අප බොරු සාක්ෂිකරුවෝ ද?

138

අවුරුදු ගණනක් ජාතික කණ්ඩායමෙන් ඉවත හල ඇන්ජලෝ මැතිව්ස් 2023 ලෝක කුසලානයට එක්ව සිටිනු දුටුවෙමි. එකල ඔහුට එල්ලවූ බරපතළ චෝදනාවක් වූයේ පිටියේ ක්‍රීඩා කරනවිට පිතා පුත්‍රයා දැමීමයි. කලක් පිටියෙන් බැහැරව සිට නැවත පිටියට පිවිසි ඔහු පෙරසේම කුරුස ලකුණ, බලා සිටින බිලියන ගණනක මිනිසුන් අබිමුව සටහන් කළේය. ඔහු මෙන්ම අපත් බහුතර කතෝලිකයනුත් විශේෂයෙන් ලාංකික කතෝලික සම්ප්‍රදාය තුළ කුරුසිය හා පිතා පුත්‍රයා දමනු ලබන්නේ යමක් පටන් ගැනීමේදී හා අවසානයේ දීය.

අප බොරු සාක්ෂිකරුවෝ ද?

සමහරු දිය නෑමට පෙර ද බෙහෙත් වරුව බීමට පෙර ද එය අනුගමනය කරනු මම දැක ඇත්තෙමි. පරපුරු දෙකකින් එහා පියතුමෙකු පාරේ එනවිට මහා හයියන් ‘ජේසු ක්‍රිස්තු ආරාධිත වේවා’ යැයි පැවසූ අප කිතුනුවා ටිකෙන් ටික ජනතාව ඉදිරියේ සාක්ෂි දැරීම, තරමක මදිකමක් සේ සලකනු ද මාහට නිරීක්‍ෂණය වී ඇත. ඇදැහීම තුළ මෙය සංස්කෘතික ලක්ෂණයකට වඩා, ක්‍රිස්තුතුමන් තුළ අපගේ මාංශය ආත්මය එක් කිරීමකි.

ක්‍රි. ව. 313 වන තුරු ක්‍රිස්තු සභාව පැවැතියේ රාජ්‍ය බලය හෝ නිල බලය රහිතව වන අතර අධික පීඩන සමයකට එය හසුව තිබිණි. ඉතා කුඩා කණ්ඩායමක් වූ ක්‍රිස්තු සංඝය, ශත වර්ෂ 3ක් තුළ අත්විඳ පීඩනය පවා ඉදිරියට පැමිණියේ ඉතාමත් ස්ථිර විශ්වාසයක් හා ඉතා ගැඹුරු සාක්ෂි දැරීමකිනි. යුරෝපා ශිෂ්ටාචාරය ඉතාමත් ඉහළ තැනකට පසුව ගෙන ආවේ ද ක්‍රිස්තු ආභාසය තුළ වෙයි. කෙසේ වෙතත් අද වනවිට ක්‍රිස්තු සභාව බිලියන 1.2කට අධිකරව පැතිරී තිබුණත් සමහර රටවල අදටත් මෙම පූර්ව ක්‍රිස්තු යුගයේ සංඝමෙන් කිතු දහමට එරෙහිව ඉතා දැඩි පීඩන සමයන් ක්‍රියාත්මක කරයි.

බහුතර උතුරු අප්‍රිකානු රටවල්, මැද පෙරදිග හා ආසියානු කලාපයේ පාකිස්තානය, බංග්ලාදේශය හා ඉන්දියාව තුළ ක්‍රිස්තු භක්තිකයින් ඝාතනය කිරීම, දූෂණය කිරීම සහ මංකොල්ලකෑම්, නිසි තැන නොදී කොන්කිරීම අදට ද සිදුවෙයි. ඒ ඔවුන්ගේ සාක්ෂි දැරීම නිමා කිරීමේ අදිටනින් හෝ පීඩනය මෙහෙය වන්නන්ගේ දර්ශනය පමණක් ලොව තිබිය යුතුය යන අර්ථය පෙරදැරි කරගෙන වෙයි.

ජේසුතුමා පවසන පරිදි, ඔබ මා සඳහා මිනිසුන් ඉදිරියේ සාක්ෂි දෙයි ද මමත් මහෝත්තම දෙවිඳුන් ඉදිරියේ ඔබ වෙනුවෙන් පෙනී සිටිමි. මෙය උන්වහන්සේගේ පොරොන්දුවකි.

මෙය සරලව, ඔබ ඔබේ යහළුවකු යැයි සිතන කෙනෙකු, එය සත්‍ය දැයි වටහා ගැනීමට නම්, ඔහු ඔබ නැති තැන ඔබ වෙනුවෙන් කොන්දේසි විරහිත පෙනී සිටීම සැලකිය හැක. මෙය ඉතා සරලව පක්ෂ ලෙස බෙදී සිටින හා සමාජයේ පක්ෂ විපක්ෂව ඉන්නා නායකයන්ට අදාළ නොවේ. ආණ්ඩුව ඉන්නා නායකයන්ට අදාළ නොවේ. ආණ්ඩුව වෙනස් වුවත් ප්‍රධානීන් අප සමග ඔවුනට ගර්හා කළත් ඔවුන් එකිනෙකට එකඟය. එම හොරකමට හෝ මංකොල්ලයට ජාති, කුලය හෝ ආගම නැති අතර කුණු රසට හුරුවූ කබරයෝ මෙන් ඒවා භුක්ති විඳිති.

තුවාලයක් බැලීමට ගිය විට දුටු මතින් වැටහී ගියේ එය ඉතා නරක අතට හැරී තිබූ තුවාලයක් බවයි. එතුමියගේ ජීවිතය රැක ගැනීමට නම් අදාළ කකුල තැනීම වෙනුවට එය කැපිය යුතුව තිබුණි. නමුත් ඉතා සුළු ප්‍රතිශතයක්. එනම් සියයට 0.01 පමණ එය හොඳවීමට ඉඩ ඇති බව මට මගේ දැනුමට අනුව වැටහිණි. මා පාදය පිළිසකර කිරීමට පෙර ඇයගෙන් විමසා සිටියේ මෙය මාගේ අවසාන උත්සාහය බවයි. ඒ ගැන ඇය සිතන්නේ කුමක්ද කියා ඇසීමටත් අමතක නොකලෙමි. ඇය ඊට ලබාදුන්නේ ඉතා නිර්භීත ධනාත්මක පිළිතුරකි.

“ඩොක්ටර් ජේසු මා එක්ක නම් මම මොකටද බය වෙන්නේ? ඩොක්ටර් ඔබට පුළුවන් දේ කරන්න. නමුත් මම දන්නවා ජේසු මගේ කකුල ආපහු මට දෙනවැයි කියලා.” ඇගේ බස මාවද අන්ද මන්ද කළේය.

“මම ආයෙත් ඇවිදිනවා ඩොක්ටර්. අනිවාර්යෙන්ම ඇවිදිනවා.”

එතුමිය එසේ ඇගේ විශ්වාසය සපථ කළ අතර මම ශල්‍යකර්මය ආරම්භ කිරීමට පෙර පිතා පුත්‍රයා දැමීමට අමතක නොකලෙමි. ඇයද එසේ කළාය. එසේම ඇය මගේ නළල මත කුරුසියේ ලකුණු සළකුණු කළාය. දින පහකට පසුව ශල්‍යකර්මය සාර්ථක බවට නිමිති පලවූ අතර එය අදින් වසර අටකට පෙර මා සේවය කළ රෝහලකදී අද්දුටු අත්දැකීමකි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 79 කි. අදටත් ඇය කන්‍යාරාමයේ ගෙවතු වගාවට සක්‍රීයව සම්බන්ධවනුයේ 87 වන වියේ පසුවෙමිනි. ඇයගේ පූර්ණ අවසරය මත මෙය පළකරනු ලබන අතර ඇය සුරදූතික නිකායට අයත් විශ්‍රාමික විදුහල්පතිනියකි.

අපගේ විශ්වාසය අප තුළ තිබිය යුතු අතර, සාක්‍ෂි දැරීම තුළ ක්‍රිස්තුතුමන්ව අන් අය ඉදිරියේ ප්‍රකාශ කරමු. එය අපේ ක්‍රමයයි.

වෛද්‍ය සචිත මෙන්ඩිස්
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරි

advertistmentadvertistment
advertistmentadvertistment