පවුල් ජීවිතය වාසනාවන්ත කරන බෞද්ධ ඉගැන්වීම්

231

පුරුෂයකු හා ස්ත්‍රීයක නීතියෙන් බැඳී එකට ජීවත්වීම නූතනයේ විවාහ ජීවිතය නමින් සාමාන්‍යයෙන් පිළිගැනේ. දරුවන් බෝ කිරීමේ අදහසින් පමණක් විවාහයක් සිදු නොවේ. ලෙඩක් දුකක් ඇති වුණහම කෙනෙක් පිහිටට සිටිය යුතු ය. විශේෂයෙන් ම දෙමාපියන්ගේ මරණයෙන් පසු දරුවන්ට උපස්ථාන කිරීමට කෙනෙක් නැත. ඒ නිසා දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් හා දරුවන්ට ඇති සෙනෙහස නිසා මවත්, පියාත් කෙසේ හෝ දරුවන්ට විවාහයක් කර දීමට සූදානම් වෙයි. ඔවුන්ගේ පැවැත්ම සඳහා තමන් රැස් කළ ධනයත්, දේපළත් බෙදා දෙයි.

දරුවන්ගේ දියුණුව, සතුට දකිමින් සන්තෝෂයට පත් වෙයි. අපගේ මරණයෙන් පසු දරුවන් සන්තෝෂයෙන්, දුකක් නැතිව ජීවත් වේ’යැයි නිතර නිතර සිතමින් සතුටට පත් වේ. දෙමාපියන්ගේ උතුම් බලාපොරොත්තුව මල්ඵල ගැන්වීමට නම් විවාහ ජීවිතයට එළැඹෙන පුරුෂයාත්, ස්ත්‍රීයත් සීල ප්‍රතිපදාවකට එළැඹිය යුතුයි. බුදු දහම අනුව සීල ප්‍රතිපදාවක් වුවත් සරලව මෙය විනය නීති මාලාවක්, එසේත් නැති නම් ප්‍රතිපත්ති සමූහයක් ලෙසත්, තවදුරටත් චාරිත්‍ර වාරිත්‍ර රැසක් ලෙසත් හඳුන්වා දිය හැකියි. සමාජයේ විවාහක පවුල් බිඳවැටීමටත්, දරුවන් අතරමංවීමටත්, දෙමාපියන්ගේ සිත් සතුටු කිරීමටත් නොහැකි තත්ත්වයට පත්වුණු පවුල් ජීවිත දකින්න පුළුවන්. එයින් වැඩි ප්‍රමාණයක් බිඳවැටීමට හේතු වී ඇත්තේ යහපත් බිරිඳක හා යහපත් සැමියකු සතු ප්‍රතිපත්ති ආරක්ෂා නො කිරීමයි. මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සැබෑ බිරිඳකගේ ප්‍රතිපත්ති මොනවාද යන්නත්, ඒවා ක්‍රියාත්මක කිරීමෙන් පවුල් ජීවිත ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්නත් පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ භාර්යාවගේ කටයුතු සම්බන්ධයෙන් දේශනා කළ ධර්ම කරුණු ඇතුළත් සූත්‍ර ගණනාවක් පෙළ දහමේ දක්නට ලැබේ. ඒ අතර

සිඟාලෝවාද සූත්‍රය, පරාභව සූත්‍රය, සප්තභරියා සූත්‍රය ආදිය නිදසුන් ලෙස සඳහන් කළ හැකි ය. මෙයට අමතරව තවත් සූත්‍ර ගණනාවක් අංගුත්තර නිකායේ හා සංයුක්ත නිකායේ සඳහන් වේ. මෙහි දී සාකච්ඡා කරන්නේ එයින් කිහිපයක් ඉතා සංක්ෂිප්තවයි. භාර්යාවක් මිනිස් සමාජයේ කීර්තියට හා ප්‍රශංසාවට ලක් වීමට නම්, ගේ දොර කටයුතු නිසි පරිදි සංවිධානය කිරීම, තමාගේ හා සැමියාගේ නෑදෑයන්ට-හිතමිතුරන්ට-සේවකයන්ට-අසල්වාසීන්ට ප්‍රස්තාවනානුකූලව සංග්‍රහ කිරීම, ස්වාමියාගේ සිත සතුටුවන පරිදි කථා කිරීම හා ක්‍රියා කිරීම, ස්වාමියා රැස් කරන ධනය සුරාවට-සූදුවට-නෘත්‍ය දර්ශන නැරඹීමට යෑම- පරපුරුෂයන්ට වියදම් කිරීම යනාදී ධනය විනාශවන මාර්ග අහුරා තබා ආරක්ෂා කිරීම, ශ්‍රද්ධාවෙන් හා සීලයෙන් යුක්ත වීම, දීමට කැමැත්ත හා මසුරු නො වීම යන කරුණු අට බිරිඳක විසින් සම්පූර්ණ කළ යුතු බව අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වේ. මෙම ගුණ අටෙන් යුක්ත, නැණවත්, ගුණවත්, සත්‍යවාදී, සිල්වත් බිරිඳක් යම් පවුලක ජීවත් වෙනවා නම් ඇය මෙලොව උගුන්ගේ, සිල්වතුන්ගේ හා සමස්ත සමාජයේ ඇගයීමටත්, ප්‍රශංසාවටත් ලක් වේ. එපමණක් නොව මෙලොවින් පසු සුගතිගාමී ද වේ.

ස්වාමි පුරුෂයා බිරිඳගේ සුවය හා සැපය වෙනුවෙන් වෙහෙස වී ධනය උපයයි. එබැවින් බිරිඳ ඔහුට සංග්‍රහ කළ යුතු ය. අංගුත්තර නිකායේ ම පඤ්චක නිපාතයේ පෙන්වා දෙන්නේ හොඳ බිරිඳක විසින් සියලු දේ දෙන්නා වූ ස්වාමි පුරුෂයා වෙනුවෙන් තමන්ට අභිමත සේ හැසිරෙමින් ස්වාමියා කෝප නො කිරීම, ස්වාමියාගේ ගුරු දෙගුරුන්ට පුදසත්කාර කිරීම, අනලස්ව ස්වාමියාගේ පිරිවර ජනයාට සංග්‍රහ කිරීම, ස්වාමියා උපයන ධනය ආරක්ෂා කිරීම යන කටයුතු සිදු කළ යුතු බවයි. එසේ කරන යම් බිරිඳක් වේ නම් ඇය මරණින් මතු දෙව්ලොව උපදින බව සඳහන් වේ. සිඟාලෝවාද සූත්‍රයේත් ගුණැති බිරිඳක විසින් ස්වාමියාට කැඳ බත් පිසීම් ආදි ගේදොර කටයුතු මනා කොට සොයා බලා සිදු කර දීම, සැමියාගේ සේවක ජනයාටත්, හිතමිතුරන්ටත්, දෙමාපියන්ටත් යනාදී වශයෙන් සැලකිය යුතු පුද්ගලයන්ට සංග්‍රහ කිරීම, සැමියා හැර පරපුරුෂයන් සිතින්වත් ප්‍රාර්ථනා නො කිරීම, සැමියා විසින් ගෙනෙන ලද ධනය නිසි පරිදි වියදම් කරමින් ආරක්ෂා කිරීම, සියලු කටයුතුවල දී දක්ෂව, අනලස්ව නියැළීම යන කරුණු පහෙන් ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙයි. බුදුරජාණන් වහන්සේ නිතර උත්සාහ කර ඇත්තේ කාන්තාවට සමාජයේ නිසි තැන ලබා දී තම සැමියා හා සමස්ත සමාජය ඉදිරියේ ගෞරවාන්විත චරිතයක් බවට පත් කිරීමට ය. එම නිසා බුදුසමයේ කාන්තාව ගැරහීමට හෝ ඇය අවඥාවට ලක් කිරීමට හෝ කිසිවිටකත් අනුමත කර නැත. ඇය පූජනීය තනතුරකට පත් කර තිබේ. අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ සප්ත භරියා සූත්‍රයේ දී සැමියා ඉදිරියේ කෙසේ පැවතිය යුතු ද යන්නත්, යහපත් බිරිඳක් වශයෙන් කටයුතු කර සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්නත් පැහැදිලි කර ඇත. තරුණියක් පුරුෂයකු සමග විවාහ ජීවිතයට ඇතුළත් වූ පසු ඇය බිරිඳක් බවට පත් වේ. සැමියා සමග ජීවත් වන විට ඇයගේ ස්වභාවය ක්‍රමයෙන් වෙනස් වේ. එම වෙනස පදනම් කර ගෙන ලෝකයේ බිරින්ඳෑවරුන් හත් දෙනෙක් ඇති බව මේ සූත්‍රයේ දී පෙන්වා දී ඇත. පළමුවැනියට සඳහන් කරන්නේ පවුල් ජීවිතය අසාර්ථක කරන බිරින්දෑවරුන් තුන් දෙනෙක් පිළිබඳවයි. ඔවුන් නම් වශයෙන් වධකසම, චෝරිසම හා අරියසම යනුවෙන් සඳහන් කර ඇත. වධක සම යනු දුෂ්ට සිත් ඇති බිරිඳයි. ඇය ස්වාමියාට හිතානුකම්පා රහිතව කටයුතු කරයි. පරපුරුෂයන් සේවනය කරයි. කාමයෙන් මත් වී ඔවුන් පසුපස ම ගමන් කරයි. සැමියාගේ චින්තනය හා වදන් ඉක්මවා කටයුතු කරමින් හැසිරෙයි. සැමියාගේ ධනය විනාශ කිරීම පිණිසම කටයුතු යොදයි. මෙවැනි ලක්ෂණ සහිත බිරිඳක් යම් සැමියකුට හමුවුවහොත් ඔහුගේ මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් අසාර්ථක වන බවත් දිනෙන් දින දුකට පත් වන බවත් සඳහන් වේ. සැමියා දුක් මහන්සියෙන් උපයන ධනය හෝ වස්තුව ඔහුට හොරෙන් තම ඥාතීන්ට, හිතමිතුරන්ට, අසල්වාසීන්ට, පරපුරුෂයන්ට හොර සිත පහළ කරගෙන, සැමියාට වංචා කරමින් කටයුතු කරයිද එම බිරිඳ චෝරිසම ලෙස හඳුන්වා ඇත. විවාහ දිවියට පත් වූ පසු ඇතැම් තරුණියන් සැමියා ඉක්මවා ගෘහයේ අධිපතිත්වය හොබවයි. ඇයගේ අවසරය හා උපදෙස් මත ම ක්‍රියා කිරීමට සැමියාට සිදු වෙයි. විවිධ හේතුවලින් ඔහුව යට කරගනියි. රළු හා චණ්ඩ ගති ප්‍රදර්ශනය කරයි. සැමියා ඉදිරියේ දත් විදහා පාමින් මූනිච්චාවට සිනාසුන ද නිතර කෝපයෙන් හා ඊෂ්‍යාවෙන් කටයුතු කරයි. මෙවැනි ලක්ෂණ සහිත බිරිඳ අරියසම නමින් හඳුන්වන බවත් ඇය ද සාර්ථක පවුල් ජීවිතයක්ගත කිරීමට බාධා පමුණුවන බවත් සඳහන් කර ඇත. මේ භාර්යාවන් තිදෙනා පවුල් ජීවිතය අසාර්ථක කර දමයි. එහෙත් නූතන සමාජයේ අපට දකින්න ලැබෙන එමෙන්ම අවධානය යොමු කළ යුතු තවත් සුවිශේෂ කරුණක් ඇත. ඇතැම් විවාහක පවුල්වල බිරිඳ මෙරට හෝ පිටරට රැකියාවේ නිතර වේ. සැමියා දරුවන් පාසලට ගෙන යමින්, ගෙදොර දොර කටයුතු කරමින්, දෙමාපියන් රැකබලා ගැනීම් ආදිය කරයි. ඔහු බිරිඳ උපයන ධනයෙන් පෝෂණය වෙමින් බිරිඳට පීඩනයක්ම ඇති කරයි. ඇයගේ කටයුතුවලට සහාය නොදක්වයි. ඇයට වංචා කරයි. ඒ අනුව පවුල් ජීවිතයට ස්වාමි හෝ භාර්යා පාර්ශ්ව දෙකින් කවරෙකු වෙතින් හෝ වධකසම, චෝරසම, අරියසම ප්‍රදර්ශනය වේ නම් එය දුරින්ම දුරු කළ යුතු ය. එවිට සතුට පිරුණු, සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ හැකි ය. දික් කසාදය වෙනුවට ආදර්ශමත් අඹුසැමියන් වීමටත්, දෙමාපියන් වීමටත්, කිර්ති – ප්‍රශංසා හිමි, සමාජ ගෞරවය ලැබෙන පුද්ගලයන් බවට පත්වීමටත් හැකියාව ලැබේ.

පවුල් ජීවිතය වාසනාවන්ත කරන බෞද්ධ ඉගැන්වීම්

කථිකාචාර්ය, ආචාර්ය
පූජ්‍ය පදියතලාවේ අමරවංශ හිමි
සිංහල අධ්‍යයන අංශය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,
හෝමාගම.

සංස්කරණය – සුසිල් ජයකොඩි

පවුල් ජීවිතය වාසනාවන්ත කරන බෞද්ධ ඉගැන්වීම්


0722081522

advertistmentadvertistment
advertistmentadvertistment