ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමේ ලොක්කන් දෙදෙනකුට වරෙන්තු

327

6 දෙනකුට රට යෑම තහනම්

6 වැනි සැකකරු හොරෙන්ම රට පැනලා වංචාවට හසුවූ 343කගෙන් ප්‍රකාශ අරන්

අත් අකුරින් සැකසූ පිරමීඩ සැලැස්මක් රස පරීක්ෂක වෙත

සේවාදායකයන්ට මහමඟ, බැසයෑමට නොහැකි තරමට ජීවිත තර්ජන එල්ල වෙලා – සැකකරුවන්ගේ නීතිඥවරු

අධික ප්‍රතිලාභ ලබාදෙන බවට සුබ සිහින මවා පා පුද්ගලයන් සිය ගණනකගෙන් රුපියල් කෝටි ගණනාවක් ලබාගෙන රටින් පැනගොස් ඇතැයි කියන ඔන්මැක්ස් ටී.ඩී. සමාගමේ අධ්‍යක්ෂවරුන් යැයි කියන එම නඩුවේ හය හා හත්වන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (02) වරෙන්තු නිකුත් කළේය.

හයවන සැකකරු තම දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දිනම වංචා කළ මුදල් ගෙවන බවට පොරොන්දුවීම නිසා අධිකරණය විසින් ඇප මත මුදාහැර ඇති බවත් එලෙස ඇපමත මුදාහැර දින අටක් ඇතුළත රහසිගතව විදේශගතවී ඇති බවත් අධිකරණයට පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා ඔහුගේ ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඔහුගේ බිරිඳ හා මව සම්බන්ධයෙන් මෙන්ම ඔවුන් සතු දේපළ සම්බන්ධයෙන් ද විමර්ශනය සිදුකරන බවද අධිකරණයට දැනුම් දුන්නේය. එම සැකකරු මෙන්ම මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති එම නඩුවේ 7 සහ 8 වන සැකකරුවන් ලෙස නම් කොට ඇති පුද්ගලයන් දෙදෙනා ද මේ වනවිට රටින් පලාගොස් ඇති බැවින් ඔවුන් තිදෙනාම අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු ලබාගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින්නේ යැයිද එම විමර්ශන නිලධාරියා අධිකරණයට පැවසීය. එම සමාගමේ සැකකාර අධ්‍යක්ෂවරුන්ට එම වංචාව සඳහා ආධාර අනුබල දුන් තවත් පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කොට ඇතැයි ද අධිකරණයට පැවසූ විමර්ශන නිලධාරියා ඔවුන් හයදෙනාට ද විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අධිකරණය එම නියෝග නිකුත් කළේය.

එමෙන්ම එම නඩුවේ හතරවන සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙකී පිරමිඩ ආකාරයේ ජාවාරමට අදාළ ඔහුගේ අත්අකුරින්ම ලියන ලද සැලැස්මක් අත්අඩංගුවට ගෙන ඇති බැවින් එම ලේඛනයේ අත්අකුරු හා එම සැකකරුගේ අත්අකුරු සාම්පල් රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කොට වාර්තාවක් කැඳවීමට නියෝගයක් නිකුත් කරනා ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය ද නිකුත් කළේය.

එකී වංචාවෙන් උපයාගත් මුදලින් සැකකරුවන් මිලදී ගත් දේපළ මේ වනවිට තහනමට ලක්කර ඇති බවත් ඒවා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කොට වෙළෙඳපොළ වටිනාකම පිළිබඳව වාර්තාවක් කැඳවීමට නියෝගයක් කරනා ලෙසත් විමර්ශන නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය ද නිකුත් කළේය. එම වංචාවට අසු වූ පුද්ගලයන් අතරින් 343 දෙනකුගේ ප්‍රකාශ මේ වනවිට සටහන් කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුව, සැකකාර පාර්ශ්වය හා අගතියට පත් පාර්ශ්වය එක්ව සාකච්ඡා කොට එකී වංචාවට හසුවූ පුද්ගලයන් සියලු දෙනාගෙන්ම සැකකරුවන් ලබාගත් සියලුම මුදල් නිසියාකාරව ආපසු ගෙවීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට තම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සියලුම පාර්ශ්වවලට නියෝග කළේය.

තම සේවාදායකයන්ට අවශ්‍ය සැකකාර සමාගම් අධ්‍යක්ෂවරුන් ඔවුන්ගෙන් වංචනික ලෙස ලබාගත් මුදල් ආපසු ලබාගැනීම මිස අන් දෙයක් නොවන්නේ යැයි අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක විජේවර්ධන, ආර්.ඒ.පී. රණවක සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලය අධිකරණයට පැවසූහ. සිය සේවාදායකයන්ද එලෙස අගතියට පත් පාර්ශ්වයෙන් ලබාගත් මුදල් ආපසු ගෙවීමට සූදානම් නමුත් ඔවුන් සතු දේපළ හා බැංකු ගිණුම් මේ වනවිට තහනමට ලක්කර ඇති බැවින් එලෙස මුදල් ගෙවීමේ ක්‍රියාවලියට බාධාවක් ඇතැයි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ යන මහත්වරු අධිකරණයට පැවසූහ.

සිය සේවාදායකයන්ට මහමඟ, බැසයෑමට නොහැකි තරමට ජීවිත තර්ජන ඇති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි සැකකාර සමාගම් අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් අධිකරණයට පැවසූ අතර සැකකරුවන්ගේ ජීවිතවලට යම් තර්ජනයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද සොයා බලන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වංචා කළ මුදල් අගතියට පත් පාර්ශ්වයට ආපසු ගෙවීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීම සඳහා එම නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

සැකකාර සමාගම් අධ්‍යක්ෂවරුන් සිවුදෙනකු ඊයේ (02) විවෘත අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් අධිකරණයෙන් නික්ම යන අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය නියෝජනය කළ කිහිපදෙනකු සමග උණුසුම් කතාබහක් ඇති වූ නමුත් අධිකරණ පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් ගැටුමක් ඇතිවීමට පෙර ඔවුන් විසුරුවා හැරීමට පියවර ගත්හ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment