නුවරඑළිය තුරඟ තරග පිටිය විකුණා දැමීමේ තැතත්

380

සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පොදු සේවක සංගමය

ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් නුවරඑළියේ පිහිටි අක්කර අසූ දෙකක තුරඟ තරග පිටිය ක්‍රීඩා සමාජයකට විකුණා දැමීමට සැරසෙන බව සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ පොදු සේවක සංගමය කියා සිටී.

මෙම නුවරඑළිය තුරඟ තරග පිටියේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය විසිනි.

එම නඩත්තු කටයුතු සඳහා සේවකයන් එකොළොස් දෙනකු ක්‍රීඩාපිටියට අනුයුක්ත කර සිටින අතර අදාළ ක්‍රීඩා සමාජය විසින් 2017 සිට සුගතදාස ක්‍රීඩා අධිකාරියට ගෙවිය යුතු රුපියල් කෝටි ගණනක මුදලක් ද මේ වනවිට ගෙවීම පැහැර හැර ඇත.

එසේ ගෙවිය යුතු මුදල් පවා පැහැර හැර තිබෙන මොහොතක මෙම අක්කර අසූ දෙකක ඉඩම හා තුරඟ තරග ඇතුළු සියල්ලම එම සමාජයටම විකුණා දැමීමට පිරිසක් උත්සාහ කරන බවද එම සංගමය කියා සිටී.

නුවරඑළිය තුරඟ තරග පිටියේ නඩත්තු කටයුතු සිදු කිරීමේ කටයුතු 2012 අගෝස්තු 15 වන දින සුගතදාස ක්‍රීඩා සංකීර්ණය වෙත භාරකර ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් නුවරඑළියේ තුරඟ තරග පිටිය මෙරට ඇති ප්‍රමුඛතම තුරඟ තරග පිටියයි.

ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් තුරඟ තරග පිටිය ක්‍රීඩා සමාජයකට විකුණා දැමීමෙන් සිදුවන්නේ ක්‍රීඩාවත් පුද්ගලික ව්‍යාපාරයක් බවට පත්ව යෑමකැයි ද සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ පොදු සේවක සංගමය කියා සිටී.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment