අවසන් පූර්ව තරගයට පෙර ශ්‍රී ලංකාව අද ඇමෙරිකාව මුණ ගැසේ

436
චමරි උගන්ඩා කණ්ඩායම සමග

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (03 වැනිදා) ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.

මේ දක්වා තරගාවලියේ සහභාගී වූ තරග තුනම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තාවෝ සිය කාණ්ඩයෙන් පෙරමුණ ගෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා උගන්ඩා කාන්තා කණ්ඩායම අතර පෙරේදා (01 වැනිදා) පැවති තරගයේදී ලකුණු 67ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කාන්තාවෝ සිය අඛණ්ඩ තෙවන ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූහ.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 154ක් රැස් කළ අතර උගන්ඩා කණ්ඩායමට පන්දු වාර 19යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 87ක් පමණි.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න පන්දු 64කින් නොදැවී ලකුණු 73 ක් ලබා ගත්තාය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 7ක් විශ්මිගේ ඉනිමට ඇතුළත් විය. හසිනි පෙරේරා පන්දු 24කින් ලකුණු 30 ක් සහ නායිකා චමරි අතපත්තු පන්දු 21කින් ලකුණු 24ක් ලැබූහ.

පන්දු යැවීමේදී උගන්ඩා කණ්ඩායම වෙනුවෙන් ජැනට් මැබාසි සහ රීටා මුසමාලි කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු වීමක නිරත වූ ඉනෝකා රණවීර ලකුණු 10 කට කඩුලු 2ක්, ශෂිනි ගිම්හානි ලකුණු 23කට කඩුලු 2ක්, කවීෂා දිල්හාරි ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත් අතර කාව්‍යා කවින්දි සහ චමරි අතපත්තු අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.

පන්දුවට පහරදීමේදී ලකුණු 73ක් ලබාගත් විශ්මි ගුණරත්න තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන් සම්මාන ලැබීය.

තරගය අබුඩාබි හි ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 154

විශ්මි ගුණරත්න නොදැවී 73, හසිනි පෙරේරා 30, චමරි අතපත්තු 24, ජැනට් මැබාසි 19/1

උගන්ඩාව පන්දු වාර 19.2කදී සියලු දෙනා දැවී ලකුණු 87

අලාකෝ 36, ජැනට් මැබාසි 14, සරහ් වලෂා ලකුණු 10

ඉනෝකා රණවීර 10/2, ශෂිනි ගිම්හානි 23/2, කවීෂා දිල්හාරි 27/2,.

advertistmentadvertistment
advertistmentadvertistment