මානව හිතවාදී ඒ. ටී. ආරියරත්නයන්ගේ අභාවය රට ජාතියට සිදුවූ මහත් පාඩුවක් – අකුරැටියේ නන්ද නාහිමි

39

පරාර්ථකාමී උතුම් මෙහෙවරක නිරතවූ ශ්‍රී ලංකා පුත්‍රයෙක් – අගමැති දිනේෂ් ගුණවර්ධන
ප්‍රේමදාස ජනපතිගේ ගම්උදා ව්‍යාපාරයට උපරිම දායකත්වයක් දැක්වූවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
සර්වෝදය නායකයාගේ අවමඟුල් උළෙල දා

මානව හිතවාදී ඒ. ටී. ආරියරත්නයන්ගේ අභාවය රට ජාතියට සිදුවූ මහත් පාඩුවක් - අකුරැටියේ නන්ද නාහිමි

ජාති, ආගම්, කුල සියලුම භේදවලින් තොරව යහපත් ජන සමාජයක් බිහිකිරීමේ පුරෝගාමියකු වූ මෑත ඉතිහාසයේ බිහිවූ මානව හිතවාදී අවිහිංසාවාදී ශ්‍රේෂ්ඨ නායකයකුගේ අභාවය සමස්ත බෞද්ධ සමාජයටත්, රටටත් අති මහත් පාඩුවක් බව රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති අකුරැටියේ නන්ද නාහිමියෝ පැවසූහ.

නාහිමියෝ එසේ පැවසුවේ සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ අවමංගල්‍ය උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව පැවැති අවස්ථාවේදීය.

මානව හිතවාදී ඒ. ටී. ආරියරත්නයන්ගේ අභාවය රට ජාතියට සිදුවූ මහත් පාඩුවක් - අකුරැටියේ නන්ද නාහිමි

අභාවප්‍රාප්ත ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය මොරටුව සර්වෝදය මූලස්ථානයෙන් සවස 1.30 ට පමණ පිටත්වී සවස 3 ට පමණ දේහය රැගත් රිය පෙරහැර නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ළඟා විණි. ඉන් අනතුරුව නාලන්ද විද්‍යාලයීය ආදි සිසුන් විසින් දේහය පිළිගෙන ආදාහනාගාර පරිශ්‍රයේ තැන්පත් කෙරුණි.

ඉන් අනතුරුව අවමංගල්‍ය උත්සවය ආරම්භ කෙරුණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අකුරැටියේ නන්ද නාහිමියෝ, දකුණු පළාතෙන් සිය ජීවිතය ආරම්භ කර ගම් නියම්ගම් කරා රටේ ඉගෙනුම ලබන අතිශයින් නිර්ධන දූ දරුවන්ගේ අධ්‍යාපන ඥානය වැඩි දියුණු කිරීමට ඇප කැපවූ අවංක, මානව හිතවාදී නිහතමානී ජ්‍යෙෂ්ඨ උගත් නායකගේ අභාවය සියලුම නිර්ධන දූ දරුවන්ට මෙන්ම, සමස්ත අනාගත පරපුරටම ඒ මහතාගේ අභාවය දැරිය නොහැකි පාඩුවක් බව උන්වහන්සේ සඳහන් කළහ.

එහිදී මහා සංඝයා වහන්සේ පිළිගැනීම ‘මිතුරු මිතුරෝ’ සංසදයේ නිර්මාතෘ කුප්පියාවත්තේ බෝධානන්ද නාහිමියන් විසින් සිදු කළ අතර ආරාධිතයන් හා ගිහි පිරිස පිළිගැනීම, පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අතින් සිදු කෙරුණි.

පංශුකූලය හා ආගමික චාරිත්‍ර සිදු කිරීම මාඉටිපේ ඉන්දසාර නාහිමියෝ සිදු කළහ.

හින්දු ආගමික චාරිත්‍ර, ධර්ෂ්කා කුරුක්කල් තුමා විසින් ද ඩිලාන් ප්‍රනාන්දු පියතුමා විසින් කතෝලික චාරිත්‍ර ද ඉස්ලාම් ආගමික චාරිත්‍ර ෆාරුක් මව්ලවි තුමන් විසින් ද සිදු කෙරණි.

එහිදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, අදහස් දක්වමින් මිනිස් ගුණධර්ම පදනම් කරගත් පාරාර්ථකාමී උතුම් ව්‍යාපාරයක් රට පුරාම ක්‍රියාත්මක කළ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා උතුම් ශ්‍රී ලංකා පුත්‍රයෙක්. ඒ මහතාගේ අභාවය මුළු මහත් ජාතියටම දැවැන්ත හිඩැසක්. රට පුරා ගමින් ගමට යමින් එතුමා ලබාදුන් උතුම් ආදර්ශය සාදාකාලිකයි. පරම්පරාවල් කිහිපයක් සමග ඉදිරියට ගෙන ආ ආදර්ශත් ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට පමණක් නොව, ලොව රටවල් බොහොමයකට, සංවිධාන බොහොමයකට අලුත් මතකයක් වූ බව ද ඒ මහතා සඳහන් කළේය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවුඩය, ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කෙරුණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී අදහස් දක්වමින්, සමාජ සේවා ඉතිහාසයේ අද්විතීය සමාජ සුභසාධන සංවර්ධන විප්ලවයකට මුලපිරූ මහා යුග පුරුෂයාගේ නික්ම යෑම සමස්ත රටටම අතිශයින්ම පාඩුවක් බව ද ජන සහභාගිත්වය සංවර්ධනය තුළ දුගී දුප්පත්කම තුරන් කිරීම ඒ මහතාගේ ඒකායන අරමුණ වූ බව ද, හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා සමඟ ගම්උදා ව්‍යාපාරයේ වැඩකටයුතු සඳහා උපරිම දායකත්වයක් ලබාදුන් බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

තමා එදා නිවාස අමාත්‍යාංශයේ වැඩ භාරගත් මොහොතේ ඒ.ටී. ආරියරත්න මහතාගේ ආශිර්වාද ගෙන එතුමාගේ ආශිර්වාද අනුශාසනා මැද විවිධ වැඩකටයුතු කළ බවත්, ජනතා කේන්ද්‍රීය ප්‍රජා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙනයෑමට එතුමා උනන්දු කළ බවත් ඒ වෙනුවෙන් එතුමා ලබා දුන් අවවාද උපදෙස් මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට ඉවහල් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එහිදී පැපරල් සංවිධානයේ අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ද කොළඹ නාලන්දා විiාලයේ විදුහල්පති හිරාන් චම්පික සිල්වා මහතා ද ඇමෙරිකන් ජාතික ජෝන් කැන්රූඩ් මහතා ද පී. එස්. එම්. චාල්ස් මහත්මිය ද පුත් වෛද්‍ය වින්යා ආරියරත්න මහතා ද කතා කළහ.

රටට විශිෂ්ට මෙහෙවරක් කළ ඒ. ටී. ආරියරත්නයන්ගේ දේහය, චිතකය මත තැන්පත් කිරීමෙන් ඉක්බිතිව රැස්ව සිටි විශාල පරිසකගේ සෝ සුසුම් මැද චිතකය දවාලූ ගිනිදැල් අහස් කුස සිප ගත්තේය.

ඡායාරූප හා සටහන ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment