බොන්න වතුර සොයා එන වන සතුන්ට වස දී මරා බත් පිඟානට ගේන අමනයෝ

67

හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු රටේ බහුතර ප්‍රදේශ රැසකටම මේ වන විට පවතින්නේ දැඩි නියං සහිත කාලගුණික තත්ත්වයකි. මේ හේතුව නිසා ජනතාව මෙන්ම වන සතුන්ද දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ. පවතින දැඩි නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයටද මේ වන විට දැඩි බලපෑම් එල්ල වී තිබේ. දිස්ත්‍රික්කය පුරා පවතින මහා පරිමාණ වැව් හා ජලාශ කිහිපයක හැරුණුකොට අන් සියලු කුඩා ප්‍රමාණයේ වැව්, ඇළ දොලවල් කට්ටටම සිඳී ගොස් හමාරය. මේ හේතුවෙන් ගොවිබිම් රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ජනතාව මෙන්ම සතා සීපාවුන්ද මේ වන විට දැඩි ජල අර්බුදයකට මුහුණ පාමින් තිබේ.

අද අප පාඨක ඔබට ලියන්නට යන්නේ වියළි කාලගුණය පිළිබඳව නොව පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජලය සොයා එන වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරුය. බොන්න වතුර පොදක් සොයා එන වන සතුන් මරා මස් කර කතරගම හා ඒ ආශ්‍රිත හෝටල්වලට විකීණීමේ මහාපරිමාණ ජාවාරමක් පිළිබඳව වනජීවී නිලධාරීන්ද මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ජාවාරම්කරුවන් කලින් කලට සිය අභිමතාර්ථ පසුරා ගැනීම සඳහා නිලධාරීන්ගේද ඇස්වලට වැලි ගසා කුමක් හෝ උප්පරවැට්ටියක් යොදන්නේ මුදලට ඇති ගිජුකම නිසාය. ජාවාරම්කරුවන් පරිසරය සතා සීපාවුන් පිළිබඳව තියා මිනිස් ජිවිත පිළිබඳවවත් තුට්ටුවකට මායිම් කරන්නේ නොමැතිය. අපි එසේ කියන්නේ අන් කිසිවක් නිසා නොව පවතින වියළි කාලගුණයත් සමගින් බොන්න වතුර පොදක් සොයා එන වන සතුන්ට වස මිශ්‍රිත ජලය බොන්න සලස්වා මරා මස් පිණිස විකිණීම නිසාවෙනි.

ජාවාරම්කරුවන් වන සතුන් නිතර ගමන් කරන මාර්ග ආසන්නයේ කුඩා දිය කඩිති සකස් කර ඊට වස මිශ්‍ර කර තබයි. වතුර සොයා එන වන සතුන් මෙම වස මිශ්‍රිත වතුර පානය කිරීමෙන් තැන තැන මැරී වැටුණු පසු ජාවාරම් කරුවන් මෙම වන සතුන් රැගෙන ගොස් දඩ මස් ලෙස කතරගම හා අවට හෝටල්වලට ඉහළ මුදලකට අලෙවි කරනු ලබයි. දඩමස් සඳහා බොහෝ දෙනකුගෙන් පවතින්නේ ඉහළ ඉල්ලුමකි. මේ බව දන්නා ජාවාරම්කරුවන් කිසිදු වියදමකින් තොරව මෙම ජාවාරම කරගෙන යයි. මේ හේතුව නිසාම මේ දිනවල දඩයක්කරුවන්ගේ හා ජාවාරම් කරුවන්ගේ අත මිටද හොඳහැටි සරු වී තිබේ. ජාවාරම්කරුවන්ගේ වැඩි ඉලක්කය බවට පත්ව ඇත්තේ වල් ඌරන්, මුවන්, ගෝනුන් වැනි සතුන්ය. කෙසේ නමුත් මේ වනවිට උද්ගතව ඇත්තේ වෙනස්ම තත්ත්වයකි. ඒ මෙම වස මිශ්‍රිත දිය කඩිති වලින් මොණරුන්, ඉත්තෑවන්, හාවුන් මෙන්ම ලේනුන්, විවිධ කුරුල්ලන් ඇතුළු වෙනත් කුඩා සතුන්ද මෙම වස මිශ්‍රිත වතුර බීම නිසා ඔවුන්ද තැන තැන මැරී වැටී තිබිමය.

බොන්න වතුර සොයා එන වන සතුන්ට වස දී මරා බත් පිඟානට ගේන අමනයෝ

කතරගම, සෙල්ලකතරගම, වැඩිහිටිකන්ද කැලෑ කොටස ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකම මේ වන විට මෙම ජාවාරම ඉතා ජයටම කරගෙන යයි. විවිධ ප්‍රදේශවල සිට දකුණේ සංචාරයට පැමිණෙන බොහෝ දෙනකු දඩ මස් කියා තළු මරමින් අනුභව කරන්නේ වස දමා මරා දමන ලද සතුන්ගේ මස් බව කිසිවෙකුත් නොදන්නේය. මෙහි ඇති භයානක කම නම් අන් කිසිවක් නොව වස මිශ්‍රිත ජලය පානය කිරීම හේතුවෙන් මියගිය සතුන් ආහාරයට ගැනීම නිසා විෂ ශරීරගත වීමෙන් මිනිස්සුන්ට එල්ලවිය හැකි සෞඛ්‍ය තර්ජනයයි.

මේ වන විට මෙම ජාවාරම පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවද තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති අතර ඒ සඳහා විසඳුමක් ලෙස ඒ ඒ ප්‍රදේශ නියෝජනය කරන වනජීවී නිලධාරීන් සීරුවෙන් තැබීමටත්, මෙවැනි ජාවාරම් සිදුකරන පුද්ගලයන් පිළිබඳව තොරතුරක් ලද වහාම දැනුම් දීම සඳහා 1992 ලෙස ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට මෙම ජාවාරම්කරුවන් හඳුනාගැනීම සඳහා ජනතා සහායද ඉල්ලා තිබේ.

වැඩි වශයෙන් මෙම ජාවාරම සිදුවන බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ කතරගම හා සෙල්ලකතරගම ආශ්‍රිත ප්‍රදේශ තුළය. ඊට හේතුව බවට පත්ව ඇත්තේ සෙල්ලකතරගම යාල ජාතික උද්‍යානය ආසන්නයේ පිහිටා තිබීමය. මේ නිසා ජාවාරම් කරුවන්ට ඉතා පහසුවෙන් වතුර සොයා එන සතුන් දඩයම් කර ගැනීමට හැකිව තිබේ.

මේ සම්බන්ධයෙන් අප වනජීවී කාර්යාල කිහිපයකින්ම විමසීමක්ද සිදුකළ අතර එහිදී එම නිලධාරීන් පැවසුවේ පවතින වියළි කාලගුණය හේතුවෙන් වන සතුන් දැඩි පානීය ජලය හිඟයකට මුහුණ පා සිටින බවත්, මේ හේතුවෙන් ජලය සොයා වන සතුන් ගම් වැදීමට පටන් ගෙන ඇති බවත් එලෙස එන වන සතුන් දඩයම් කිරීමට ජාවාරම්කරුවන් පෙළඹී ඇති බවත්ය. මෙවැනි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට වනජීවී නිලධාරීන් සිය සේවා වැඩිකර ඇති බවත්, මීට අමතරව ජනතා සහාය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බවත්ය. එමෙන්ම මේ දිනවල හෝටල් තුළ දඩමස් කියා අලෙවි කරන්නේ වස මිශ්‍රිත ජලය පානය කිරීම නිසා මැරී වැටෙන සතුන්ගේ මස්. මේවා විෂ සහිතයි. මොකද මෙම සතුන් මිය යන්නේ වස ශරීර ගත වීම නිසායි. ඒ නිසා දඩමස් ආහාරයට ගැනීම නිසා මිනිස් සිරුරට විෂ ඇතුළු විය හැකියි වගේම විවිධ සංකූලතා ඇති විය හැකියි. ඒ නිසා දඩමස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙස වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිති. එමෙන්ම වන සතුන් දඩයම් කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන පුද්ගලයන්ට එරෙහිව නීතියද දැඩිව ක්‍රියාත්මක කරන බවද වනජීවි නිලධාරී පැවසීය.

බොන්න වතුර පොදක් සොයා එන වන සතුන්ගේ වතුර ටිකට වස දමා එම සතුන් මරා කෑම පිඟානට ගෙන ඒමට තරම් මේ වන විට ඇතැම් මිනිසුන් සාහසික වී තිබීම කනගාටුවට කරුණකි. මෙතරම් බණ කියන බණ අහන රටක මෙවැනි ක්‍රියා සාධුජනයා කිසිසේත් අනුමත නොකරනු ඇත.

මත්තල –
දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment