හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් (කෙටි කතාව)

692

මහාචාර්ය ලියනගේ අමරකීර්ති

උසස් පෙළට සිංහල -7

2023/24 වසර උසස් පෙළ සිංහල විෂය හදාරන සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය පිණිස ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී විසින් සපයන ලිපි පෙළක් දිවයින ‘වටමඬල’ ඔස්සේ පළ කිරීමට අප විසින් තීරණය කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ආචාර්ය උපාධියක් දිනාගත් විරාජ් ධර්ම ශ්‍රී සිංහල මෙන්ම ඉංග්‍රීසි සාහිත්‍යය කෙරෙහි ද උනන්දුවක් දක්වයි. ඊට අමතරව ඔහු කවියකු, විචාරකයකු ලෙසද කටයුතු කරයි.

අන්තර්ගතය

පිලෝරිස් ගේ චරිතයට මුල් තැන දී රචිත හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් කෙටි කතාවේ අන්තර්ගතය කුහක ධනවාදී සමාජය තුළ ආර්ථික පරිසරයකින් බැට කන අහිංසක පියකු සහ පුතකුගේ ජීවන අරගලය හා බැඳී පවතී. පිලෝරිස් සිය පවුලේ අය කෙරෙහි දයානුකම්පාවෙන් වෙහෙස මහන්සි වී හරි හම්බ කර ගෙන දැහැමි දිවි පෙවෙතක් ගත කරයි- විමලසේන තම පියා රෝගී වූ විට අයුතු ලෙසින් හෝ ධනය උපයා තම පවුලේ අය රකින පුතෙකි- හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් කෙටි කතාවේ අන්තර්ගතය සැබෑ ලෝකයේ ගැටලු කෙරෙහි පාඨක මනස සුසංවේදී කරන සුලු ය.

කතා ප්‍රවෘත්තිය

පොල් කැඩීම රැකියාව කර ගත් පිලෝරිස්ට පොල් ගස් කැපීම නිසා සිය රැකියාව කරගෙන යෑමට නොහැකි වේ. හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් කෙටි කතාවේ කතා ප්‍රවෘත්තිය එකිනෙකාගේ රැකියා හා ජීවන අරගලය හා බැඳුණකි. ජයපාල මුදලාලි ගේ චරිතය ධනයට ලොල් ව පොල් ගස් කපා දමන නරුමයකු සේ, ඒ චරිතය නිර්මාණය (කළ ද ජයපාල මුදලාලි වුව ද මුදල් උපයනුයේ ජීවත් වනු පිණිස ය. එකරුණ ජයපාල මුදලාලි ගේ දෘෂ්ටියෙන් කතාව දිග හැරියේ නම් අපට දැන ගන්නට ඉඩ තිබිණ. එබැවින් පාඨක මනස එක් දිශාවකට යොමුවන ආකරයෙන් කෙටි කතාව නිර්මාණය කළ ද කෙටි කතාවක සැකැවි බව රැකීමට ඉන් ලැබෙනුයේ රුකුලකි.

රචනා උපක්‍රම

බහු ආත්ම භාෂණ දෘෂ්ටිකෝණය

බහු ආත්ම භාෂණ දෘෂ්ටිකෝණය යනු අත්දැකීමක් පුද්ගලයන් කිහිපදෙනකු ගේ දෘෂ්ටියෙන් දිග හැරීම යි- කෙටි කතාකරුවකුට වඩාත් පුළුල්ව මේ කථන ක්‍රමය ඔස්සේ අදහස් පළ කිරීමට හැකිය. මහාචාර්ය අමරකීර්ති ගේ හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් කෙටි කතාව බහු ආත්ම භාෂණ දෘෂ්ටිකෝණයෙන් නිර්මාණය කර ඇති බව ගිය සතියේ ලියූ පසුව මෙය ප්‍රථම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණයට අයත් යැයි ඇතැම් බක පණ්ඩිතයෝ තර්ක කළහ- වාද විවාදවලින් පිබිදුණු මට ඈත පෙදෙස්හි සම්මන්ත්‍රණ, වැඩමුළු කිහිපයකට ම ඇරැයුම් ලැබිණ. ප්‍රථම පුරුෂ සර්වවේදී බාහිර දෘෂ්ටිකෝණයෙන් කියනවිට ලේඛකයා ඉදිරියට පැමිණ තතු හෙළි කිරීම සිදු වන අතර ප්‍රථම පුරුෂ සර්ව කේන්ද්‍ර ගත දෘෂ්ටිකෝණයේදී ලේඛකයා ගේ අධිකාරය ඉදුව දැකිය නො හැකිය- මේ දෘෂ්ටිකෝණ දෙකෙහි පරාසය ඉතා සියුම්, නො සැලැකිය යුතු තරමේ පරාසයක් බැවින් උසස් පෙළ එතරම් ගැඹුරු අධ්‍යයනයක් බලාපොරොත්තු නො වන බව සැලැකිය යුතුය.

ශෛලිය

හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් කෙටි කතාව යථාර්ථවාදී කෙටි කතා ශෛලියට අනුව නිර්මාණය කරන ලද කෙටි කතාවකි. මේ අත්දැකීම සැබෑ අත්දැකීමක් දැයි මහාචාර්ය ලියනගේ අමරකීර්ති ගෙන් පෙරේදා විමසුවෙමි. ඔහු කී පරිදි මේ අත්දැකීම සැබෑ අත්දැකීමක් නොවන නමුත් මේ අත්දැකීම හා බැඳි පරිසරය එදා ඔහු ඇසූ දුටු දෑ හා බොහෝ සමීප යි.

පරිසරය

මේ කෙටි කතාව හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් යනුවෙන් නම් කර ඇත්තේ ඒ කාලේ (ජනසවිය) සුබ සාධන වැඩසටහනකට සම්බන්ධ වූ පවුලක් වටා නිර්මාණය කළ බැවිනි- මහාචාර්ය ලියනගේ අමරකීර්ති ජීවත් වූ පෙදෙස පොල් ගස් බහුල පෙදෙසකි- පොල් ගස් කැපීම ද එහි බහුලව සිදු විය- මහාචාර්ය ලියනගේ අමරකීර්ති තම අත්දැකීම් පරිසරය ඉවහල් කර ගනිමින් මේ කෙටි කතාව නිර්මාණය කිරීම ගැන අපේ අවධානය යොමු විය යුතුය- මේ අපූරු නිර්මාණය බිහි වන්නේ කෙටි කතාකරුවා සැබෑවත් කල්පිතයත් අතර දෝලනය වීමෙන් අනතුරුව ය.

සංකේත

සැකැවි බව සුරකිනු පිණිස කෙටි කතාකරුවකුට සංකේත භාවිතය වැදගත් වේ- කපා දැමූ පොල් ගස් පිලෝරිස් වැනි අතිමහත් බහුතරය නිර්ධන පන්තියේ අසරණයන් දක්වන සංකේතයකි.

“ ගෙයි ඇතුළත හුඹස් බැඳල, බයෙත් බෑ. සතාසරුපයෝ එහෙම බෝ වුණොත් ”

කමලාවතී ගේ මුව’ගට නඟන මේ වදන් අනාගතයේ සිදු වන අනතුරක් ගැනඅඟවන සංකේතයකි- පිලෝරිස් ලවා ම පොල් ගසට කඹය දැමීමට ජයපාල මුදලාලි පෙලැඹීම තරමක උපහාසාත්මක එමෙන් ම පාඨක මනසේ කිසියම් සංවේගයක් ජනනය කරන සංකේතයකි.

විස්තර සහ දෙබස්

හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් කෙටි කතාවේ විස්තර සහ දෙබස් සිත් ගන්නා සුලු ය.

එහෙත් ඇතැම් තැන්හි විස්තර සහ දෙබස් අනවශ්‍ය යැයි මට සිතේ. සංක්‍ෂිප්ත බව ගැන කෙටි කතාකරුවා ගේ අවධානය තවත් යොමු වුණා නම් කෙටි කතාව තවත් ආකර්ශනීය වීමට ඉඩ තිබුණි,

පිලෝරිස් විමලසේනට අවවාද දෙනවිට පිලෝරිස් ගේ මුව’ගට නඟන වැකි බෙහෙවින් දාර්ශනික සොබාවයක් ගනියි.

කවුරු කිව්වහම මොකද කාරණේ ඇත්ත නම් ?

පිලෝරිස් නඟන මෙම පැනය දාර්ශනික අරුතක් මතු කරයි. පාඨකයා ගේසිතීමේ ශක්තිය කිතිකවන මෙබඳු සංවාද මහාචාර්ය අමරකීර්ති ගේ දස්කම් අඳුනාගැනීමට ඉවහල් වන අතර බුද්ධිමත් පාඨකයා ගේ ප්‍රබෝධයට හේතු වේ.

හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් (කෙටි කතාව)

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/අත්‍ථදස්සි කනිටු විදුහල

advertistmentadvertistment
advertistmentadvertistment