෑමට කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමග අප සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය නව නීති ගෙන ඒමටද අපේක්ෂා කරනවා. මෙම වැඩපිළිවෙළ සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද සහාය හිමි විය යුතුයි. ඩිල්මා සමාගමට මගේ ස්තුතිය පිරිනමන අතර ඔබට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට අප කටයුතු කරන බවද සඳහන් කිරීමට කැමතියි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් සහ විදෙස් මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන්, ඩිල්මා සමූහ ව්‍යාපාරයේ සභාපති ඩිල්හාන් ප්‍රනාන්දු ප්‍රමුඛ එම පවුලේ සාමාජිකයන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment